ඉරුනූරුවිල් මුස්ලිම් දේවස්ථානයකට ප්‍රහාරයක්

මඩකලපුවේ වවුනතීවූ ප්‍රදේශයේ ඉරුනූරුවිල් ගම්මානයේ දී කාන්තාවකට පිහියෙන් කොටා ඉන් පැය කිහිපයකට පසුව ගමේ මුස්ලිම් දේවස්ථානය ගිනි තැබීමේ සිදුවීම් සම්බන්ධයෙන් එක පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇති බව බලධාරීහු පවසති.
සෙනසුරාදා රාත්‍රියේ ගමට කඩා වැදුන පිරිසක් පනස් දෙහැවිරිදි නාගූර් පිච්චෙයි සබී නෝනා මාතාවට පොරවකින් කෙටීමෙන් අනතුරුව ඇය දැන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නීය.
ප්‍රහාරකයන් ගෙන් සිවු දෙනකු හඳුනාගත් බව ඇය පවසන අතර, එයින් එක් අයෙකු දැනටමත් අත් අඩංගුවට ගෙන ඇති බවයි, තුවාල ලැබූ කාන්තාව ගේ සුව දුක් විමසීමට රෝහලට පැමිණි අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් කියා සිටියේ.
යලි පදිංචිවීමේ මතභේදයක්

එම පරහදීමෙන් අනතුරුව ඉරිදා උදෑසන ගමට කඩා වැදුණු පිරිසක් ගමේ මුස්ලිම් දේවස්ථානයට ගිනි තබා තිබේ.
යුද්ධය හේතුවෙන් අසූව දශකයේදී ගමෙන් පලා ගිය පිරිස් දැන් යලිත් එහි පදිංචි වෙමින් සිටින අතර, මුස්ලිම් ජනතාව ගමේ යලි පදිංචි වීමට එරෙහි පිරිසක් විසින් මෙම ප්‍රහාර එල්ල කරන්නට ඇතැයි විශ්වාස කෙරෙන බවයි, ඇමතිවරයා පවසන්නේ.
මෙවැනි ප්‍රහාරවලින් ආරක්ෂාවීම සඳහා ඉරුනූරුවිල් හි පොලිස් ස්ථානයක් පිහිටුවන මෙන් ගම්වාසීන් තමන්ගෙන් ඉල්ලීමක් කළ බව ද ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක, අමාත්‍ය හකීම් සඳහන් කළේය.
ගමෙන් පළා යාමට ප්‍රථම එහි මුස්ලිම් පවුල් සියයක් පමණ පදිංචි වී සිටි නමුත්, අයිතිකරුවන් විසින් ඇතැම් ඉඩම් විකුණා දමා ඇති බව වාර්තාකරුවෝ පවසති.
දැනට මුස්ලිම් පවුල් පහක් පමණ යලි පදිංචි වී සිටින ගමට එල්ල වූ ප්‍රහාරය මුස්ලිම් සහ දෙමළ ජනතාව අතර ගැටුමක් ලෙසින් සැක කළ නොහැකි බව ද අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් පැවසීය.








