
2007 දක්වා එල්ටීටීඊ පාලනය යටතේ පැවති පළාතක බලය අත්පත් කරගැනීමට හැකිවීම පිළිබඳව ජනාධිපතිවරයාට සතුටු විය හැකි බව බීබීසී වාර්තාකරු පවසයි
නැගෙනහිර ඇතුළු පළාත් තුනක පළාත් සභා සඳහා පැවැත්වුණු මැතිවරණයෙන් පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයට (එජනිස) ජයග්‍රහණය හිමි වී තිබේ.
නැගෙනහිර පළාත් සභාවේ පාලනය හිමිකර ගැනීමට පළමු වතාවට පළාත් සභාවලට තරඟ කළ දෙමළ ජාතික සන්ධානය (ටීඑන්ඒ) උත්සාහ දැරූ නමුත් පාලක සන්ධානය එම පළාතේ ද ආසන 14 ක් හිමිකරගෙන තිබේ.
කෙසේ වුවත්, ටීඑන්ඒ සන්ධානය ආසන 11 ක් සහ මෙවර මැතිවරණයේදී තනිවම තරඟ කළ පාලක සන්ධානයේ පාර්ශවකරු ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය ආසන 7 ක් හිමිකර ගැනීම හමුවේ නැගෙනහිර පළාත් සභාවේ පාලනය පිළිබඳව අවිනිශ්චිත තත්ත්වයක් උද්ගත වී තිබේ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ නියමිත කාලයටත් කලින් පළාත් සභා තුනක් විසුරුවා හැර මෙම මැතිවරණ කැඳවූයේ සිය විවේචකයන් නිහඬ කළ යුතු බව පවසමින් බව කොළඹ සිටින බීබීසී වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ඩ් පෙන්වා දෙයි.
විවේචකයන් නිහඬ කිරීම
එබැවින් විශේෂයෙන්ම 2007 දක්වා එල්ටීටීඊ ය විසින් පාලනය කරන ලද පළාතක බලය අත්පත් කරගැනීමට හැකිවීම පිළිබඳව ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට සතුටු විය හැකි බවයි, ඔහු පවසන්නේ.

විපක්ෂ ආධාරකරුවන් බියවැද්දීම ඇතුළු මැතිවරණ දූෂණ පිළිබඳව ආණ්ඩුවට චෝදනා එල්ල වී තිබේ
මේ තත්ත්වය යටතේ මුස්ලිම් කොන්ග්‍රසය සමඟ සන්ධානයකට එකඟ වී ආණ්ඩුව මුස්ලිම් ජාතිකයෙකුට ප්‍රථම වතාවට නැගෙනහිර පළාතේ මහ ඇමති පදවිය හිමිවීමට ඉඩ තිබෙන බව බීබීසී වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ඩ් ගේ මතයයි.
සබරගමුව පළාතේ පාලක සන්ධානයට ආසන 28 හිමි වී තිබෙන අතර, ප්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂයට (එජාප) හිමිවී තිබෙන්නේ ආසන 14 ක් පමණි. උතුරු මැද පළාතේ පාලක සන්ධානය ආසන 21 දිනාගන්නා විට එජාපයට හිමිවී තිබෙන්නේ ආසන 11 කි.
කෙසේ වුවත් පාලක සන්ධානයේ මෙම ජයග්‍රහණය වාර්තා වන්නේ, මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී සහ මැතිවරණ දිනයේදීත් සුළු ප්‍රචණ්ඩ ක්‍රියා සහ මැතිවරණ නීති උල්ලංඝනය පිළිබඳව විශේෂයෙන්ම ආණ්ඩුවට බරපතල චෝදනා එල්ල වීමෙන් අනතුරුවයි.
රාජ්‍ය ජනමාධ්‍ය සහ පොදු දේපොළ පාලක සන්ධානයේ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීම, ආණ්ඩුවේ ප්‍රචාරක කටයුතුවල යෙදෙන මෙන් ප්‍රාදේශීය නිලධාරීන්ට බල කිරීම සහ විරුද්ධ පක්ෂ අපේක්ෂයන් හා ආධාරකරුවන් බිය වැද්දීම ඇතුළු චෝදනා ගණනාවක්ම පාලක සන්ධානයට එරෙහිව එල්ල වී තිබිණ.
උතුරු මැද පළාතේදී ජනතා විමුක්ති පෙරමුණ එක් මන්ත්‍රී පදවියක් දිනාගෙන තිබෙන අතර අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් සහ මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුත් සන්ධානය සබරගමුව පලාතෙන් මන්ත්‍රී පදවි දෙකක් ජයග්‍රහණය කොට තිබේ.
අමාත්‍ය විමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ නැගෙනහිර පළාතේ එක් ආසනයක් හිමිකරගෙන තිබේ.












