
විශේෂයෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිදහස් මැතිවරණයක් පැවැත්වීම සඳහා වාතාවරණයක් නොමැති බවයි, නිරීක්ෂකයන් පවසන්නේ
අනුරාධපුර දිස්ත්‍රික්කයේ සහ අක්කරේපත්තු ප්‍රදේශවල උත්සන්න වෙමින් තිබෙන ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව මැතිවරණ නිරීක්ෂකයන් විසින් මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කරනු ලැබ තිබේ.
අනුරාධපුර රෝහලේ වෛද්‍ය චමිල හේරත්ට දහයියාගම හන්දියේදී බ්‍රහස්පතින්දා රාත්‍රියේ එල්ල වූ ප්‍රහාරයකින් අනතුරුව වෛද්‍යවරයා දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කොට ඇති බව පවසන නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ (කැෆේ) ව්‍යාපාරය, ප්‍රහාරය එල්ල කොට තිබෙන්නේ හිටපු මහ ඇමති බර්ටි ප්‍රේමලාල් දිසානායකගේ ආධාරකරුවන් බව ද කොමසාරිස්වරයාට යැවූ පැමිණිල්ලේ සඳහන් කරයි.
විශේෂයෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිදහස් මැතිවරණයක් පැවැත්වීම සඳහා වාතාවරණයක් නොමැති බවයි, නිරීක්ෂකයන් පවසන්නේ.
මේ අතර අක්කරේපත්තුවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කාර්යාලයට ද කිසියම් පිරිසක් විසින් සිකුරාදා දිනයේ පහර දී ඇති බව පවසන කැෆේ සංවිධානය, ජාතික කොන්ග්‍රසයේ පෙක්ෂකයන්ට හැර වෙනත් පක්ෂවලට අක්කරේපත්තු ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදීම ඉතා දුෂ්කර බව ද පෙන්වා දෙයි.
මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන මුස්ලිම් කොන්ග්‍රසය මෙවර නැගෙනහිර පළාත් සභා මැතිවරණයට තනි පක්ෂයක් වශයෙන් තරඟ කරයි.
නියමිත කාලයට පෙරාතුව විසුරුවා හරිනු ලැබූ නැගෙනහිර, උතුරු මද සහ සබරගමුව පළාත් සභා සඳහා මැතිවරණ ලබන සැප්තැම්බර් අට වැනිදා පැවැත්වීමට නියමිතයි.












