
අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග යෝජනාවට අත්සන් නොතබන මෙන් නීතිවේදීහු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් අවසාන මොහොතේත් ඉල්ලා සිටිති
අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග විමර්ශන වාර්තාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය පළවීමට නියමිතව තිබෙන අද දිනය කළු සිකුරාදාවක් ලෙසින් හඳුන්වමින් නීතිඥවරු විශාල පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපස විරෝධතාවයක නිරතව සිටියහ.
කළු මුඛවාඩම් හා කළු පටි පැළඳ නිහඬ විරෝධතාවයක යෙදී සිටි ඔවුහු, දෝෂාභියෝගය ඉවත් කරගන්නා මෙන් අවසාන මොහොතේත් ආණ්ඩුවට බළකොට සිටියහ.
උද්ඝෝෂණය අතරවාරයේ අදහස් දැක්වූ නීතිවේදී රන්ජන් ද සිල්වා, මෙම උද්ඝෝෂණය පිටුපස කුමන්ත්‍රණයක් පවතින බවට ආණ්ඩුව එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළේය.
පාර්ලිමේන්තුව විසින් අද සම්මත කරනු ලැබීමට යෝජිත දෝෂාභියෝග විමර්ශන වාර්තාවට ජනාධිපති මහින්ද රාජපක්ෂ අත්සන් තැබුවහොත් එයින් රටට මහා විනාශයක් සිදුවනු ඇති බවට නීතිඥ නිමල් වීරක්කොඩි අනතුරු ඇඟවූයේය.
"ඒක අත්සන් කළොත්, මේ රටේ මේ ව්‍යවස්ථාවෙන්, අද තියෙන එකෙන් වැඩක් නෑ. අපි ඉතා අවධාරණයෙන් ඉල්ලා සිටිනවා, අත්සන් කරන්න එපා, රට ඉවරයි," ඔහු පැවසීය.
පාර්ලිමේන්තුව දෝෂාභියෝගය අනුමත කළහොත් එය ශ්‍රී ලංකාවේ අධිකරණයේ මළගම බවයි, නීතිවේදී සුනිල් වටගල කියා සිටියේ.
නීතිඥවරුන් විසින් දීපව්‍යාප්තව දියත්කොට තිබෙන දෙදින වැඩවර්ජනය හේතුවෙන් රටපුරාම අධිකරණ කටයුතු අදාලව තිබූ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ප්‍රධාන ලේකම් සංජය ගමගේ බීබීසී සංදේශයට පැවසීය.












