උතුරේ සෑම පළාතකම ස්ථිර හමුදා කඳවුරු - හමුදාපති

Army commander Jagath Jayasuriya
ඡායාරූප ශීර්ෂ වැකිය, උතුරේ සිවිල් ජන ජීවිතය ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය ජාත්‍යන්තර ප්‍රජාව අවධාරණය කරයි

උතුරේ සෑම ප්‍රදේශයකම ස්ථිර යුද හමුදා කඳවුරු පිහිටුවන බව පදවියෙන් ඉවත්ව යන යුද හමුදාපති ජනරාල් ජගත් ජයසූරිය පවසයි.

උතුරේ මෑතදී පිහිටුවන ලද හමුදා බල ඇණි ස්ථිර කඳවුරු බවට පත් කෙරෙමින් තිබෙන බව ඔහු කියා සිටියේ කිලිනොච්චියේ යුද හමුදා සේනාංක හමුවූ අවස්ථාවේදී.

හමුදාපතිවරයා එම ප්‍රකාශය කළේ, උතුරේ රඳවා සිටින හමුදා සේනාංක අඩු කොට එහි සිවිල් පරිපාලනය ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම ඉන්දියාව, බ්‍රිතාන්‍යය සහ එක්සත් ජනපදය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවද ශ්‍රී ලංකා ආණ්ඩුවට අවධාරණය කරමින් සිටියදී.

මේ අතර ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා උතුරේ පළාත් සභා මැතිවරණයට බාධා වන අයුරින් හැසිරීම වැළැක්වීමේ අවශ්‍යතාවය මැතිවරණ කොමසාරිස්වරයා සමඟ පැවති සාකච්ඡාවකදී විරුද්ධ පක්ෂ අවධාරණය කොට තිබේ.

එමෙන්ම මැතිවරණය පැවැත්වෙන කාලය තුල හමුදාව බැරැක්කවල රඳවා තබන මෙන් දෙමළ ජාතික සන්ධානය ඉල්ලා සිටි බවයි, එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය බීබීසී සංදේශයට කියා සිටියේ.

කෙසේ නමුත් එවැනි බලයක් පවතින්නේ රටේ සේනාධිනායකයා වන ජනාධිපතිවරයාට පමණක් බව පවසමින් කොමසාරිස්වරයා "ප්‍රශ්නයෙන් ගැලවීමේ උත්සාහයක" යෙදුනු බව ද ඔහු පැවසීය.