ජනාධිපති දුන් පොරොන්දු ඉටුවෙලා නෑ - උතුරු මැද ගොවියෝ උද්ඝෝෂණයක

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 2 ඉරිදා - 13:19 GMT
Protest in Hingurakgoda

'වන්දි මුදලක් වත් කිසිම ආධාරයක් රජයෙන් ලැබිල නෑ. කලා වැවේ වතුර සීයට අසූවක් දෙනවා කිවුව ඒත් මුර දෙකක් වෙනකොට අපේ වතුර ඉවරයි'

ගොවියන්ගේ ගැටළු විසඳන බවටත් ඔවුන්ගේ ණය වාරික ගෙවීම ලබන වසර දක්වා කල් දමන බවටත් ජනාධිපතිවරයා දුන් පොරොන්දු තවමත් ඉටුවී නැතැයි උතුරු මැද පළාතේ ගොවි, ගෙවිලියෝ චෝදනා කරති.

ගොවියන් මේ චෝදනාව එල්ල කළේ හිඟුරක්ගොඩ නගරයේ පැවති ගොවි උද්ඝෝෂණයකදී.

උතුරු මැද පළාතේ ගොවි සංවිධාන 13 අයත් ගොවි ගෙවිලියෝ දහසකට අධික පිරිසක් "ධරණීය කෘෂිකාර්ම සංවර්ධනයක් උදෙසා උතුරු මැද පළාත් ජනතා එකමුතුවේ" උද්ඝෝෂණයට එක්ව සිටි බවයි, තක්ෂිලා දිල්රුක්ෂි බීබීසී සංදේශයට වාර්තා කරන්නේ.

"අපේ වී වලට නිශ්චිත මිලක් ලබා දිය යුතුයි. රුපියල් 40 ක් අනිවාර්යයෙන්ම ලබා දිය යුතුයි එහෙම නැත්නම් ගොවියා ජීවත් වෙන්නේ නෑ," බවයි, එක ගොවියෙක් කියා සිටියේ.

පසුගිය මාස කිහිපයේ නියඟයට ගොදුරුව වගාව විනාශ වූ ගොවියන්ට සිය බිරින්දා වරුන්ගේ කනකර ආභරණ පවා උගස් තැබීමට සිදු වී ඇති බවත්, දැන් එම ආභරණ බැංකුවට සින්න වීමට යන බවත් ඔහු පැවසීය.

'ආභරණ වෙන්දේසි කරනවා'

"මේවා හැමදාම වෙන්දේසි කරනවා. මේ වෙන්දේසි කිරීම වහාම නවත්වල ලබන කන්නය දක්වා බැංකුවලින් කල් දිය යුතුයි," යන්න ගොවි ගෙවිලියන්ගේ තවත් ඉල්ලීමක්.

Protest in Hingurakgoda

'නියං සහනාධාර දෙනවා කියල, දවසකට රුපියල් 500 ක් අපිට වැඩ කරන්න කිවුවා. එත් අද වෙනකම් කිසිම දෙයක් නෑ'

නියඟයට ගොදුරුව කුඹුරු පාලු වීම නිසා තමන් දැන් ජීවත්වීමේ අරගලයක නිරතව සිටින බවයි, උද්ඝෝෂණයට එක්ව සිටි ගෙවිලියක සඳහන් කළාය.

"අපිට වන්දි මුදලක්වත් කිසිම ආධාරයක් රජයෙන් ලැබිල නෑ. අපිට රජයෙන් දෙනවා කිවුවට දෙන්නේ නෑ කලා වැවේ වතුර සීයට අසූවක් දෙනවා කිවුව එත් සීයට අසූව ලැබුනේ නෑ මුර දෙකක් වෙනකොට අපේ වතුර ඉවරයි," ඇය තවදුරටත් සඳහන් කළාය.

ගොවියන්ට වන්දි ලබාදෙන බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගියදා තම ප්‍රදේශට පැමිණ ලබාදුන් පොරොන්දුව තවමත් ඉටු වී නැති බව පෙන්වා දෙන ගොවි නායකයෝ, ජනාධිපතිතුමාගේ ප්‍රතිඥාවෙන් අනතුරුව තමන් බැංකුවලට ගොස් විමසූ විට එවැනි ලිඛිත නියෝගයක් ලැබී නැති බව බැංකු බලධාරීන් පවසන බව ද පවසති.

"නියං සහනාධාර දෙනවා කියල, දවසකට රුපියල් 500 ක් අපිට වැඩ කරන්න කිවුවා. එත් අද වෙනකම් කිසිම දෙයක් නෑ," තවත් ගෙවිලියකගේ චෝදනාවයි, ඒ.

ජීවිතය ගැට ගසා ගත නොහැකිව වස බී මිය යන ගොවියන් පිළිබඳව මරණ පරීක්ෂණ වලදී වෙනත් ආකාරයකට වාර්තා කරන බව ගොවි නායකයන් එල්ල කරන තවත් චෝදනාවක්.

වගා හානි වලින් පීඩාවට පත් වන ගොවීන් වසබී මියයාමට හේතුව රජය විසින් පරීක්ෂණයක් පවත්වා රටට හෙළි කළ යුතු යයි ද උතුරු මැද පළාතේ ගොවි නායකයෝ ඉල්ලා සිටිති.

BBC © 2014බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම් style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.

]]>