
දෝෂාභියෝගය විභාග කිරීමට පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට බලයක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය
විරුද්ධ පක්ෂවල විරෝධය නොතකා අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය පිලිබඳ පාර්ලිමේන්තුවේ විවාද කිරීමට ආණ්ඩුව කටයුතු කල හොත්, එය ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව විරුද්ධ පක්ෂ නායකයෝ පවසති.
කතානායක චමල් රාජපක්ෂ වෙත ඒකාබද්ධ ලිපියක් යොමු කරන විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂවල නායකයෝ, ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ බලය හිමිවන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් බව හිටපු කතානායක අනුර බණ්ඩාරනායක පමණක් නොව වත්මන් කතානායකවරයා විසින්ද මීට කලින් තීන්දු කොට තිබෙන බව පෙන්වා දෙයි.
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයක් විභාග කිරීමට පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට බලයක් නොමැති බවට පසුගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ අනුර බණ්ඩාරනායක කතානායකවරයාගේ එම තීන්දුව ද උපුටා දක්වමින්.
එම තීන්දුව පදනම් කරගෙන ඊයේ අභියාචනාධිකරණය තීන්දු කළේ අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග වාර්තාව බල රහිත බවයි.
යෝජනාවට එරෙහිව ඡන්දය
මේ තත්ත්වය යටතේ අගවිනිසුරුවරියට එරෙහි චෝදනා විභාග කිරීමට ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් පත් නොකරන්නේ නම්, ඇය පදවියෙන් පහ කිරීම සම්බන්ධ කිසිදු යෝජනාවක් පාර්ලිමේන්තුව විසින් විවාද නොකළ යුතු බවයි, විරුද්ධ පක්ෂ නායකයන් පෙන්වා දෙන්නේ.
එකී තීන්දු නොතකා යෝජනාව විවාදයට ගන්නේ නම් එය ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව පවසන ඔවුහු, මේ පිලිබඳවා සාකච්ඡා කිරීම සඳහා වහාම පක්ෂ නායකයන්ගේ රැස්වීමක් කැඳවන මෙන් කතානායකවරයා ගෙන් ඉල්ලා සිටිති.
එක්සත් ජාතික පක්ෂයේ (එජාප) ජෝන් අමරතුංග, දෙමළ ජාතික සන්ධානයේ මාවයි සේනාධිරාජා සහ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් හා ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක සහ විජිත හේරත් මන්ත්‍රීවරු එම ලිපියට අත්සන් තබා තිබෙන අනෙක් පක්ෂ නායකයන්.
මේ අතර යෝජනාව විවාදයට ගන්නේ නම්, විවාදයට සහභාගි වී යෝජනාවට එරෙහිව ඡන්දය භාවිත කිරීමට එජාප පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කොට තිබේ.
2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී සිය පක්ෂයෙන් තේරී පත්වූ සියලුම මන්ත්‍රීවරුන් මෙම තීන්දුවට අනුකූලව ක්‍රියා කළ යුතු බව පක්ෂේ ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වේ.
ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී උපේක්ෂා ස්වර්ණමාලි, ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී මනූෂ නානායක්කාර ඇතුළු එජාප මන්ත්‍රීවරු පිරිසක් දැනට ආණ්ඩු පක්ෂය සමග එක්වී ක්‍රියාකරමින් සිටිති.












