ආර්ථික අර්බුදය:'කොස්ගහ-පොල් ගහ කියන්නේ මට මගේ අම්මයි තාත්තයි වගේ'

ඡායාරූප මූලාශ්‍රය, Suneth Perera
- Author, නිතින් ශ්‍රීවාස්තව කොළඹ සිට සහ සුනෙත් පෙරේරා ලන්ඩනයේ සිට
- Role, බීබීසී ලෝක සේවය
"කොස් ගහ අපි වගේ ලක්ෂ ගණනක් මිනිස්සුන්ව ජීවත් කරවනවා. බඩගින්නෙන් අපිව ගලවා ගත්තේ කොස් ගහ," යැයි තිදරු පියෙකු සහ දෛනිකව ලබන වැටුපෙන් දිවි ගෙවන කරුප්පයියා කුමාර් පවසයි.
වරක් විකුණාගත නොහැකිව ගස් යට වැටී ගිය එතරම් වටිනාකමක් හිමි නොවුණු පලතුරක් වූ කොස් දැන් ගලවුම්කරුවෙකි.
"ආර්ථික අර්බුදය එන්න කලින් ඕන කෙනෙකුට බත්, නැත්නම් පාන් කන්න පුළුවන් මට්ටමකට සල්ලි තිබුණා. ඒත් දැන් මේ වැඩි වෙන ආහාර මිලත් එක්ක, ගොඩක් මිනිස්සු දිනපතා ම පාහේ කන්නේ කොස්," 40 හැවිරිදි ඔහු තවදුරට ත් පවසයි.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් ආහාර අනාරක්ෂිත භාවයෙන් පෙළෙන අතර සෑම නිවෙස් දෙකකින් එකකට තම ආදායමෙන් 70%කට වඩා ආහාර සඳහා වැය කිරීමට සිදු වේ.
"අපි කලින් කෑම වේල් තුනක් ගත්තා, දැන් දෙකකට අඩු කරලා තියෙන්නේ. කිලෝග්‍රෑම් 12 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ගිය අවුරුද්ද වෙනකම් තිබුණේ 1500ක් වගේ මිලකට," තිදරු මවක වන 42 හැවිරිදි නදීකා පෙරේරා පවසන්නී ය.
"දැන් සිලින්ඩරයක මිල දෙගුණයකට ත් වඩා වැඩි වෙලා නිසා ඉතිරි වෙලා තියෙන එක ම විකප්ලය තමයි, සාම්ප්‍රදායික විධියට උයන එක," යැයි ඇය පැවසුවේ, පිළිස්සෙන පොල්කටුවලින් නිකුත් වන දුමාරයෙන් වැසී යද්දී දෙනෙතින් ගැලූ කඳුළු පිස දමමිනි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2022 වසරේදී ශ්‍රී ලංකාව සිය දරුණුතම මූල්‍ය අර්බුදයෙන් පීඩා විඳීම ආරම්භ වූ දා සිට ආදායම් අඩු වී ගොස් ඇති අතර ආහාර මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.
මාස ගණනක් පුරාවට අඛණ්ඩව සිදු වූ විදුලි කප්පාදු කිරීම් සහ ඉන්ධන හිඟයත් සමග ජනතාව 2022 වසරේ ජූලි 9 වන දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිල නිවස වැටලූ අතර ඒ හේතුවෙන් ඔහුට රටින් පළා යාමට පවා සිදු විය.
එතැන් සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මූල්‍යධාරයක් ලබා ගැනීමට රජය දැරූ ප්‍රයත්නය සාර්ථක වී ඇතත් දරිද්‍රතාවයේ අනුපාතය දෙගුණයකින් ඉහළ ගොස් තිබේ.
නදීකා සිය සැමියා සහ දරුවන් සමග දිවි ගෙවන්නේ කොළඹ පිහිටා ඇති නිදන කාමර දෙකකින් සමන්විත නිවසක ය.
ඇය ජාතික කැරම් ශූරතාවලියේ අනුශූරතාව දිනූ ක්‍රීඩිකාවක වන අතර දැඩි ආර්ථික අපහසුතාවලින් පසුවන්නී ය.
නමුත් තරග තීරකවරියක ලෙස ඇය නිරත වූ රැකියාව අහිමි වී ගොස් ඇති අතර ඇගේ සැමියා දැන් කුලී රථ රියදුරෙකු ලෙස කටයුතු කරමින් මුදල් ඉපැයීමට උත්සහ කරයි.
"මිල හය ගුණයකින් වැඩි වෙලා නිසා අපිට දැන් මස්, බිත්තර ගන්න පුළුවන් කමක් නෑ. බස් ගාස්තුව දරා ගන්න බැරි නිසා ගොඩක් වෙලාවට ළමයි ඉස්කෝලේ යන්නෙත් නෑ. මම ප්‍රර්ථනා කරන්නේ ගෑස් මිල යි, මේ බිල් ටිකයි දවසක අඩු වෙන්න කියලා," නදීකා පවසනී ය.

ඡායාරූප මූලාශ්‍රය, Nitin Srivastava
පෙබරවාරි මාසයේ 54% ලෙස පැවති උද්ධමනය ජූනි මාසයේදී 12%ක් දක්වා පහත වැටුණ ද, නිවෙස්වල ආදායම පහළ යාම හමුවේ ඉහළ යන මිල පාලනය කිරීමට රජය සටනක නිරත වී සිටියි.
ග්‍රාමීය ජනතාවගේ අරගලය
රත්නපුරයේ ජීවත්වන කරුප්පයියා ජීවත්වීම සඳහා පොල් ගස් නගින අතර, සෑම ගස් නැගීමකට ම රුපියල් 200ක මුදලක් ඔහුට හිමි වෙයි.
"බඩු මිල සෑහෙන්න වැඩි යි. මම මගේ ළමයින්ගේ අධ්‍යාපන කටයුතු ගැනත් බලන්න ඕනේ. ඒ හැමදේ ම කරලා ඉවර වෙද්දී කෑම ගන්න ඉතුරු වෙන්නේ හරි ම සොච්චම් ගාණයි," ඔහු පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Suneth Perera
කුමාර්ගේ බිරිඳ රබර් කිරි කැපීමෙන් මුදල් උපයන නමුත් පවතින වර්ෂාව ඊට තිත තබා ඇත.
"වැස්ස ත් මට ගස් නගින්නේ නැතුව ගෙදර ඉන්න බෑ. මම මගේ පවුල බලා ගන්න ඕනේ," යැයි ඔහු පවසන්නේ වර්ෂාව හේතුවෙන් මුහුණ දීමට සිදු වන අවදානම් තත්ත්වය පිළිබඳ අවබෝධයකින් යුතුව ය.
යාබද ප්‍රදේශයක පැළෑඳ නමින් විශාල ගම්මාන පොකුරක් පිහිටා තිබේ. මෙහි පවුල් 150ක් පමණ ජීවත් වන අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ගොවියන් හා කම්කරුවන් වෙති.
ප්‍රදේශයේ රජයේ පාසලේ විදුහල්පතිවරයා සහ ගුරුවරුන් කිහිප දෙනෙක් ප්‍රාථමික අංශයේ සිසුන්ගේ බර කිරමින් ඒවා සටහන් කර ගනිති.

ඡායාරූප මූලාශ්‍රය, Nitin Srivastava
"මෙතන ඉන්න දරුවන්ගෙන් බොහොමයක් පහුගිය අවුරුද්දේ දරිද්‍රතා රේඛාවෙන් පහළ හිටපු පවුල්වලින් එන්නේ. ඒ නිසා අපි මේ දරුවන්ට ආහාර වේල් කිහිපයක් ලබා දෙන්න පටන් ගත්තා. ඒ ආහාර වේලකට සතිකයට බිත්තර දෙක ගාණේ දුන්නා," යැයි විදුහල්පති වසීර් සාහීර් පවසයි.
"ඒත් දැන් ආයෙත් ගණන් ගිහින් නිසා අපිට ඒකත් එක බිත්තරයකට අඩු කරන්න වුණා. එහෙම හරි එකක් දෙන්නෙත් ප්‍රෝටීන් අත්‍යවශ්‍ය නිසා."
විදුහල්පතිවරයා පවසන්නේ, දරුවන්ගෙන් අඩක් පමණ අඩු බර හෝ මන්දපෝෂණයෙන් පෙළෙන බව ය.
වසරකට අධික කාලයක් පුරාවට පවතින ආර්ථික දුෂ්කරතා ශ්‍රී ලංකාවේ මිලියන 22ක ජනතාව සඳහා නොමිලේ සපයන සෞඛ්‍ය සේවා පද්ධතියට ද බලපෑම් එල්ල කර තිබේ.
ශ්‍රී ලංකාව සිය ඖෂධවලින් 85%ක් පමණ ආනයනය කරන අතර, ආර්ථික අර්බුදය ඇති අවස්ථාවේදී සහ විදෙස් සංචිත කඩා වැටුණු අවස්ථාවේ අත්‍යවශ්‍ය ඖෂධවල විශාල හිඟයක් ඇති විය.
මහනුවර කඳුකරයේ දිවි ගෙවන ප්‍රමුඛ පෙළේ දේශපාලන විද්‍යාඥයෙකු වන 75 හැවිරිදි මහාචාර්ය එම්.ඕ.ඒ. ද සොයිසාට ද ඉන් ඍජු බලපෑමක් එල්ල විය. සිය පෙනහළුවල පැවති ෆයිබ්‍රෝසිස් රෝගී තත්ත්වයට ප්‍රතිකාර කිරීම සඳහා ඉන්දියාවෙන් ඖෂධ ලබා ගැනීමට මහත් වෙහෙසක් දැරූ ඔහු මාස නවයකට පෙර මිය ගියේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Nitin Srivastava
"බෙහෙත් ගන්න හැම වෙලේ ම වගේ ප්‍රමාද වුණ එක ගැන කලකිරීමෙන් හිටිය ත් එයා එයාගේ පොත ලිවීම දිගට ම කරගෙන ගියා. එයා දැනගෙන හිටියා එයා මැරෙනවා කියලා. මොකද එයා හිටපු තත්ත්වය ලේසියෙන් හොඳ කරන්න බැරි එකක් නිසා," යැයි ඔහුගේ බිරිඳ මාලිනී ද සොයිසා පවසන්නී ය.
"ඒත් දේවල් සාමාන්‍ය තත්ත්වයකින් තිබුණා නම්, පසුගිය මාසවල අපට දැනුන ආතතිය අඩු වෙන්න තිබුණා. ඊට පස්සේ අපිට විශාල ගණන් ණය ගෙවන්න මහන්සි වුණා."
කොළඹ නගරයේ ඇති එක ම විශේෂඥ පිළිකා රෝහල තුළ ද මෙම වේදනාව දක්නට ලැබෙයි.
රෝහල තුළ ඇති සායනයක පිටත අසුන් ගෙනසිටින 48 හැවිරිදි පියයුරු පිළිකා රෝගියෙකු වන රමණි අසෝකා සහ ඇගේ සැමියා පසුවන්නේ, ලබන මාසයේ සිදු කිරීමට ඇති දෙවන වටයේ කීමෝ තෙරපි චිකිත්සාව [chemotherapy] සම්බන්ධයෙන් කනස්සල්ලෙනි.
"මේ දක්වා ඉස්පිරිතාලෙන් නොමිලේ බෙහෙත් කළ ත් මෙහේ එන එක ම ලොකු විදයමක් අපිට. දැන් අපිට ඒ බෙහෙත් එළියේ ෆාමසි එකකින් ගන්න වෙලා. හැබැයි එයාලා ගාවවත් ඒවා ගන්න නැහැ," යැයි රමණි අසෝකා පවසන්නී ය.

ඡායාරූප මූලාශ්‍රය, Nitin Srivastava
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුවැල්ල අනතුරු අඟවන්නේ, ඖෂධවල අධික මිල සහ හිඟය "ක්ෂණිකව සම්පූර්ණයෙන් තුරන් කළ නොහැකි" බව ය.
"හිතලා බලන්න, අපිට වුණේ, කුඩා මුදල් සංචිතයක් තියාගෙන ආනයනය කරන්න ඕනේ මොනව ද කියලා තීරණය කරන්න තරම් අමාරු තේරීමක් කරන්න. ආහාර ද ඖෂධ ද? පේන මානයේ තිබුණු ආහාර අර්බුදය ඇති වෙන එක වළක්වා ගන්න අපි ආහාර ගෙන්නන ඕනේ. දැන් ඒ තත්ත්වය ටිකක් සමනය වෙලා තියෙන්නේ. ඒක ක්‍රමයෙන් වර්ධනය වේවි," යැයි ඔහු පවසයි.
නමුත් මිනිසුන්ට පැවැත්ම සඳහා විශ්වාසය තැබිය හැක්කේ තමන් මත පමණි. මීට පෙර කොස් බිම "කුණු වී ගිය" ආහාරයක් වූ බව කරුප්පයියා පවසයි.
"අපි පස්දෙනාට ම දවස ගැටගහන්න තම්බපු කොස් මුට්ටියක් ඇති" යැයි ඔහු පවසයි.
කරුප්පයියාගේ ඉඩමේ ගස් නොමැති බැවින් අසල්වැසියන් සමග ඔහුට ඇත්තේ, වෙනස් ආකාරයේ 'ගනුදෙනුවකි'.
"මිනිස්සු ගෙවන්න ලෑස්ති වුණත් ගස් නැගලා කොස් කඩන්න මම කවදාවත් සල්ලි ගන්නේ නෑ. ඒ වෙනුවට මම කඩන කොස්වලින් ගෙඩියක් ගෙදර අරගෙන එනවා."

ඡායාරූප මූලාශ්‍රය, Madawa Kulasooriya
එමෙන් ම, සියලු දේශපාලන හා ආර්ථික අවුල් මධ්‍යයේ ඔහු ස්වභාව ධර්මය කෙරෙහි විශ්වාසය තබයි.
"කොස්සහ පොල් ගස් කියන්නේ මට මගේ අම්මයි තාත්තයි වගේ," ඔහු පවසයි.










