එරික් සෝල්හයිම් : නෝර්විජියානු සාම නියෝජිතවරයා නැවත ලංකාවට එන්නේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, Erik Solheim | Twiiter
එරික් සෝල්හයිම් යනු ශ්‍රී ලංකා රජයට එල්.ටී.ටී.ඊය සමඟ සාම සාකච්ඡා ආරම්භ කිරීමට මැදිහත් වූ නොර්වේ සාම නියෝජිතයාය.
එවකට ඔහු මෙරටට පැමිණීම බොහෝ පුවත් පත්වල පළමු පිටුවේ පළවූ පුවතක් බවට පත්විය. ඔහුගේ පැමිණීම සුවිශේෂ වූ අතර එම සංචාරවලදී ඔහු බොහෝ විට එවකට මෙරට ආණ්ඩුවේ ප්‍රධානීන් මෙන්ම උතුරට ගොස් එල්.ටී.ටී.ඊ නායකයින් ද හමුවූහ.
එම සාම සාකච්ඡා බිඳ වැටී, නැවත ඇති වු ආයුධ සන්නද්ධ යුද්ධය නිමවී දශකයකට පමණ පසු එරික් සෝල්හයිම් යළි මෙරටට පැමිණ ඇත. සෝල්හයිම් මෙවර ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ඇයි යන්න කාගේත් විමතියට කරුණකි.
ජනාධිපති රනිල්ගේ ජාත්‍යන්තර දේශගුණ උපදේශක
මේ වන විට එරික් සෝල්හයිම් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජාත්‍යන්තර දේශගුණ උපදේශක ලෙස පත් කර තිබේ.
ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් එරික් සෝල්හයිම් පැවසුවේ මාලදිවයින් හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් සමඟ තමාද එලෙස උපදේශකවරයෙකු ලෙස පත්වීම පිළිබඳ ආඩම්බර වන බවයි.
පසුගිය 10 වැනිදා දිවයිනට පැමිණි එරික් සෝල්හයිම් ඊයේ (ඔක්තෝබර් 11 වැනිදා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවිය.
හරිත ආර්ථික ප්‍රතිසංවිධානය සහ ශ්‍රී ලංකාවේ දේශගුණික නායකත්වය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහට විශිෂ්ට දැක්මක් ඇතැයි එරික් සෝල්හයිම් සඳහන් කළේය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
2022 (UNFCCC හි පාර්ශවයන්ගේ සම්මේලනය) හෙවත් COP27 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව මෙවර ඊජීප්තුවේ ෂාර්ම් එල් ෂෙක්හිදී පැවැත් වීමට නියමිතය.
2022 නොවැම්බර් 6 සිට 18 දක්වා පැවැත්වීමට නියමිත 27 වන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවට ජනාධිපතිවරයා සමඟ මෙම උපදේශකයින්ද සහභාගිවීමට නියමිත බව වාර්තා වෙයි.
එරික් සෝල්හයිම් - මහින්ද රාජපක්ෂ අතර හමුවක්
මේ අතර එරික් සෝල්හයිම්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කොළඹදී අද (ඔක්තෝබර් 12 වැනිදා )හමුවිය.

ඡායාරූප මූලාශ්‍රය, Mahinda Rajapaksa
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජාත්‍යන්තර දේශගුණ උපදේශකවරයකු ලෙස පත් වීම පිළිබඳව මහින්ද රාජපක්ෂ විසින් සෝල්හයිම්ට සුබ පැතුම් එක් කරන අතර, මෙම නව කාර්යභාරය සඳහා සියලු දෙනාගේම සහයෝගය ප්‍රාර්ථනා කරන බවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
"මහින්ද රාජපක්ෂ, සෝල්හයිම් සමඟ කළ සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේදී ශ්‍රී ලංකා රජය සහ එල්ටීටීඊ ත්‍රස්තවාදීන් අතර සාම සාකච්ඡාකරු ලෙස සෝල්හයිම් ශ්‍රී ලංකාවට කළ දායකත්වය සිහිපත් කළ අතර ගැටුමෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට ඇති වූ අහිතකර බලපෑම් පිළිබඳව සාකච්ඡා කළ," බව එහි සඳහන්ය.
එම නිවේදයේ වැඩිදුරටත් සඳහන් කර තිබුනේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වත්මන් ආර්ථික අර්බුදය පිළිබඳව ද මහින්ද රාජපක්ෂ සහ සෝල්හයිම් සාකච්ඡා කළ අතර, එහිදී විශේෂයෙන්ම නීල ආර්ථිකය ශක්තිමත් කිරීමට සහාය වීම සඳහා දිවයිනේ ආයෝජනය කරන ලෙස නෝර්වේ ආයෝජකයින්ට ආරාධනා කළ බවයි.
"සමුද්‍ර ව්‍යාපෘති සම්බන්ධයෙන් නෝර්වේ රාජ්‍යයට විශාල කාර්යභාරයක් ඉටු කළ හැකි බව පැවසූ මහින්ද රාජපක්ෂ, එවැනි වැදගත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා රජයට අවශ්‍ය සියලු සහාය ලබා දෙන බව ද පැවසීය." යනුවෙන් එහි දක්වා තිබේ.
ශ්‍රී ලංකාවට නෝර්වේ රාජ්‍යයේ සහාය ලබා දීම පිළිබඳව සෝල්හයිම් සහතික වී ඇති බවත්, දෙරට එක්ව ඉදිරියට යා හැකි ආකාරය පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කළ බවත් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ඒකකය සඳහන් කළේය.
සාම නියෝජිත සෝල්හයිම්
IV ඊළාම් යුද්ධය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය විසඳීමට ඔහු අසාර්ථක උත්සාහයක් දැරීය.
එරික් සෝල්හයිම් 1998 වසරේ සිට 2006 වසර දක්වා ශ්‍රී ලංකා රජය හා එල්ටීටීඊ සංවිධානය සමඟ සාම ක්‍රියාවලියේ ප්‍රධාන පහසුකම් සපයන්නා ලෙස ක්‍රියා කළ අතර සෝල්හයිම් පළපුරුදු සාම සාකච්ඡාකරුවෙකි.
ශ්‍රී ලංකාවේ සිදු වූ බවට චෝදනා නැගෙන යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ඕනෑම ජාත්‍යන්තර විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සාක්ෂි ලබා දීමට තමා ඉදිරිපත් වන බව එරික් සොල්හයිම් හිටපු නෝර්වේජියානු සාම නියෝජිතවරයා මීට ඉහතදී පැවසුවේය.

ඡායාරූප මූලාශ්‍රය, Erik Solheim | Twiiter
කෙසේ වෙතත් එරික් සෝල්හයිම් එවකට මෙරටට පැමිණ එල්.ටී.ටී.ඊ ය සමඟ සාකච්ඡා කිරීමේදී විපක්ෂයේ සිටි මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ විපක්ෂ කණ්ඩායම චෝදනා කර සිටියේ ඔහු එල්ටීටීඊ හිතවාදියකු බවට ය.
එවකදී ශ්‍රී ලංකා ආණ්ඩුව සහ එල්ටීටීඊ සංවිධානය අතර සාම සාකච්ඡා පැවති සමයේ එල්ටීටීඊයට මුදල් ලබා දුන් බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ 2014 වසරේදී ජනාධිපතිවරණය ඉලක්ක කර පැවැත්වූ මැතිවරණ රැස්වීමකදී ඔහුට චෝදනා එල්ල කළ අතර එම චෝදනා අසත්‍ය බව හිටපු නෝර්වේජියානු සාම නියෝජිත එරික් සෝල්හයිම් එවකට පැවසීය.
ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කර ජනාධිපති මහින්ද රාජපක්ෂ තමාට මේ ආකාරයේ බොරු චෝදනා එල්ල කරන බව එරික් සොල්හයිම් එවක කියා සිටියේය.
එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීම කළ නොහැකි බව හිටපු නෝර්වේජියානු සාම නියෝජිතවරයා තමාට පැවසූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එම උත්සවයේදී වැඩි දුරටත් කියා සිටියේය.
සාම ක්‍රියාවලිය සටන් විරාමයකට සහ 2002 දී ඔස්ලෝ ප්‍රකාශනයට තුඩු දුන් අතර එහිදී ශ්‍රී ලංකාවේ අදාළ පාර්ශව ෆෙඩරල් රාජ්‍යයක් පිළිගත්තේය.
ඔහු අමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකාවේ සාම ප්‍රයත්නයන් සඳහා අඛණ්ඩව නායකත්වය දුන් අතර, සුඩානය, නේපාලය, මියන්මාරය සහ බුරුන්ඩි යන රටවල සාම ක්‍රියාවලියට දායක වී ඇත.
සෝල්හයිම් ඇතුලු නෝර්වීජියානු කණ්ඩායම ශ්‍රී ලංකාවේ සාම ක්‍රියාවලියට මැදිහත්වීම එවක දැඩි ලෙස මතභේදයට,විවාදයට සහ විවේචනයටද ලක්විය.
ප්‍රදර්ශනාත්මක පත්කිරීමක්
ඉතිහාස ගත මෙවන් පසුබිමක් තුළ ශ්‍රී ලංකාව එරික් සෝල්හයිම්ට ප්‍රදානය කොට ඇති නව භූමිකාව සම්බන්ධයෙන් බීබීසීය කළ විමසීමකදී අප වෙත අදහස් දක්වමින් කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ කථිකාචාර්ය සුමිත් චාමින්ද කියා සිටියේ මෙම පත් කිරීම මීට පෙර ජාතිකවාදීන් විසින් සෝල්හයිම් සම්බන්ධයෙන් ගොඩනැගූ ප්‍රතිරූපයට පරස්පර තත්ත්වයක් බවයි.
කෙසේ වෙතත් ජාත්‍යන්තර වශයෙන් මෙරට මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් ඇති වී තිබෙන අයහපත් ප්‍රවණතාව හමුවේ මෙම පත්කිරීමට දේශපාලනික වශයෙන් යම් කිසි උවමනාවක් තිබෙන්නට හැකි බව ඔහු සඳහන් කළේය.
"මෙවර රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති වුනාට, අද පවතින්නේ පොහොට්ටු පක්ෂයේ පාලනයක්. මෙම පත් කිරීම කලින් ඔහු සම්බන්ධයෙන් ජාතිකවාදීන් ඇති කරපු ඒ ප්‍රතිරූපය එක්ක ගත්තාම, මේක සෑහෙන්න පරස්පර තත්ත්වයක්" හෙතෙම පැවසුවේය.
"සාමකාමී උද්ඝෝෂණ ඉතා දැඩි ලෙස මර්දනය කිරීම, ඒ වගේම ජිනීවාවල සිදුවෙන දේ ගැන කිසිම තැකීමක් නොකර දිගටම මානව අයිතිවාසිකම් කඩ කිරීමේ මාර්ගයක තමයි මේ ආණ්ඩුව යන්නේ, එහෙම කරන අතරෙදි යම් විදිහකින් කරන ප්‍රදර්ශනාත්මක ක්‍රියාවක් ලෙසයි මම මේක සලකන්නේ ඇත්තටම."
"දෙමළ ප්‍රජාවට, ඒ වගේම ලංකාවේ වාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් අවශ්‍යයි කියලා විශ්වාස කරපු කණ්ඩායමට, ජාත්‍යන්තර ප්‍රජාවට, ඔවුන් සඳහා කරපු යම් විදියක ප්‍රදර්ශනාත්මක ක්‍රියාවක් විදිහට කරපු පත් කිරීමක් මිසක් ගුණාත්මකව තමන්ගේ ප්‍රතිපත්තියේ වෙනසක් ඇති කරන බවක් පේන්නේ නැහැ" කථිකාචාර්යවරයා සඳහන් කළේය.
ඔහු කියා සිටියේ "සෝල්හයිම් සම්බන්ධයෙන් ලංකාවේ ඇති කළ ප්‍රතිරූපය ගත්තාම ඒක සිංහල ජාතිකවාදීන් ඇතිකරපු ප්‍රතිරූපයක්. ප්‍රධාන වශයෙන්ම රාජපක්ෂ ආණ්ඩුව සහ ඒ වටේ හිටපු ජාතිකවාදී කණ්ඩායම් විසින් දරුණු ප්‍රචාරයක් ගෙනහිල්ල තමයි ඔහු පිළිබඳව මතයක් හැදුවේ. ඒකේ වෙනසක් වෙලා කියලා මම හිතන් නැහැ."
"මේවා අපි කියන්නේ 'පොලිටිකල් ඉංජිනියරින්' කියලා. දේශපාලන ඉංජිනේරු වැඩ කියලා. ඇත්තටම සමාජ බලවේග අතර කිසිම සම්මුතියක් ඇති වෙලා නැහැ. රනිල් වික්‍රමසිංහයි පොහොට්ටු පක්ෂයයි අතර එකතුවෙලා ආණ්ඩුවක් හදා ගත්තට, ඒ පක්ෂ දෙකෙන් නියෝජනය වන සමාජ බලවේග තියෙනවානේ, සමාජ කණ්ඩායම් ඔවුන් අතර එහෙම සම්මුතියක් ඇති වෙලා නැහැ."
"එරික් සෝල්හයිම් ගෙනල්ලා මේ තානාන්තරය දුන්නට ඇත්තටම පොහොට්ටු පක්ෂයට ඡන්දේ දුන්නු ඒ යම්කිසි පිරිසක් ඉන්නවනේ 69 ලක්ෂයේ, ඔවුන් දිනා ගැනීමක්, ඔවුන් මේ මතයට එකඟ කර ගැනීමක්, සමාජ මේ තලේ කිසිම එකඟත්වයක් නෑ.මේක නිකං ඉහළ තලයේ ප්‍රභූන් අතර කරන පත්කිරීම්. එහෙම පුළුල් සමාජ එකඟත්වයක් ඇතිව නෙවෙයි අද මේ කිසිම දෙයක් ක්‍රියාත්මක වෙන්නේ." යනුවෙනි.
"මේ ආණ්ඩුව ගන්න හැම දෙයක්ම ක්‍රියාත්මක වෙන්නේ අර උඩුතල්ලේ ප්‍රභූන් අතර ඩීල් මත. ඩීල් දේශපාලනය කියන එක හොඳටම ගැලපෙනවා. අපි උඩින් දේවල් වාත්තු කරනවා සමාජමය තලයේ කිසිම එකඟත්වයක් නැතිව, මම කියන්නේ අන්න එහෙම මතුපිට තලයේ කරපු යම් විදිහක ප්‍රදර්ශනාත්මක ක්‍රියාවක් මිසක් මේකෙන් ප්‍රතිපත්තිමය තලයේ කිසිම වෙනසක් වෙනසක් ඇතිවෙලා තියෙනවා කියලා නම් පේන්නේ නැහැ" කථිකාචාර්ය සුමිත් චාමින්ද වැඩිදුරටත් පැවසීය.
කවුද මේ සෝල්හයිම්?
සෝල්හයිම් නෝර්වේ හරිත පක්ෂයේ සාමාජිකයෙකි. ඔහු විවාහකයෙකු වන අතර දරුවන් හතර දෙනෙකුගේ පියෙකි.
සෝල්හයිම් කලින් සමාජවාදී වාම පක්ෂයේ (SV) දේශපාලනඥයෙක් විය; ඔහු 1977 සිට 1981 දක්වා එහි තරුණ ශාඛාව වන සමාජවාදී තරුණ අංශයට නායකත්වය දුන්නේය.
1981 සිට 1985 දක්වා පක්ෂ ලේකම්වරයා වූ අතර, 1989 සිට 2001 දක්වා නෝර්වේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේය.
ඔහු 1987 සිට 1997 දක්වා සමාජවාදී වාම පක්ෂයේ නායකයා විය.සෝල්හයිම් පක්‍ෂයේ නායකයා ලෙස කටයුතු කරන සමයේදී ඔහුගේ වාමාංශික මත දැරූ පක්‍ෂය පෙර සිටි දැඩි වාමාංශික ස්ථාවරයන් බොහෝමයක් අත්හැර දමා මධ්‍යස්ත මතයක් කරා ළං විය.
ඔහු ඉතා දක්ෂිණාංශිකයෙකු ලෙස සැලකීම නිසා ඔහුගේම පක්ෂය තුළම මතභේදයට තුඩු දුන්නේය. පක්ෂ නායකයා ලෙස වසර දහයක් කටයුතු කර 1997 දී ඔහු ඉල්ලා අස් විය.
2000 දී සෝල්හයිම් නෝර්වීජියානු දේශපාලනයෙන් ඉවත්ව විදේශ කටයුතු අමාත්‍යාංශයේ විශේෂ උපදේශකයෙකු ලෙස පත්වීමක් ලබා ගත්තේය.
සෝල්හයිම් 2005 දී ජාත්‍යන්තර සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත් වූ විට නැවත නෝර්වේ හී දේශපාලනයට පැමිණියේය.
2007 දී ඔහු ඊට අතිරේකව පරිසර අමාත්‍යවරයා බවට පත් වූ අතර ඔහු 2012 දක්වා එම තනතුරු දෙකම දැරීය.
2012 දී රජයෙන් ඉවත් වූ පසු, ඔහු විදේශ කටයුතු අමාත්‍යාංශයේ විශේෂ උපදේශකයෙකු ලෙස පෙර තනතුරට පත් වූ අතර, 2013 සිට 2016 දක්වා පැරිසියේ OECD සංවර්ධන ආධාර කමිටුවේ සභාපතිවරයා වූයේ සෝල්හයිම් ය.
ඔහු 2016 සිට 2018 දක්වා එක්සත් ජාතීන්ගේ උප මහලේකම්වරයා සහ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂවරයා විය. 2018 නොවැම්බර් මාසයේදී ඔහු සිය නිරන්තර ජාත්‍යන්තර සංචාර සහ ඇතැම් අභ්‍යන්තර නීති කඩකිරීම් විවේචනයට ලක්වු එක්සත් ජාතීන්ගේ අභ්‍යන්තර විගණනයකින් පසුව ඉල්ලා අස්විය.
එරික් සෝල්හයිම් එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ හයවන සහ හිටපු විධායක අධ්‍යක්ෂ සහ එක්සත් ජාතීන්ගේ උප මහලේකම්වරයෙකි.
රජයේ සහ ජාත්‍යන්තර සංවිධානවල පරිසරය සහ සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරන ලද පුළුල් වෘත්තීය ජීවිතයකින් පසුව, එරික් සෝල්හයිම් 2016 මැයි සහ 2018 නොවැම්බර් අතර කාලය තුළ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ ධුරය දැරීය.
එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනට සම්බන්ධ වීමට පෙර, සෝල්හයිම් ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානයේ සංවර්ධන ආධාර කමිටුවේ සභාපතිවරයා විය.මෙම ධුර කාලය තුළ, තිරසාර සංවර්ධන ආයෝජන හවුල්කාරිත්වය සහ ඇඩිස් බදු ක්‍රමය සඳහා මූලිකත්වය දෙමින් සංවර්ධන මූල්‍යකරණයේදී පුද්ගලික අංශයේ සහ බදුවල කාර්යභාරය සෝල්හයිම් අවධාරණය කළේය.
ඌණ සංවර්ධිත රටවලට වැඩි ආධාර ලබා දීමේ අවශ්‍යතාවය සහ සංවර්ධන ආධාර කමිටුවට නව සාමාජිකයින් සහ හවුල්කරුවන් ගෙන ඒමේ අවශ්‍යතාවය පිළිබඳව ද සෝල්හයිම් අවධානය යොමු කළේය.
2007 සිට 2012 දක්වා, සෝල්හයිම් නෝර්වේහි පරිසර හා ජාත්‍යන්තර සංවර්ධන ඒකාබද්ධ අමාත්‍යවරයා වූ අතර 2005 සිට 2007 දක්වා ජාත්‍යන්තර සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. මෙම අද්විතීය අමාත්‍යංශ මිශ්‍රණය ඔහුට සංවර්ධනයට සහ පරිසරයට සමගාමී ප්‍රවේශයක් ගෙන ඒමට ඉඩ සැලසීය.
සෝල්හයිම් පසුගිය වසර 100 තුළ නෝර්වේහි වැදගත්ම පාරිසරික නීති සම්පාදනය ලෙස බොහෝ දෙනා සලකන ස්වභාව විවිධත්ව පනත ද ක්‍රියාත්මක කළේය.
වැසි වනාන්තර සංරක්ෂණය කිරීම සඳහා නෝර්වේ බ්‍රසීලය, ඉන්දුනීසියාව, ගයනාව සහ අනෙකුත් රටවල් සමඟ සමීපව සහයෝගීව කටයුතු කරන නෝර්වීජියානු දේශගුණය සහ වනාන්තර මුලපිරීම ද සෝල්හයිම් යටතේ පිහිටුවන ලදී. මෙම මුලපිරීම සංවර්ධනය වෙමින් පවතින රටවල වන විනාශයෙන් සහ වන විනාශයෙන් විමෝචනය අවම කිරීම සඳහා ගෝලීය සන්ධානය වන UN REDD පිහිටුවීමට තීරණාත්මක දායකත්වයක් ලබා දුන්නේය.
රාජ්‍ය සහ ජාත්‍යන්තර සංවර්ධනයේ ඔහුගේ භූමිකාවට අමතරව, සෝල්හයිම් එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ - පරිසරය, ගැටුම් සහ ව්‍යසන පිළිබඳ විශේෂ නියෝජිතයා සහ සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය සඳහා ස්වභාවධර්මයේ අනුග්‍රාහකයෙකු ලෙස සේවය කළේය.
UN Environment's Champions of the Earth සම්මානය, TIME Magazine's Hero of the Environment, සහ ඉන්දියාවේ දිල්ලි හි TERI විශ්ව විද්‍යාලයෙන් ගෞරව ආචාර්ය උපාධියක් ඇතුළුව දේශගුණය සහ පරිසරය පිළිබඳ ඔහුගේ වැඩ සඳහා ඔහු සම්මාන ගණනාවක් ද ලබා ඇත.
ඔහු Den store samtalen, Naermere සහ Politikk er a ville නමින් ග්‍රන්ථ තුනක්ද රචනා කොට තිබේ.සෝල්හයිම් ඔස්ලෝ විශ්වවිද්‍යාලයෙන් ඉතිහාසය සහ සමාජ අධ්‍යයනය පිළිබඳ උපාධියක් ලබා ඇත.
2016 මැයි මාසයේදී සෝල්හයිම් එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ ලෙස පත් කරන ලදී.2018 ජුනි මාසයේදී ඔහු එම තනතුරෙන් ඉවත් වීමත් සමග අචිම් ස්ටයිනර් එම ධුරයට පත් විය.
එක්සත් ජාතීන්ගේ අභ්‍යන්තර අධීක්ෂණ සේවා කාර්යාලය (OIOS) විසින් 2018 අභ්‍යන්තර විගණනයකදී සෝල්හයිම්ට එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ (UNEP) නායකත්වය දීමට ඇති හැකියාව ප්‍රශ්න කරන ලදී.විශේෂයෙන් ඔහුගේ "පුළුල් ගමන් රටා" සහ සාමාන්‍ය මුල්‍ය කළමනාකරණ විලාසය ඊට හේතු විය.
එහි ප්‍රතිඵලයක් ලෙස, ඩෙන්මාර්කය, ස්වීඩනය, ජපානය, බෙල්ජියම සහ නෙදර්ලන්තය යන රටවල රජයන් එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන වෙත තම අරමුදල් සැපයීම නවතා දැමූ අතර, එම සංවිධානය විශාල අරමුදල් අර්බුදයකට මුහුණ පා ඇත.
2018 නොවැම්බර් 20 දින, එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සෝල්හයිම්ගේ ඉල්ලා අස්වීම පිළිගත්තේ, ඔහුට ඉවත් වන ලෙස ඉල්ලා සිටීමෙන් පසු බව වාර්තා විය.








