ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
“ශ්‍රී ලංකාවේ දරුවන් සම්බන්ධ නඩු අහන්න අවුරුදු 10ක් 12ක්වත් යනවා"
බණ්ඩාරගම, අටළුගම දී නවහැවිරිදි දැරියක් ඝාතනය වී ඇතිබව මේ වන විට රටම දනියි.
කොටදෙණියාවේ සේයා සදෙව්මි, යාපනයේ විද්‍යා වැනි දැරියන් අමානුෂික ලෙස ඝාතනය කිරීමේ කෲර මතකයන් යළි සිහිපත් කෙරෙන ෆාතිමා අයේෂා දැරියගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට හැකිවී නැත.
පොලීසිය පවසන්නේ සැකකරුවන් පිළිබඳ මෙතෙක් තොරතුරක් නොමැති බව ය.
ඝාතනය සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇති අතර, තවත් පොලිස් කණ්ඩායම් හතරක් මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වති.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 20 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව ප්‍රකාශ කළේ ය.
මොහොමඩ් ෆාතිමා දැරියගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (මැයි 30) පානදුර රෝහලේ දී පැවැත්වීමට නියමිතව ඇත.
මෙය මෑතකාලීනව ගත්විට වසර එකහමාරක පමණ කාලයක් තුළ සිදුවූ 14වැනි ළමා මරණය ලෙස සැලකෙන බව අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය පෙන්වා දෙයි.
සමස්ත ශ්‍රී ලංකාවේම හදවත් කම්පා කළ මෙවැනි ඝාතන විශාල ප්‍රමාණයක් අපට මතක තිබේ. එහෙත් කුඩා දරුවන් මෙලෙස කෲර ලෙස ඝාතනය කිරීමට වැළැක්වීම සඳහා තිත තැබීමට මෙතෙක් හැකි වී නැත.
දරුවන් මෙවැනි කෲර ඉරණම්වලට ලක්කිරීමට තරම් අද සමාජය කුරිරු වී ඇත්තේ ඇයි?
දැරියගේ පවුලට යුක්තිය ඉටු කරනවා - ජනාධිපති
ට්විටර් පණිඩුවයක් නිකුත් කරමින්, මෙම කුරිරු අපරාධය සම්බන්ධයෙන් ෆාතිමා අයේෂා දැරියගේ පවුලට යුක්තිය ඉටු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහතික විය.
දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහු සිය සංවේගය පළකළේ ය.
දැරියගේ මරණය විමර්ශනයට විශේෂ කණ්ඩායමක් යොමුකරන බව ජාතික ළමා රක්ෂණ අධිකාරිය ද ප්‍රකාශ කළේ ය.
පොලිස් විමර්ශනවලට සහාය වීම සඳහා එම කණ්ඩායම ක්‍රියාත්මක බව එහි සභාපති ආචාර්ය උදය කුමාර අමරසිංහ පැවසුවේ ය.
ඝාතනයට ලක්වූ ෆාතිමා අයේෂා අටුලුගම, එපිටමුල්ල ප්‍රදේශයේ පදිංචි නවහැවිරිදි දැරියකි. ඇය අටුලුගම ප්‍රදේශයේ පාසලක හතරවන ශ්‍රේණියේ ඉගෙනුම ලබා ඇත.
මැයි (27) පෙරවරු 10.00ට පමණ කුකුළු මස් මිලදී ගැනීම සඳහා අසල පිහිටි වෙළෙඳසැලකට පිටත්කර හරිනු ලැබූ ඇය යළි නිවසට පැමිණ තිබුණේ නැත.
ඥාතීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ඇය සෙවීමේ කටයුතු ආරම්භ කළ අතර, පසුදින (මැයි 28) පස්වරුවේ දැරියගේ සිරුර සොයාගැනුනේ නිවසට ආසන්න ප්‍රදේශයක වගුරුබිමක තිබිය දී ය.
"දෙමව්පියන්ගේත් වගකීමක්"
දරුවන්ගේ ආරක්ෂාව සහ රැකවරණය සම්බන්ධයෙන් දෙමව්පියන්ට හා භාරකරුවන්ට වගකීමක් ඇති බව ජාතික ළමා රක්ෂක අධිකාරීයේ සභාපතිවරයා ප්‍රකාශ කළේ යි.
මෙම දරුවා වැඩිහිටියෙකු සමඟ වෙළෙඳසැල වෙත ගියේ නම් මෙවැනි සිද්ධියකට මුහුණපෑමට ඉඩ නොතිබෙන්නට තිබූ බව ඔහු කියා සිටියේ ය.
එබැවින් හැම විටම දරුවන් ගමන් ගන්නා ස්ථාන, ඇසුරු කරන පුද්ගලයින් පිළිබඳ දැඩි අවධානයෙන් පසුවීමේ වැදගත්කම ඔහු අවධාරණය කර සිටියි.
දරුවන්ට නිදහසේ ජීවත්වීමට ඉඩදෙනු!
එක් සිදුවීමක උණුසුම හා ආන්දෝලනය මැකී යන්නටත් මත්තෙන් තව තවත් එවැනි සිදුවීම් වාර්තාවීම අප සමාජයේ නීතියේ ප්‍රතිපාදන තුළ හා යුක්තිය පසිඳලීම තුළ දරුවන්ට සිදුවන අපරාධ සම්බන්ධයෙන් ක්‍රියාකරනු ලබන මන්දගාමී බව නැවත නැවතත් ප්‍රත්‍යක්ෂ කරවන බව, අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපති සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පැවසුවා ය.
අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ විමර්ශන කටයුතු කඩිනම් කිරීමටත්, අපරාධකරුවන් අනාවරණය කර ගැනීමටත් යුහුසුලුව මැදිහත් වන ලෙස යි.
ආණ්ඩුවට හා මේ සම්බන්ධව වගකිවයුතු ආයතනය වන ළමා ආරක්ෂක අධිකාරියට බලකර සිටින බව ද එම සංවිධානය සඳහන් කළේ ය.
එපමණක් නොව,
- මේ දිනවල ඖෂධ නොමැතිකමින් රෝහල්වල මියයන දරුවන්
- ආර්ථික අර්බුදය හේතුවෙන් දෙමාපියන් පෝලිම්වල දවස ගෙවද්දී අනාරක්ෂිත වී ඇති දරුවන්
- වසංගතය හමුවේ අධ්‍යාපනය අඩාලවීමෙන් අධ්‍යාපනය හැරගිය අනාගතය අහිමි වූ දරුවන්
- වැරදි අධ්‍යාපන ක්‍රමවේදයන් නිසා පාසල් තුළ හිංසනයට හා දණ්ඩනයට ලක්වන දරුවන්
- ණයබර, ක්ෂුද්‍ර මූල්‍ය ණය, ගොවි ගැටළු, පවුල් ආරවුල් ආදී වැඩිහිටියන් මුහුණ දෙන ගැටළු නිසා පවුල් පිටින් සියදිවි නසා ගනිද්දී අකාලයේ ජීවිතයෙන් වන්දි ගෙවන දරුවන්
- අනාරක්ෂිතකමෙන් සිදුවන රිය අනතුරු, කින්නියා මඟී බෝට්ටු අනතුර ආදි තත්ත්වවලින් අගතියට පත්වන දරුවන්
- ළමා මෙහෙකාර සේවය, ළමා ලිංගික ශ්‍රමිකයින්, අන්තරායකර හා අනාරක්ෂිත රැකියා, ළමා විවාහ හා මිත්‍යා ආගමික විශ්වාස නිසා අගතියට පත්වන දරුවන්
ආදී නොයෙක් ආකාරයේ අකටයුතුකම්වලට ලක්වන දරුවන් වෙනුවෙන් වගවීම හා ඔවුන් එවන් තත්ත්වයන්ගෙන් මුදාගැනීම සදහා සාධනීය යාන්ත්‍රණයක් ගොඩනැංවීම රජයක වගකීම බව අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය අවධාරණය කළේ ය.
ඒ සියල්ල සඳහා වර්තමාන ආණ්ඩුව උචිත පියවර නොගන්නේ නම්, එකී පීඩනය ද වර්තමානයේ ආර්ථික අර්බුදය සේම සමාජ බලවේගයක් වී පුපුරා යනු ඇති බවට ආණ්ඩුවට අනතුරු අඟවන බව ද ඇය වැඩි දුරටත් ප්‍රකාශ කළා ය.
නීතිය ක්‍රියාත්මකවීම කාර්යයක්ෂම ද?
දරුවන් මුහුණදෙන අපරාධ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්ම කිරීම හෝ යුක්තිය පසිඳලීම කාර්යයක්ෂම ද යන්න සම්බන්ධයෙන් අදහස් දක්වමින් නීතිඥ ලිහිණි ප්‍රනාන්දු මෙසේ කියා සිටියා ය:
"ශ්‍රී ලංකාවේ දරුවන් සම්බන්ධ මේ වගේ නඩු අහන්න අවුරුදු 10ක් 12ක්වත් යනවා. අඩුම ගානේ මේ වැරදි සම්බන්ධයෙන් හරි වෙනම අධිකරණයක් දාලා නඩු විභාග කරන්න ඕනේ. නීතිපති වාර්තාවලට ගියාම අවුරුදු ගාණක් යනවා ඒ රිපෝට්ස් එන්න. කියමනක් තියෙනවානේ "Justice delayed is justice denied" [පමා වූ යුක්තිය යනු යුක්තිය ඉටුනොකිරීම යි] කියලා. ඒකට හොඳ උදාහරණයක් සේයාගේ මරණය ගැන බැලුවාම."
"පාකිස්තානයේදී මැරිච්ච කෙනා වෙනුවෙන් මේ වෙනකොට දඬුවම් දීලා හිරෙත් දාලා ඉවරයි. නීතිය ක්‍රියාත්මකවීම මීට වඩා කාර්යක්ෂම වෙන්නේ නැත්නම් මේ රට කවදාවත් හරි මාර්ගයකට යන්නේ නැහැ," ඇය සඳහන් කළා ය.
"මේවා සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කරනකොටත් ඒවට කිසිම නියාමනයක් නැහැ. ඒවට කිසිම ගයිඩ්ලයින් එකක් නැහැ."
"පොලීසිය ක්‍රියාත්මක වීම සහ යුක්තිය පසිඳලිය යුතු ආයතන කොච්චර යුහුසුළුව කටයුතු කරනවද කියන එක ප්‍රශ්නසහගත යි. මෙන්න මේ දේවල්වලට හරියට නීතිය ක්‍රියාත්මක වීම කාර්යක්ෂම නැත්නම් ඔය කොච්චර පාර්ලිමේන්තුවේ කතා කළත්, කොච්චර අපි නීති සම්මත කළත්, නීති ක්‍රියාත්මක කිරීම හරියට සිද්ධවෙන්නේ නැත්නම් කවදාවත් යුක්තිය පසිඳලීමක් සිද්ධ වෙන්නේ නැහැ ලංකාවේ. අපි අවුරුදු ගාණක් කතා කරලා තියෙනවා. කිසිම කෙනෙක් සාධනීය විසඳුම් ලබා දීමට අපොහොසත් වෙලා තියෙනවා," ඇය වැඩිදුරටත් පැවසුවා ය.