සජිත්-ඩලස් බෙදී තරග කරන්නේ නම්,රනිල් ජනපති වන බව ස්ථිරයි!

සජිත් - ඩලස් බෙදී තරඟ කරන්නේ නම්, රනිල් ජනපති වන බව ස්ථිර යි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, රංග සිරිලාල්
    • Role, බීබීසී සිංහල

මේ වන විට ජූලි 20 වැනිදා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ජනපති තේරීමේ තරගයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී හිටපු අමාත්‍ය ඩලස් අලහපෙරුම සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඉදිරිපත් වන බවට ප්‍රකාශයට පත් කර ඇත.

වර්තමාන අගමැති, වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ මේ වන තෙක් තමන් එම තරගයට ඉදිරිපත් වන බව ප්‍රකාශකර නැතත් ඔහුත් මෙම සටනට පිවිසේයැයි උපකල්පනය කල හැක.

මේ වන විට සියලුදෙනා බලාපොරොත්තු වන්නේ ඉල්ලා අස්වූ ජනපති ගෝඨාභය රාජපක්ෂගේ ධුරයේ ඉතිරි කාලවකවානුව සඳහා කවුරුන් ජනපති වේදැයි යන්නයි.

මේ විමසා බැලිම ඒ පිළිබඳවයි:

Sri Lanka Parliament

නියෝජ්‍ය කතානායක තේරීම සඳහා පසුගිය මැයි 17 දා පාර්ලිමේන්තුවේදී කළ රහස් ඡන්දය විමසීමේදී ඡන්ද 109ක් ලබාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක අජිත් රාජපක්ෂ එම ධූරයට පත්විය. එහිදී විපක්ෂය ඒ සඳහා යෝජනා කළ රෝහිණි කවිරත්නට ඡන්ද 78ක් හිමි වූවාය. ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව 23කි.

මෙයට පෙර මැයි මස 05 වැනිදා පැවැත්වූ නියෝජ්‍යකතානයක තෝරා පත්කරගැනීමට පැවැත්වූ රහස් ඡන්ද විමසීමෙන් රංජිත් සියඹලාපිටිය ඡන්ද 148ක් ලබාගත් අතර, ඉමිතියාස් බාකීර් මාකර්ට හිමිවූයේ ඡන්ද 65කි. ඡන්ද තුනක් ප්‍රතික්ෂේප විය. එදින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අටදෙනෙක් නියෝජ්‍ය කතානායකවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමට පැමිණ සිටියේ නැත.

මේ අනුව පෙනීයන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්ද 109ත් 148ත් අතර ප්‍රමාණයක් ඇති බවයි. එහෙත් මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයින් දෙදෙනකු තරග වදියි. ඒ හිටපු අමාත්‍ය ඩලස් අලහපෙරුම හා වැඩබලන ජනපති, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහයි.

පරිනත දේශපාලනඥයකු වූ රනිල් වික්‍රමසිංහට මෙවර පාර්ලිමෙතුවට පිවිසීමට හැකි වුයේ එක්සත් ජාතික පක්ෂයට හිමිවූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙනි. එහෙත් රටේ පැනනැගුනු ආර්ථික හා දේශපාලන අස්ථාවරභාවය හේතුවෙන් එම ගැටළු කළමණාකරණය කිරීමට අගමැති මහින්ද රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ එම ධුරයට රනිල් වික්‍රමසිංහ පත්කිරීමෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය දිගටම රනිල් වික්‍රමසිංහට හිමි විය.

මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොටසක් රනිල් වික්‍රමසිංහට සහාය දක්වන බවට පෙනීගොස් ඇති අතර තවත් කොටසක් ඩලස් අලහපෙරුම සහාය දෙනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.

මෙහිදී දේශපාලන විචාරකයින් පවසන්නේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය තනතුරට පත්වීමත් සමඟ සමගි ජන බලවේගයේ හරීන් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාරගේ සහාය ලබගත්තාක් මෙන් මෙවරද සමගි ජන බලවේගයේ යම් පිරිසකගේ සහාය ඔහුට හිමිවිය හැකි බවයි.

සජිත් - ඩලස් බෙදී තරග කරන්නේ නම්, රනිල් ජනපති වන බව ස්ථිර ය.

"සජිත් ඉවත් වී, සජබ ප්‍රමුඛ විපක්ෂය ඩලස් සමඟ ජනපති අගමැති තනතුරු බෙදාගන්නේ නම්, ඔවුන් උඩින්ම දින දිනන්නේ යැයි බොහෝ දෙනා කියති. සජිත්ට ජනපති නැතිනම් අගමැති ලෙස රටම බලාපොරොත්තු වන 'ජාතික ආණ්ඩුවක් හදා' රටේ ප්‍රශ්න විසඳිය හැකිය. නැතිනම් විපක්ෂයට සජිත් ඉදිරියට දමා, 'ඔළුව නැතත් කඳ ෆයිට්' නාට්‍යය පෙන්විය හැකිය,"යනුවෙන් දේශපාලන විචාරක හා හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් බීබීසී සිංහල සේවයට පැවසීය.

"ඩලස් - සජිත් එක් වූවත් රනිල් වික්‍රමසිංහ පරාජය කළ නොහැකි බව විපක්ෂයේ සීත කාමර විශේෂඥයින්ගේ මතය වී ඇත. ඔවුන්ගේ තර්කය ඒකාබද්ධ විපක්ෂයේ 1/3ක් වන දෙමළ,මුස්ලිම් මන්ත්‍රීවරුන් රහස් ඡන්දයක දී රනිල් ට මිස ඩලස් ට ඡන්දය දෙන්නේ නැත' යන්නය."

"සජිත් - ඩලස් දෙදෙනාම තරග කරන්නේ නම්, රනිල් වික්‍රමසිංහ උඩින්ම ජනපති වනු ඇත," යනුවෙන් රංජිත් කීර්ති තෙන්නකෝන් පැවසීය.

"රනිල් එළවන්නට කතා කළාට, එක්කෝ විපක්ෂයට එයට සැබෑ අවශ්‍යතාවයක් නැත! නැතිනම්, හැකියාවක් නැත! සැලසුමක් හෝ වැඩ පිළිවෙලක් නම් ඇත්තේම නැත!"

රංජිත් කීර්ති තෙන්නකෝන් පවසන්නේ රනිල් වික්‍රමසිංහ මෙම ඡන්ද සටන පටන්ගන්නේ ඡන්ද 73ක් එනම් තම නිවස ගිනිගත් මන්ත්‍රීවරුන්ගේ සහාය අතැතිව බවයි.

දේශපාලන විචාරකයින් පවසන්නේ සජිත් ප්‍රේමදාස සහ ඩලස් අලහපෙරුම එක්වුවහොත් රනිල් වික්‍රමසිංහ පරාජය කිරීමේ හැකියාවක් ඇති බවත් එසේ නොවන්නේ නම් රනිල් වික්‍රමසිංහට ජනපති වීමට විශාල හැකියාවක් ඇති බවයි.

එහෙත් සජිත් ප්‍රේමදාස තම නාමයෝජනා බාරනොදෙන්නේනම් සමගි ජනබලවේගයෙන් වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත්වීමේ හැකියාවක් ද ඇති බව දේශපාලන විචාරක මතයයි.

මෙහිදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහාය රනිල් වික්‍රමසිංහ හා ඩලස් අලහපෙරුම අතර බෙදෙනු ඇතැයි රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

"රනිල් විරෝධී ප්‍රධානම චරිත දෙක එම් ඒ සුමන්දිරන් හා ආර් ශානක්‍යන් ඩලස් සමඟ රැදෙයි."

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයද බෙදී ඇති බවට දේශපාලන විචාරකයෝ පවසති.

විපක්ෂයේ උඩරට දෙමළ මන්ත්‍රීවරුන් 6 දෙනා ද රනිල් වික්‍රමසිංහ හා ඩලස් අලහපෙරුම අතර බෙදී යනු ඇත.

"සජිත්ගේ 62 කණ්ඩායමේ සිටින නුවරඑළියේ දිගම්බරම් සහ උදයකුමාර් ඩලස් ට වඩා රනිල්ට අතිශයින්ම සමීපය. බදුල්ලේ අරවින්ද කුමාර දැනටමත් රනිල් සමඟ ය," රංජිත් කීර්ති තෙන්නකෝන් පැවසීය.

"මනෝ, වේලුකුමාර් සහ රාධක්‍රිෂ්ණන් සජිත් ගේ කුමන තීරණයක් සමඟ හෝ රැදෙනු ඇත. ඒ ඊළඟ මහා මැතිවරණයේදී කොළඹ සහ මහනුවරින් පාර්ලිමේන්තු එන්නට අවශ්‍ය නිසාය."

"තොන්ඩමන් ලා නවතින්නේ ශ්‍රීලනිප සමඟ බව බැලූ බැල්මට පෙනේ. දිගම්බරම් - තොන්ඩමන් අනිවාර්යයෙන්ම කඳවුරු දෙකකට යනු ඇත."

මුස්ලිම් මන්ත්‍රීවරු කොතැන ද?

"රිෂාඩ් බදුර්දීන්, රවුෆ් හකීම් ගෙන් කැඩී ගිය ඉෂාක් රහමන්, තවුෆීක්, ෆයිසාල් කාසිම් සහ හාරිස් දැන් ඒකාබද්ධ විපක්ෂයේ ය. මේ ඡන්ද හතර ඩලස් ට ස්ථිර නැත."

"අනෙක් අතට, රවුෆ් හකීම්ට රනිල් සමඟ ඇති කුමන හෝ ආරෝවක් රහමන්, තවුෆික්, ෆයිසාල් හා හාරිස් ට රනිල් සමඟ නැත. රනිල් තරම් සුවපහසුවක් විමල්-ගම්මන්පිල කඳවුරෙන් ලැබෙන්නේ ද නැත."

"රිෂාඩ් බදුර්දීන් හිරේ දැම්මේ රතන හිමි හා විමල් ගේ පක්ෂයේ පීඩනය නිසාය. රහස් පොලීසියේ වතුර බෝතලයක් හිසට තබා, කාඩ්බෝඩ් කැබැල්ලක නිදාගන්න මග පෑදු අතීතය රිෂාඩ් සහ පක්ෂය අමතක කරයි ද? රනිල් හා රිෂාඩ් අතර සම්බන්ධය වසර 20 කි." රංජිත් කීර්ති තෙන්නකෝන් වැඩිදුරටත් සඳහන් කළේය.