
කලක් යුද්ධය සිය තුරුම්පුව කරගත් ආණ්ඩුව ජනතාවගේ සිත් දිනා ගැනීම සඳහා දැන් වෙනත් උපාය මාර්ග සොයමින් සිටින බව එජාපය පවසයි
බුදුන් වහන්සේගේ බවට විශ්වාස කැරෙන ධාතූන් වහන්සේ පවා දේශපාලන වාසි ලබා ගැනීම සඳහා යොදවා ගන්නා බවට විරුද්ධ පක්ෂය ආණ්ඩුවට චෝදනා කරයි.
වසර 34 කට පසු ඉන්දියාවේ සිට ගෙන්වන ලද කපිල වස්තු ධාතූන් වහන්සේලා සැප්තැම්බර් පස් වැනිදා වනතුරු ප්‍රදර්ශනය කැරෙන බවයි රජය විසින් නිවේදනය කොට තිබෙන්නේ.
සැප්තැම්බර් අට වැනිදා මැතිවරණ පැවැත්වීමට නියමිත නැගෙනහිර, උතුරු මැද හා සබරගමුවේ පළාත් සභා මුල් කොටගෙන කපිල වස්තු ධාතු ප්‍රදර්ශනය කිරීම එක්සත් ජාතික පක්ෂය (එජාප) හඳුන්වන්නේ ධාතුන් වහන්සේ වෙන්දේසියක් ලෙසින්.
"මැතිවරණය අවසන් වෙනකම් මේ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කරන්නේ මේ පළාත් සභා මැතිවරණ තියෙන ප්‍රදේශවල විතරයි," බව එජාප ප්‍රධාන ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා පවසයි.
එක් වකවානුවක දී යුද්ධය සිය තුරුම්පුව කරගත් ආණ්ඩුව ජනතාවගේ සිත් දිනා ගැනීම සඳහා දැන් වෙනත් උපාය මාර්ග සොයමින් සිටින බවයි, එජාපය සඳහන් කරන්නේ.
"ජනතාවගේ විරුද්ධවාදී දේශපාලන අදහස් යටපත් කරන්න සර්වඥ ධාතූන් වහන්සේලා පෙන්නන්න කියලා දැන් ආණ්ඩුව කල්පනා කරනවා," බව ද තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා චෝදනා කරයි.
මේ අතර නිවේදනයක් නිකුත් කරන නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා (කැෆේ) ව්‍යාපාරය, ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් නීති විරෝධී මැතිවරණ ප්‍රචාරක කටයුතු වල යෙදී සිටින බවට ආණ්ඩු පක්ෂයට මෙන්ම එක්සත් ජාතික පක්ෂයටද චෝදනා කරයි.












