
අධිකරණයේ නොතීසි පිලිපැදීමට පාර්ලිමේන්තුව බැඳී නැති බව කතානායක චමල් රාජපක්ෂ මීට කලින් තීන්දු කළේය
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයේ ඉදිරි කටයුතු අත්හිටුවන්නැයි අධිකරණය කතානායකවරයාට උපදෙස් නිකුත් කළේය.
අභියාචනාධිකරණය එම උපදෙස් නිකුත් කළේ තමාට එරෙහි දෝෂාභියෝග පරීක්ෂණ වාර්තාව අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන මෙන් අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ඉදිරිපත් කොට තිබූ පෙත්සම විභාගයට ගැනීමට තීන්දු කරමින්.
තේරීම් කාරක සභා විභාගයේදී තමන්ට අසාධාරණයක් වී ඇති බවට අග්‍ර විනිශ්චයකාරවරිය අධිකරණය හමුවේ සඳහන් කොට ඇති බව පැවසූ විනිශ්චය මණ්ඩලය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙවැනි පැමිණිල්ලක් විභාග කිරීමට තමන්ට බලයක් තිබෙන බවද පැවසූහ.
ඒ අනුව මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන ජනවාරි 03 වැනි දින අධිකරණය ඉදිරියේ පෙනී සිටින මෙන් අභියාචනාධිකරණය කතානායකවරයාට සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයන්ට නොතීසි ද නිකුත් කළේය.
කතානායක චමල් රාජපක්ෂ මීට කලින් තීන්දු කොට තිබුනේ පාර්ලිමේන්තුව උත්තරීතර බැවින් අධිකරණයේ නොතීසි පිලිපැදීමට පාර්ලිමේන්තුව බැඳී නැති බවයි.
කෙසේ නමුත් එම ප්‍රකාශය පිළිගත නොහැකි බව පැවසූ අධිකරණය සාධාරණ නඩු විභාගයක් පැවැත්වීම පිණිස එවැනි නොතීසියක් නිකුත් කිරීමට ව්‍යවස්ථාව මගින් තමන්ට බලය ලබා දී තිබෙන බවද පැවසීය.
පෙත්සම් විභාගය ජනවාරි 03 වැනිදාට කල් දැමූ අභියාචනාධිකරණය, පෙත්සම් විභාගය අවසන් වනතුරු දෝෂාභියෝගය සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නා මෙන් කතානායකවරයාට දැනුම් දුන්නේය.
පසුගිය දෙසැම්බර් 08 වැනි දින කතානායකවරයාට භාරදුන් දෝෂාභියෝග විමර්ශන වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තුව ලබන ජනවාරි මාසයේදී විවාද කිරීමට නියමිතව තිබිණ.












