ඇමතිට එරෙහිව පරීක්ෂණයක් පවත්වන්න - රදගුරු හිමියෝ

උතුරේ පළාත් සභා මැතිවරණයක් මුව විටේ තිබියදී ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් ජාතීන් අතර සමගියට බාධා කරමින් සිටින බව මන්නාරම රදගුරු හිමියෝ පවසති.
රායප්පු ජෝසෆ් මන්නාරම රදගුරුතුමා ඒ චෝදනාව එල්ල කොට තිබෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විශේෂ නියෝජිතයන් පිරිසක් එහිමියන් මුණ ගැසීම පිණිස වවුනියාවේ සංචාරයක නිරත වූ අවස්ථාවේදී.
වවුනියාව, මන්නාරම සහ මුලතිවු දිස්ත්‍රික්කවල සියලු සංවර්ධන කටයුතු මෙන්ම රකී රක්ෂා ලබා දීම ඇතුළු සියලුම දේ එකී අමාත්‍යවරයා ගේ අවශ්‍යතාවයන් මත පමණක් සිදුවීම දැඩි අසාධාරණයක් බව පෙන්වා දෙමින් එහිමියන් විසින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කිරීමෙන් අනතුරුවයි, ජනාධිපතිවරයා විසින් සිය විශේෂ නියෝජිත පිරිස පිටත් කොට තිබෙන්නේ.
අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවට සහන සලසා දීම ඉතා දුෂ්කර වී ඇති බව නියෝජිත පිරිස හමුවේ පෙන්වා දුන් බව එහිමියෝ බීබීසී සංදේශයට පැවසූහ.
ඔහුගේ හැසිරීම වවුනියාව, මුලතිවු සහ මන්නාරම ප්‍රදේශවල දෙමළ සහ මුස්ලිම් ජනතාව අතරත්, සිංහල සහ මුස්ලිම් ජනතාව අතරත් දැඩි විරසක භාවයක් මතු වීමට හේතු වී තිබෙන බව පවසන එහිමියෝ, තත්වය පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන මෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.




