ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ආසියා කුසලානය 2023: ඉන්දීය - පකිස්ථාන ක්‍රිකට් තරගයක නොමියෙන චමත්කාරය
- Author, සුරේෂ් මෙනන්
- Role, ක්‍රීඩා වාර්තාකරු
ක්‍රිකට් ලෝක කුසලානය සහ ආසියානු කුසලානය පවතින්නේ, ඉන්දියාව සහ පකිස්ථානය අතර එකිනෙකාට ක්‍රීඩා කිරීමට ඉඩ දීම සඳහා පමණක් බව පෙනේ. ඔවුන් සිය රටවලදී මුණ නොගැසෙන අතර, නිරන්තරයෙන් විශාල රූපවාහිනී ප්‍රේක්ෂක පිරිසක් සිටිති.
න්‍යෂ්ටික වශයෙන් සන්නද්ධ දකුණු ආසියානු අසල්වැසියන් අතර පවතින ආතතීන් සෑම විට ම ඔවුන්ගේ ක්‍රිකට් සබඳතාවලට බලපා තිබේ. මෙම කණ්ඩායම් දෙක 2012 වසරේ සිට ද්විපාර්ශවික තරගාවලියක් සඳහා ක්‍රීඩා කර නොමැත.
කෙසේ වෙතත්, ඉන්දියාවට සාර්ථක කණ්ඩායමක් ලෙස සම්පූර්ණ වීමට පකිස්ථානය අවශ්‍ය වෙද්දී ක්‍රිකට් ක්‍රීඩා කරන රටක් ලෙස පකිස්ථානයේ පැවැත්මට ඉන්දියාව අවශ්‍ය වේ. - එය ඔවුන්ගේ අසල්වැසියන් ඔවුන්ට සිහි ගැන්වීමට පසුබට නොවන දෙයකි.
ඔවුන් ක්‍රීඩාවේ අත්‍යවශ්‍යයෙන් ම තිබිය යුතු වැදගත් ම දෙයක් වන එකිනෙකාට ආදර්ශයක් වන හොඳ ම සතුරන් ය: මහා ප්‍රතිවාදී යුගල ලෙස ඔවුහු හඳුන්වනු ලබති. ජයග්‍රහණය සහ පරාජය එක ම අඛණ්ඩ නර්තනයක කොටස් වන අතර, විටෙක එක් කණ්ඩායමක් පෙරමුණ ගනී, තවත් විටෙක අනෙක් කණ්ඩායම පෙරමුණ ගනී.
පරාජයේ බිය සහ ජයග්‍රහණයේ උත්කර්ශය පිළිබඳව ඒකපාර්ශවික වීම පහසු ය. එහෙත්, ලෝකයේ සිටින විශිෂ්ටතම ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් අතර අත්‍යවශ්‍යයෙන් ම ගොඩනැගෙන තරගකාරීත්වය ප්‍රතික්ෂේප කිරීමට කිසිවෙකුට නුපුළුවන.
සෙනසුරාදා දිනයේ මෙම කණ්ඩායම් මුණ ගැසෙන 16 වන ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියේ කාලසටහන් පිළිබඳව කිසිවෙකු මැසිවිලි නගන්නේ නැත.
ඉන්දියාව සහ පකිස්ථානය එකට කාණ්ඩගත කර ඇති අතර, එම කණ්ඩායම් අතර අවම වශයෙන් එක් තරගයක් හෝ නැරඹීමට ඉඩ සැලසීම රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට සහතික කෙරේ. ඔවුන් "සුපර් ෆෝ"රවුන්ඩ් රොබින් වටය සඳහා (සෑම කණ්ඩායමක් ම අනෙක් සෑම කණ්ඩායමකට ම එරෙහිව ක්‍රීඩා කිරීම) කණ්ඩායම් තුනේ කාණ්ඩයේ දුර්වල ම කණ්ඩායම වන නේපාලය සමග සුදුසුකම් ලබා ඇති අතර, එමගින් කණ්ඩායම් දෙක දෙවරක් හමුවීම සහතික කරයි.
අවසන් තරගයේදී ඔවුන් තුන් වන වරටත් මුණ ගැසෙනු ඇතැයි යන බලාපොරොත්තුව එම සියලු සැලසුම් යටපත් කරයි. උපක්‍රමශීලී කාලසටහන් සකස් කිරීම බහු-කණ්ඩායම් ක්‍රිකට් තරගාවලිවල කොටසක් වන අතර, එහිදී, සෙසු කණ්ඩායම් බොහෝවිට පෙනෙන්නේ, සුළු තරගකරුවන් ලෙස ය.
පොදු සංස්කෘතියකින් බෙදුණු, හැඟීම් බලහත්කාරයෙන් මෙහෙයවනු ලැබූ, රූපවාහිනී වෙළෙඳ දැන්වීම් අලෙවි කිරීමට කැමති සහ දේශපාලනඥයින් ඔවුන්ගේ රැකියාවල තබා ගන්නා ඉන්දියාව සහ පකිස්ථානය එකිනෙකාගේ ප්‍රතිබිම්බ ලෙස දැකිය හැකි ය.
ඉන්දියාව සහ පකිස්ථානය අතර සබඳතා විවිධ කාලවලදී විවිධ හැඩතල අනුව වෙනස් වීමට, ඉතිහාසය, භූගෝල විද්‍යාව, ආර්ථික විද්‍යාව, මනෝවිද්‍යාව ආදී සියලු කරුණු දායක විය.
ඉන්දියාවේදී තමන්ට වැඩි ආදරයක් ලැබුණු බව පැවසීම නිසා පකිස්ථානයේ හිටපු නායක ෂහීඩ් අෆ්රිඩිට වරක් ලාහෝර් මහාධිකරණයේදී නොතීසියක් ලැබිණි.
ආසියානු කුසලාන තරගයක් අතරතුර ඉන්දියාවේ මීරුට්හි විශ්වවිද්‍යාලයකදී අෆ්රිඩි වෙනුවෙන් ඔල්වරසන් දීම හේතුවෙන් සිසුන් 67 දෙනෙකුගේ පන්ති තහනම් කෙරිණි. ඥානවන්ත නීතිඥයින් ක්‍රියාත්මක වීමට පෙර ඔවුන්ට දේශද්‍රෝහී චෝදනා එල්ල කරන බවට තර්ජනය කරන ලදී.
නොපෑහෙන සබඳතාවල බර ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය නැත. එහෙත්, එය සිදුවෙයි.
ක්‍රීඩාව නිරන්තරයෙන් හඳුන්වන්නේ, තමන් හැර අන්‍යයන් වෙනුවෙන් පෙනී සිටින කාර්යයක් ලෙස ය. ඉන්දියා - පකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩාව එහි ක්‍රීඩාමය ගැටුම් තත්ත්වයට වඩා බොහෝ වැදගත්කමක් දරයි.
ජයග්‍රහණයක් හෝ පරාජයක්, රටක දේශපාලන ක්‍රමය, සාහිත්‍ය උරුමය, රූ රැජිණන් හෝ ඔවුන්ගේ ඇල-වේලිවල ශක්තිය පිළිබඳ අදහස් දැක්වීමක් ලෙස දැකිය නොහැක. එහෙත්, එය එසේ සිදුවෙයි.
සෙනසුරාදා දිනයේදී, පකිස්ථානය සහ ඉන්දියාව ස්වාධීන තරග බිමක් ලෙස ශ්‍රී ලංකාවේ පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී එකිනෙකා මුණ ගැසීමට නියමිත ය. ඉන්දියාව මෘදු ලෙස කතා කළත්, ඔවුන් විශාල මුල්‍ය ශක්තියක් ගෙන එන බැවින්, ඔවුන්ගේ හඬට නිතර සවන් යොමුවන බව ලොව පුරා පරිපාලකයෝ දනිති.
රටවල් දෙකට ම ඇත්තේ සමාන ගැටලු ය - එනම්, මැද පෙළ පිතිකරුවන් ස්ථාවර නොවීම නිසා ඉදිරි පෙළ පිතිකරුවන් සහ දක්ෂ වේග පන්දු යවන්නන් මත වැඩි වශයෙන් යැපීම යි.
නේපාලයට එරෙහිව ඉෆ්තිකාර් අහමඩ් රැස් කළ අනුකම්පා විරහිත ශතකය පකිස්ථානයේ සිදුරු වසා දමා තිබීමට හැකි අතර, බබාර් අසාම්ගේ පැහැදිලි පිතිකරණය, විරාට් කෝලිගේ ප්‍රේක්ෂකයින් පවා පකිස්ථාන පරාජයකදී ඔහු ලකුණු රැසක් ලබා ගනු ඇතැයි අපේක්ෂා කිරීමට පොළඹවනු ඇත.
විශේෂයෙන් ආබාධයකට ලක්ව සුවය ලබමින් සිටින කේ.එල්. රාහුල්ට මෙම තරගය අහිමි වීමේ තත්ත්වයක් ඇති අවස්ථාවක, වමතින් පන්දුවට පහර දීම සහ ප්‍රහාරාත්මක පහර දීම සැලකිල්ලට ගෙන ඉෂාන් කිෂන් අංක 03 පිතිකරු ලෙස යොදවා, විරාට් කෝලි අංක 4 පිතිකරු බවට පත් කළහොත් මැද පෙළ පාලනය කර ගනිමින් යම් ආකාරයක විසඳුමක් සොයා ගත හැකි ය.
පසුපෙළ ස්ථාවර ප්‍රහාරකයෙකු නොමැති වීමත්, ඉදිරිපෙළ පිතිකරුවන් පස් දෙනාගෙන් කිසිවෙකු පන්දු යවන්නන් නොවීමත් ආබාධයකි.
පළමු තරගයේදී ම ඔවුන්ගේ හොඳ ම කණ්ඩායම ප්‍රතිවාදීන්ට එරෙහිව ක්‍රීඩා කිරීමට ඉන්දියාවට බලකෙරෙන අතර, ඊළඟ අදියරට සුදුසුකම් ලබන බවට වක්‍රව සහතික වුව ද, අත්හදා බැලීම් කිරීමට ඉන්දියාව අකමැති විය හැකි ය. ඔවුන් එකින් එක පියවර තැබීම ගැන කතා කරනු ඇත, වැඩිදුරක් නොබලා සහභාගි වන සෑම තරගයක් ම ජයග්‍රහණය කිරීමට උත්සහ කරනු ඇත.
ඔවුන් ජයග්‍රහණය කළ යුතු එක ම තරගය වන්නේ, නේපාලය (පකිස්ථානය හමුවේ පරාජය වූ) සමග පැවැත්වෙන තරගය යි. එහෙයින්, සෙනසුරාදා තරගය ඔවුන්ට අලුත් අත්හදාබැලීමක් කිරීමට හොඳ ම අවස්ථාවකි.