ආචාර ධර්ම අවශ්‍ය රාජ්‍ය මාධ්‍යවලටයි - කරු ජයසූරිය

ශ්‍රී ලංකාවේ රාජ්‍ය මාධ්‍යවල ඇතැම් වැඩ සටහන් පිළිබඳව ජනමාධ්‍ය සම්බන්ධ පාර්ලිමේන්තු කමිටුවේදී බොහෝ විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධය පළ වූ බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් පවසයි.
විශේෂයෙන්ම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සහ අයිටීඑන් නාලිකාවේ 'පහත් පෙලේ' වැඩසටහන් දෙකක් 'චරිත ඝාතන වැනි ප්‍රචාරවලට' යොදා ගැනීම නිසා එය වැළැක්වීමට පියවර ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කළ බවයි, එජාප මන්ත්‍රී කරු ජයසූරිය බීබීසී සංදේශයට කියා සිටියේ.
සියලු ජනමාධ්‍ය වෙනුවෙන් ආචාර ධර්ම පද්ධතියක් සකස් කරන බව ආණ්ඩුවෙන් එයට ලැබුන ප්‍රතිචාරය බව ද ඔහු පැවසීය.
'ඉවත්කර ගත්තේ නෑ'
"ආචාර ධර්ම පද්ධතිය අවශ්‍ය වෙන්නේ රාජ්‍ය මාධ්‍යයට, පෞද්ගලික මාධ්‍යයේ විනිවිද භාවයක් තියෙනවා," ඔහු පැවසීය.
මන්ත්‍රීවරයා එම ප්‍රකාශය කළේ, ජනමාධ්‍යවලට ආචාර ධර්ම හඳුන්වා දුන්නේ ඔහු ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම්වලට සවන් දීමෙන් අනතුරුව බවට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බීබීසී සංදේශය සමඟ කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්.
එම ආචාර ධර්ම නීතියක් නොවන බව අවධාරණය කරන අමාත්‍ය රඹුක්වැල්ල, පුවත්පත් කතුවරුන්ගේ සහ මාධ්‍ය සංවිධානවල විරෝධය හමුවේ එය ඉවත්කරගත් බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කළේය.
"විපක්ෂයේ මන්ත්‍රීවරු කියන දේට ඔහොම කන් දෙනවා නම් කොච්චර හොඳද?" යනුවෙන්ද කරු ජයසූරිය මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.
ආණ්ඩුවට චෝදනා එල්ල වන විට විපක්ෂයට ඇඟිල්ල දිගු කරනු වෙනුවට ආණ්ඩුව කළ යුතුව තිබෙන්නේ තමා ඉදිරිපත් කළ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිලිබඳ පණතට සහයෝගය දීම සහ 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම බව ද මන්ත්‍රීවරයා පැවසීය.








