
අගවිනිසුරුවරිය සම්බන්ධයෙන් ඩේලි නිවුස් පුවත්පත පළ කරන ලද ලිපි මගින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බව පෙත්සමේ සඳහන් වේ
අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක පිළිබඳව පළ කරන ලද ඇතැම් පුවත් මගින් ඩේලි නිවුස් පුවත්පතේ කතුවරයා අධිකරණයට අපහාස කොට ඇතැයි පවසමින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය පළවිය.
නීතිඥ සුනිල් කුරේ සිය පෙත්සම මගින් පවසන්නේ දෝෂාභියෝගයකට මුහුණ දී සිටින අගවිනිසුරුවරිය සම්බන්ධයෙන් ඩේලි නිවුස් පුවත්පත පළ කරන ලද ලිපි මගින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බවයි.
එබැවින් ඩේලි නිවුස් පුවත්පතේ කතුවරයා වන නීතිවේදී රාජ්පාල් අබේනායක අධිකරණයට කැඳවා විභාගයක් පවත්වන මෙන් පෙත්සම්කරු, නීතිඥ සුනිල් කුරේ, අධිකරණයෙන් ඉල්ලා සිටියි.
විශේෂයෙන්ම පසුගිය දෙසැම්බර් 03 වැනිදා "අලුත්කඩේ කුමන්ත්‍රණය සඳහා අගවිනිසුරුවරිය දිසා විනිසුරන් කැඳවයි" මැයෙන් යුත් ලිපියක් පළකරමින් කතුවරයා අධිකරණයට අපහාස කොට ඇති බවයි, පෙත්සමේ සඳහන් වෙන්නේ.
අදාළ රැස්වීම පිළිබඳව එදිනම පළ කළ තවත් වාර්තා මඟින් මෙන්ම අගවිනිසුරුවරියට එරෙහිව පැවති දෝෂාභියෝගය සම්බන්ධයෙන් ඩේලි නිවුස් පුවත්පත පළ කළ ඇතැම් ලිපිද අපහාසාත්මක බව පෙත්සම්කරුගේ තර්කයයි.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පෙත්සමේ පිටපත් සියලුම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වෙත යොමු කරන මෙන් විනිසුරු නිමල් ගාමිණී අමරතුංග ප්‍රමුඛ විනිසුරු මඬුල්ල නියෝග කළේය.
වැඩිදුර විභාගය ජනවාරි 31 වැනි දිනට කල් තැබිණ.












