වාස් ගුණවර්ධනගේ ඉහල නිලධාරීන්ට අභියෝගයක්

වාස් ගුණවර්ධන පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයේ යෙදී සිටිය දී කැරුණු අපරාධයක් සම්බන්ධයෙන් වරද කරු වේ නම් ඔහුගේ ජ්‍යෙෂ්ටයන් ද ඒ පිළිබඳ වගකීමෙන් බැඳෙන බව නීතිවේදීහු පෙන්වා දෙති.
මුදලට මිනී මැරීමට කුමන්ත්‍රණය කිරීම සහ ඒ සඳහා ආධාර අනුබල දීම, ජාතීන් අතර සුහදතාවය බිඳ දැමීමට කටයුතු කිරීම ඇතුළු චෝදනා නගා ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ අත් අඩංගුවට ගනු ලැබූ හිටපු නියෝජ්‍ය පොලිස්පති වරයා වෙනුවෙන් පෙනී සිටින අධිනීතිඥ අජිත් පතිරණ ප්‍රකාශ කරන්නේ, වාස් ගුණවර්ධන මෙවැනි දේවල් කළේ නම් ‘ඉහළ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතු ව’ තිබුණු බවයි.
“පොලිස් දෙපාර්තමේන්තුවේ අයිති කාරයා නෙවෙයි වාස් ගුණවර්ධන,” යයි නීතිඥ පතිරණ බීබීසී සංදේශයේ කේ එස් උදයකුමාර් හට කියා සිටියේය.
සාක්ෂි කරුවන්ට බලපෑම්
හිටපු නියෝජ්‍ය පොලිස්පති වරයා හට ‘නඩුව පටලැවීමට’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ කරන බවට චෝදනාවක් නැඟූ නීතිඥවරයා කියා සිටින්නේ වාස් ගුණවර්ධනට එරෙහිව කිසිදු සාක්ෂියක් අනාවරණය වී නොමැති බවයි.
කෙසේ වෙතත්, රහස් පොලිසිය අධිකරණය හමුවේ චෝදනා කළේ පරිදි හිටපු නියෝජ්‍ය පොලිස්පති බිරිඳ සාක්ෂි නොදෙන මෙන් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කොට තිබෙන බවටයි.
ඒ පිළිබඳව කරුණු දැක්වීමට ලබන මස නව වැනිදා පෙනී සිටින මෙන් ශ්‍යාමලී ගුණවර්ධන හට නියෝග කොට තිබෙන අධිකරණය වාස් ගුණවර්ධන තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.




