පළාත් සභා මැතිවරණයේ අඩු ඡන්දදායක සහභාගිත්වයක්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 8 සෙනසුරාදා - 13:27 GMT
Voting in Rathnapura district

ශ්‍රී ලංකාවේ පළාත් සභා මැතිවරණයක අඩුම ඡන්දදායක සහභාගිත්වය මෙවර වාර්තා වීමේ හැකියාවක් තිබෙන බව නිරීක්ෂකයෝ පවසති

නැගෙනහිර පළාත ඇතුළු ප්‍රදේශ කිහිපයකින් ඇතැම් සිදුවීම් වාර්තා වූවත්, පළාත් සභා මැතිවරණයේ ඡන්ද විමසීම සාපේක්ෂව සාමකාමීව පැවති බව බලධාරීහු මෙන්ම මැතිවරණ නිරීක්ෂකයෝද පවසති.

මඩකලපුව දිස්ත්‍රික්කයේ ඔට්ටමාවඩුහි ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ ඡන්දපොළ නියෝජිතයාට පහර දී එලවා දමා තිබෙන එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙකු කාත්තන්කුඩි ප්‍රදේශයේදී පහර කෑමට ලක්වූ බව ද වාර්තා වේ.

බීබීසී සංදේශයට අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ (ටී එන් ඒ) පාර්ලිමේන්තු මන්ත්‍රී එස් යෝගේෂ්වරන්, නසිවන්තීවූ සහ වාලච්චේනේ ප්‍රදේශවල දී තම ඡන්දපොළ නියෝජිතයන්ට පහර දී එළවා දමා ඇති අතර පාලක සන්ධානයේ ආධාරකරුවන් ඡන්දදායකයන් බිය වැද්දූ බවත් පැවසීය.

දෙමළ ජාතික සන්ධානය

පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන්ටයි, මෙම සියලු ප්‍රහාර පිළිබඳව චෝදනා එල්ල වී තිබෙන්නේ.

Voters in Batticaloa

අනෙක් ප්‍රදේශවලට සාපේක්ෂව මඩකලපුව දිස්ත්‍රික්කයෙන් ඉහල ඡන්දදායක සහභාගිත්වයක් වාර්තා වී තිබේ

දෙමළ ජාතික සන්ධානය පළාත් සභා මැතිවරණවලට තරඟ වදින ප්‍රථම වතාව මෙයයි.

නැගෙනහිර පළාතේ මැතිවරණය කෙරෙහි මෙවර විශේෂ අවධානය පලවී ඇති අතර, දස ලක්ෂයකට ආසන්න ඡන්දදායකයෝ ඡන්දය දීමට සුදුසුකම් ලබා සිටිති.

කෙසේ වුවත් සිය ඡන්දය භාවිත කිරීමට බොහෝ ඡන්දායකයන් උනන්දුවක් නොදක්වූ බවයි උතුරු මැද, සබරගමුව සහ නැගෙනහිර පළාත් තුනෙන්ම ලැබෙන වාර්තාවල දැක්වෙන්නේ.

මඩකලපුව දිස්ත්‍රික්කයේ සියයට හැටකට අධික ඡන්දදායක සහභාගිත්වයක් දක්නට ලැබුන බවයි තේරීම් භාර නිලධාරියා ශාන්ති සෙල්වදුරේට කියා සිටියේ.

මැතිවරණ දිනයේදී සිදුවීම් 121 ක් වාර්තා වී තිබෙන නමුත් ඒ අතරින් බරපතල ආකාරයේ සිදුවීම් ලෙසින් ගිනිය හැක්කේ සිදුවීම් 12 ක් පමණක් බවයි, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ කැෆේ සංවිධානය මේ අතර පවසන්නේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ පළාත් සභා මැතිවරණයක අඩුම ඡන්දදායක සහභාගිත්වය මෙවර වාර්තා වීමේ හැකියාවක් තිබෙන බවද කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් බීබීසී සංදේශයට පැවසීය.

'උනන්දුවක් නෑ'

උතුරු මැද පළාත් සභා මැතිවරණය වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 287 ක පැවති ඡන්ද විමසීම ඉතා සාමකාමී වූ බවයි, තක්ෂිලා දිල්රුක්ෂි ජයසේන පොළොන්නරුවේ සිට වාර්තා කරන්නේ.

දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයේ ඉතා අඩුවක් දක්නට ලැබෙන බව මැතිවරණ නිරීක්ෂකයෝ පවසන අතර සියයට පණස් තුනක් ඡන්දදායකයන් සිය ඡන්දය භාවිතකොට තිබුන බවයි, ඡන්ද විමසීම අවසානයේ වාර්තා වූයේ.

සබරගමුව පළාත් සභා මැතිවරණයේ දී රත්නපුර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගේ පමණක් නොව නිලධාරීන්ගේ පවා උනන්දුවක් දක්නට නොතිබූ බව අජිත් ලාල් ශාන්ත උදය රත්නපුරයේ සිට වාර්තා කරයි.

කිසිදු ඡන්ද මධ්‍යස්ථානයක දිගු පෝලිම් දක්නට නොලැබුන බවයි, ඔහු පවසන්නේ.

මේ අතර අනුරාධපුරයේ සිට වාර්තා කරන අතුල බණ්ඩාර පවසන්නේ ඡන්දදායකයන්ගෙන් සියයට පනහකට වැඩි පිරිසක් දිනය අවසානයේ සිය ඡන්දය භාවිතකොට තිබූ බවයි.

සුළු සිදුවීම් කිහිපයක් හැරුණු කොට බරපතල ප්‍රචණ්ඩ ක්‍රියා අනුරාධපුරයෙන් වාර්තා වී නැති බවයි, පොලීසිය පවසන්නේ.

රාජාංගනයේ පිහිටි පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවෙකුගේ නිවසට සෙනසුරාදා උදෑසන වෙඩි ප්‍රහාරයක් එල්ල කොට තිබෙන අතර ඒ පිළිබඳව චෝදනා එල්ල වී තිබෙන්නේ පාලක සන්ධානයේම ආධාරකරුවන්ටයි.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම් style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.

]]>