උතුරේ ජන ජීවිතය තවත් පහල වැටිලා - හියුමන් රයිට්ස් වොච්

ශ්‍රී ලංකාවේ උතුරේ ජීවත්වන ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ නිදහස පිලිබඳ තත්ත්වය යුද්ධය අවසන්ව ගතවූ වසර හතර තුල තවදුරටත් පහල වැටුණු බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය ප්‍රකාශ කරයි.
සිදුවූ යුධ අපරාධ පිලිබඳ වගකිවයුත්තන් සොයා බලා වරද කරුවනට දඬුවම් පැමිණවීම සඳහා ක්‍රියාත්මක වීමට එරෙහි වන බවට ශ්‍රී ලංකා රජය වෙත චෝදනා එල්ල කරන ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය, දෙමළ ජනතාවගේ දුක් ගැනවිලි වලට පොරොන්දු වූ පරිදි විසඳුම් ලබා දීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය අසමත්ව ඇති බවද පවසයි.
බිහිසුනු යුද්ධය අවසන්ව වසර හතරක් ගතවී ඇතත් අතුරුදන්වූ ඥාතීන් පිලිබඳ තොරතුරු ලැබී නැති බවත්, හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ආසියානු කටයුතු භාර අධ්‍යක්ෂවරයා පවසයි.
අතුරුදන්වූ සංඛ්‍යාව
යුද්ධය පැවැති වකවාණුව තුල අතුරුදන්වූ සංඛ්‍යාව දහස් ගණනක්.
මෙම සංඛ්‍යාව දස දහසකට වැඩි බවට තොරතුරු ලැබී ඇති බවයි, අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමේ කමිටුවේ සුන්දරම් මහේන්ද්‍රන් පවසන්නේ.
කෙසේ නමුත් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවාජිලිංගම් පවසන පරිදි මෙම සංඛ්‍යාව හතලිස් දහසක්.
"මන්නාරමේ රදගුරු රායප්පු ජෝශප් ප්‍රකාශ කරන්නේ එක්ලක්ෂ හතළිස් දහසක් අතුරුදන්ව ඇති බව. උන්වහන්සේ පූජනීය නායකයෙක්. එතුමා නිකරුනේ ප්‍රකාශ නිකුත් කරන්නේ නෑ. ඒ නිසා රජය මේ පිළිබඳ පැහැදිළි කිරීමක් කළ යුතුයි," එක්සත් සමාජවාදී පක්ෂයේ මහ ලේකම් සිරිතුංග ජයසුරිය මේ අතර කියා සිටියි.
පැහැරගෙන යාමට ලක්වූවන් මෙන්ම ආරක්ෂක හමුදාවන් වෙත භාරවූවන් මෙලෙස ආගිය අතක් පිලිබඳ තොරතුරක් නැති පිරිස් අතර වන බව උතුරේ සංචාරය කරමින් බීබීසී සංදේශය වෙනුවෙන් තොරතුරු සෙවූ දිනසේන රතුගමගේ හමුවූ අතුරුදහන්වූවන්ගේ ඥාතීහු පැවසූහ.








