ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාවේ අර්බුදය:ආසියාවේ අනෙක් රටවලට අනතුරු ඇඟවීමකි
- Author, සුරන්ජනා තෙවාරී
- Role, ආසියානු ව්‍යාපාරික වාර්තාකරු
ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ ගැඹුරු ආර්ථික අර්බුදයක ගැටීමෙන් දැවැන්ත විරෝධතා මතුවූ අතර රටේ ජනාධිපතිවරයා ඔහු වෙත එල්ලවූ දැවැන්ත විරෝධය හමුවේ ඉන් පළා ගියේය. එසේවුවද, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) ප්‍රධානියාට අනුව අනෙකුත් රටවල් ද මීට සමාන ගැටලුවල අවදානමට මුහුණ දෙනු ඇත.
"ඉහළ ණය ප්‍රමාණ වගේම සීමිත ප්‍රතිපත්ති අවකාශයකින් යුතු රටවල් අමතර පීඩනයකට මුහුණ දෙන්නට පුලුවන්. අනතුරු ඇගවීමේ සලකුණකට ඇති ඉතා සමීප උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාව දෙස බලන්න" යැයි ජ්‍යාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා ප්‍රකාශ කළාය.
සංවර්ධනය වෙමින් පවතින රටවල් සිව් මසක් පුරා එකදිගට සිය ප්‍රාග්ධනය බැහැර ගලායාම අත්විඳිමින් සිටින්නේ දියුණු ආර්ථික ළඟාකර ගැනීමේ සිහින අවදානමේ හෙලමින් බව ද ඇය කියා සිටියාය.
විදේශ විනිමය අර්බුදයක් සමඟ සටන් කරන ශ්‍රී ලංකාව මිලියන 22ක් වූ සිය ජනතාවට අවශ්‍ය ආහාර, ඉන්ධන හා ඖෂධ ආනයනය සඳහා ගෙවීම් කිරීමේ ගැටලුවක සිරවී සිටියි. උද්ධමනය 50% න් පමණ ඉහළ නගිද්දී වසරකට පෙර තිබුණාට වඩා 80% කින් පමණ ආහාර මිල වැඩිවී තිබේ. මේ වසර තුළදී ශ්‍රී ලංකාවේ රුපියලේ වටිනාකම අමෙරිකානු ඩොලරය හා වෙනත් ගෝලීය වශයෙන් මුල් පෙළේ ඇති විනිමයට සාපේක්ෂව පසුබා ඇත.
අනතුරුදායී ප්‍රතිපත්ති සමඟින් ආර්ථිකය වැරදි ලෙස හැසිරවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බොහෝ දෙනාගේ දෝෂ දර්ශනයට ලක්ව ඇති අතර වසංගතයෙන් එහි බලපෑම තවත් උග්‍ර කරවීය.
ගෙවුණු වසර ගණන පුරා ශ්‍රී ලංකාව අතිවිශාල ණය කන්දරාවක් ගොඩගැසීය. පසුගිය මාසය වනවිට වසර 20ක් තුළදී විදෙස් ණය ගෙවීම පැහැර හරින ලද පළමු ආසියා ශාන්තිකර කලාපීය රට බවට ශ්‍රී ලංකාව පත්විණි.
අමෙරිකානු ඩොලර් බිලියන 3ක් වූ සහනයක් ලබාගැනීම වෙනුවෙන් නිලධාරීහු ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවලට එළැඹ සිටිති. නමුත් රටේ පවතින දේශපාලන වියවුල හේතුවෙන් එම සාකච්ඡා දිගින් දිගටම ඇනහිට තිබේ.
එහෙත් උද්ධමනය ඉහළ යාම සහ පොලී අනුපාත නැගීම, මුදල් අවප්‍රමාණවීම, ඉහළ ණය ප්‍රමාණ මෙන්ම විදේශ මුල්‍ය සංචිත අඩුවීම වැනි සමාකාර ගෝලීය ගැටලු කලාපයේ අනෙකුත් ආර්ථිකයන්ටද බලපා ඇත.
ඉන් ඇතැම් සංවර්ධනය වෙමින් පවතින රටවලට ණය දීමේදී චීනය ආධිපත්‍යයක් දරණ බැවින් එම රටවල ඉරණම ඉතා තීරණාත්මක ලෙස පාලනය කිරීමේ ඉඩකඩ පවතී. නමුත් චීනයේ ණය කොන්දේසි මොනවාද යන්න හෝ ණය ප්‍රතිව්‍යුහගත කිරීම කෙසේ සිදුවන්නේද යන්න අතිශයින්ම අපැහැදිලිය.
ජාත්‍යන්තර අර්බුද පිළිබඳ සමූහයේ (International Crisis Group) ඇලන් කීනන් පෙන්වාදෙන පරිදි චීනය පාර්ශවයෙන් යම් වරදක් සිදුවන්නේ විශාල ආර්ථික ප්‍රතිලාභයක් නොගෙනෙන මිල අධික යටිතල පහසුකම් ව්‍යාපෘති සම්බන්ධයෙන් දිරිගැන්වීම හා සහාය වීමෙනි.
"ඒ හා සමානව රාජපක්ෂ පවුලට මෙන්ම ඔවුන්ගේ ප්‍රතිපත්තිවලට දුන් සක්‍රීය දේශපාලන සහයෝගයද වැදගත්. මේ දේශපාලන අසමත්කම් ශ්‍රී ලංකා ආර්ථිකය බිඳවැටීමට ප්‍රධාන වශයෙන් හේතුවුණා. ව්‍යවස්ථා වෙනසක් හා වඩා ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියක් හරහා මෙය පිරියම් කරන තෙක්, වර්තමානයේ දකිමින් සිටින භයානක හීනයෙන් අත්මිදීමට ශ්‍රී ලංකාවට හැකියාව නොලැබේවි."
කනස්සල්ලට කරුණ නම්, අනෙකුත් රටවල්ද මේ ගමන් මගේම යමින් සිටීමය.
ලාඕසය
ගොඩබිම් සීමාවලින් වට වූ මිලියන 7.5 ට වැඩි ජනගහනයකින් හෙබි නැගෙනහිර ආසියානු රටක් වන ලාඕසය මාස කිහිපයක සිට සිය විදේශ ණය ගෙවීම පැහැර හැරීමේ අවදානමට මුහුණ දී සිටී.
මේ වනවිට, යුක්‍රේනයේ රුසියානු ආක්‍රමණය හේතුවෙන් ඉහළ යන ඉන්ධන මිල ලාඕසයේ ඉන්ධන සැපයුමට බලපෑමක් එල්ල කර තිබේ. මේ නිසා, ජනගහණයෙන් තුනෙන් එකක ප්‍රමාණයක් දුගී බවේ ගිලී ඇති ලාඕසය තුළ ආහාර මිල ඉහළ යමින් ඇත.
දිගු ඉන්ධන පෝලිම් ඇති බව දේශීය මාධ්‍ය වාර්තා කරන අතර ඇතැමුන්ට සිය ගේදොර වියහියදම් දැරීමටද අපහසු වී තිබේ.
කිප් නම් වන ලාඕසයේ මුදල් ඒකකයේ අගය පහළ වැටෙමින් තිබෙන අතර මේ වසර තුළදී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තුනෙන් එකකට වඩා අවප්‍රමාණය වී ඇත.
එක්සත් ජනපදය තුළ ක්‍රියාත්මක ඉහළ පොලී අනුපාත ඩොලරය ශක්තිමත් කර ඇති අතර කලාපයේ මුල්‍ය ඒකක දුර්වල කරමින් එම රටවල ණය බර ඉහළ නංවා ඇති අතර ආනයන වියදම වැඩිකර තිබේ.
දැනටමත් අධික ණය බරකින් මිරිකෙන ලාඕසය සිය ණය ගෙවීමේ හෝ ඉන්ධන වැනි ආනයන වෙනුවෙන් ගෙවීම් කිරීම් අරගලයක සිරවී සිටී. පසුගිය වසරේ දෙසැම්බර් වන විට අමෙරිකානු ඩොලර් බිලියන 1.3 ක සංචිත ප්‍රමාණයක් එරට සතුව පැවති බව ලෝක බැංකුව පවසයි.
එනමුත් එරට වාර්ෂික විදේශ ණයගැතිභාවය 2025 වසර වන තෙක් සමාන අගයක් ගනු ඇති අතර එය රටේ වාර්ෂික දේශීය ආදායමෙන් අඩකට සමානය.
එහි ප්‍රතිඵලයක් ලෙස, කොමියුනිස්ට් පාලනයක් ඇති ලාඕසය "කසළ" (junk) නම් වූ ස්ථානය තෙක් වර්ගීකරණයෙන් පහත හෙලීමට මූඩි ආයෝජක සේවා ආයතනය (Moody's Investor Services) පසුගිය මාසයේදී පියවර ගත්තේය.
ජලවිදුලි බලාගාරයක් සහ දුම්රිය මාර්ගයක් වැනි විශාල ව්‍යාපෘති වෙනුවෙන් අරමුදල් සම්පාදනය සඳහා චීනය අතිවිශාල ණය මුදල් ප්‍රමාණයක් ලාඕසයට සැපයීය. එරට නිලධාරියෙකු චීනයේ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සියට පැවසූ පරිදි, පසුගිය වසරේදී පමණක් ඩොලර් බිලියන 16 ඉක්මවන වටිනාකමක් ඇති ව්‍යපෘති 813 ක් සදහා චීනය සම්බන්ධවී ඇත.
ලෝක බැංකුවට අනුව, 2021 වනවිට ලාඕසයේ රජයේ ණය ප්‍රමාණය එරට දළ ජාතික නිෂ්පාදිතයෙන් 88% ක් තරම් වූ අතර එයින් අඩක පමණ ප්‍රමාණය අයත්වූයේ චීනයටය.
මීට හේතුව ලෙස විශේෂඥයින් පෙන්වා දෙන්නේ 1975 වසරේ සිට බලයේ සිටින එකම පක්ෂයේ (ලාඕස් ජනතා විප්ලවකාරී පක්ෂය) ආර්ථික අවකළමනාකරණය වේ.
නමුත් මූඩී'ස් විශ්ලේෂණයට අනුව, චීනය සමඟ ඉහළ ගිය වෙළෙඳ ගණුදෙනු මෙන්ම ජලවිදුලි නිර්යාතය (අපනයනය) සාධනීය තත්ත්වයකි. "අවදානම් කලාපය මගහැර යාම සහ සහන පැකේජයක අවශ්‍යතාව වළකාගැනීමේ සටනක යෙදීමේ හැකියාව ලාඕසයට තිබෙනවා," යැයි ආර්ථික විශේෂඥ හෙරොන් ලිම් මෑතක පළවූ වාර්තාවකින් කීය.
පාකිස්තානය
ආණ්ඩුව විසින් ඉන්ධන සහනාධාරය අවසන් කිරීමෙන් අනතුරුව පසුගිය මැයි මස අග සිට පාකිස්තානයේ ඉන්ධන මිල 90% කින් පමණ ඉහළ ගොස් ඇත. සහන වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුල සමඟ සාකච්ඡාවල යෙදෙන අතරේ සිය වියදම් පාලනය කරගැනීමට පාකිස්තානය උත්සාහ දරමින් සිටී.
භාණ්ඩ මිල ඉහළ යන තත්ත්වය තුළ ආර්ථිකය අර්බුදයක වෙලී තිබේ. ජුනි මාසය වන විට වාර්ෂික උද්ධමන අනුපාතය 21.3% ක් වූ අතර එය වසර 13 කින් වාර්තා වූ ඉහළම අගය වේ.
ශ්‍රී ලංකාව සහ ලාඕසය මෙන් පාකිස්තානයද විදේශ විනිමය සංචිත හිඟයට මුහුණදී සිටී. පසුගිය වසරේ අගෝස්තු මස සිට අඩකින් පමණ එය පහළ බැස ඇත.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රධාන ඉල්ලීම්වලට ඇතුළත් වූ ආණ්ඩුවේ ආදායම හා වියදම අතර හිඟය අඩුකිරිමට උත්සාහ දරණ පාකිස්තානය ඩොලර් බිලියන 1.93 ක් ඉපැයීමේ අරමුණින් වසරක කාලයක් සඳහා විශාල පරිමාණ කර්මාන්ත මත 10% ක බද්දක් පැනවීය.
"මේ මුදල් ලබාගැනීමට ඔවුන් සමත්වුණොත් සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි අනෙකුත් ණය දෙන්නන්ද තවදුරටත් ණය සම්පාදනය කරාවි," යි එස් ඇන්ඩි පී ග්ලෝබල් රේටිංස් (S&P Global Ratings) ආයතනයේ විශ්ලේෂක ඇන්ඩෲ වුඩ් බීබීසි සමඟ පැවසීය.
අඩාල වෙමින් පවතින ආර්ථිකයම ඊට හේතු නොවුවත්, මේ ඇතැම් ගැටලු විසඳන බවට පොරොන්දු වූ හිටපු අගමැති ඉම්රාන් ඛාන් බලයෙන් නෙරපනු ලැබිණි..
රටේ ආනයන වියදම අඩුකරගැනීමේ පියවරක් ලෙස තේ පරිභෝජනය අඩුකරන්නැයි පාකිස්තාන ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු පසුගිය මාසයේදී ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
යළිත් චීනයේ භූමිකාවක් පාකිස්තානය තුළද වේ. පාකිස්තානය සිය ණය ප්‍රමාණයෙන් හතරෙන් එකක් චීනයට ගෙවීමට ඇත.
"චීනය සමග ඇති වානිජ ණය පහසුකමක් අලුත් කිරීමට පාකිස්තානය පියවර ගෙන තිබෙන බව පෙනෙන්නට ඇති අතර එය ඔවුන්ගේ විදේශ සංචිතවලට එකතුවී තිබෙනවා. මේ අවුරුද්දේ දෙවෙනි භාගයේදීත් ඔවුන් චීනය දෙසට හැරෙන බවයි පෙනෙන්න තිබෙන්නේ," වුඩ් වැඩිදුරටත් පැවසීය.
මාලදිවයින
මාලදිවයිනේ රාජ්‍ය ණය ප්‍රමාණය මෑත වසරවල සිට ඉහළ යමින් පවතින අතර දැන් එය එරට දළ ජාතික නිෂ්පාදිතයෙන් 100% ඉක්මවා ගොස් තිබේ.
ශ්‍රී ලංකාව මෙන් සංචාරක කර්මාන්තය මත බෙහෙවින යැපුණු ආර්ථිකයට වසංගතයෙන් පහර වැදී ඇත.
සංචාරක කර්මාන්තය මත බෙහෙවින් යැපෙන රටවල් ඉහළ රාජ්‍ය ණය ප්‍රමාණයක් දැරීමේ ප්‍රවණතාවක් පෙන්වයි. නමුත් ලෝක බැංකුව පෙන්වා දෙන පරිදි විවිධාංගීකරණය නොවූ මාලදිවයිනේ ආර්ථිකය හේතුවෙන් විශේෂයෙන් ඉහළ ඉන්ධන පිරිවැයක් දැරීමේ අවදානමට එරට මුහුණ දෙයි.
නිවාඩු ගතකිරීමේ ගමනාන්තයක් ලෙස නම් දරා සිටින මාලදිවයින 2023 වසර අගදී සිය ණය ගෙවීම පැහැර හැරීමේ අවදානමට ලක්වනු ඇතැයි අමෙරිකානු ආයෝජන බැංකුවක් වන ජේපීමෝර්ගන් පවසා ඇත.
බංගලාදේශය
බංග්ලාදේශය තුළ වසර 8කින් සටහන් වූ ඉහළම උද්ධමන අනුපාතය පසුගිය මැයි මාසයේදී වාර්තා වූ අතර එය 7.42% ක් ලෙස දැක්විණි.
සංචිත පහළ යද්දී වේගයෙන් ක්‍රියා කළ ආණ්ඩුව අත්‍යාවශ්‍ය නොවන ආනයන කපා හැරීමටත්, විදේශගතව දිවි ගෙවන සංක්‍රමණිකයින් මිලියන ගණනකගේ මුදල් ප්‍රේෂණ ආකර්ෂණය කරගැනීම සඳහා නියමයන් ලිහිල් කිරීමට හා නිලධාරීන්ගේ විදේශ ගමන් අඩු කිරීමටත් පියවර ගත්තේය.
"බංගලාදේශය , පාකිස්තානය හා ශ්‍රී ලංකාව වැනි ජංගම ගිණුම්වල හිඟයක් ඇති ආර්ථික සහිත ආණ්ඩු සහනාධාර ඉහළ දැමීම පිළිබඳ බරපතල ගැටලුවලට මුහුණ දෙනවා. පාකිස්තානය සහ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දෙසට හැරී තිබෙන අතර අනෙකුත් ආණ්ඩු මුල්‍ය සහය අපේක්ෂා කරනවා," යැයි එස් ඇන්ඩි පී ග්ලෝබල් රේටිංස් හි විශ්ලේෂක කිම් එංග් ටෑන් බීබීසි සමග පැවසීය.
"බංගලාදේශය එම ආණ්ඩුවේ වියදම් යළි ප්‍රමුඛතාගත කර තිබුණා. ඒ වගේම පාරිභෝගික ක්‍රියාකාරකම්වලට සීමා පැනවූවා," ඔහු පැවසීය.
ඉහළ යන ආහාර හා බලශක්ති මිල විසින් වසංගතයෙන් බැට කෑ ලෝක ආර්ථිකයට තර්ජන එල්ලකරමින් තිබේ. වසර ගණනාවක් පුරා අධික ලෙස ණය ගත් සංවර්ධනය වෙමින් පවතින රටවල පවතින දුර්වල පදනම් නිසා ඔවුහු විශේෂයෙන් ගෝලීය කම්පන හමුවේ අවදානම් තත්ත්වයකට මුහුණ දෙමින් සිටින බව දැන් හඳුනාගනිමින් සිටිති.