ඇඟළුම් ඇණවුම් 20%කින් පහළට; ඇඟළුම් කර්මාන්තයටත් කණකොකා හඬයි ද?

Women work in an apparel factory in Colombo on June 1, 2010

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

රටේ පවතින අර්ථික අර්බුදය හා අස්ථාවර දේශපාලන තත්ත්වය ක්ෂේත්‍ර ගණනාවකට දැඩි බලපෑමක් එල්ලකර තිබේ.

සංචාරක ක්ෂේත්‍රය හැරුණු විට මෙරටට විදේශ විනිමය ලැබෙන තවත් ප්‍රධානම ආදායම් මාර්ගයක් වන්නේ ඇඟළුම් අපනයනය යි.

එම කර්මාන්තශාලා ද වැසීයාමේ අවදානමක් මේ වන විට මතුව ඇතැ යි වෘත්තීය සමිති පෙන්වා දෙයි. ඒ, නියමිත දිනට ජාත්‍යන්තර ඇනවුම් ලබාදීමට නොහැකිවීම හමුවේ මෙරටට ලැබෙන ඇඟළුම් ඇණවුම් 20%කින් පමණ පහත වැටීම හේතුවෙනි.

මෙම තත්ත්වය තුළ ඇඟළුම් කර්මාන්තය බිඳවැටුණහොත්, එහි සෘජු රැකියාවල නිරත ශ්‍රමිකයින් 350,000කට සහ වක්‍ර රැකියාවල නිරත සැපයුම් ක්ෂේත්‍රයේ මිලියනයකට අධික පිරිසකට ආදායම් අහිමිවීමේ අවදානමක් ඇතැ යි වෘත්තිය සමිති පෙන්වා දෙයි.

"ඇඟළුම් කර්මාන්ත ශාලාවල ගැණුම්කරුවන් කියලා තියෙනවා ඒගොල්ලන්ට මේ තියන තත්ත්වය තුළ වෙලාවට ඇණවුම් ලබාගන්න බැරි නම් ඇණවුම් වෙන රටවලට ගෙනියන්න වෙනවා කියලා," නිදහස් වෙළෙඳ කළාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාර්කස් පවසා සිටියේ ය.

"දැනටමත් 20%ක් විතර ගෙනියලා කියලා කියන්නේ. හයමාසයකට සැරයක් නේ ඇනවුම් දෙන්නේ. දැන් මේ ජුනි මාසය වෙනකොට ලැබිලා තියෙන ඒවා 20%ක් පමණ දැනටමත් බංග්ලාදේශය හා වෙනත් රටවලට ගෙනිහිල්ලා තියෙනවා."

"මෙම තත්ත්වය දිගටම තිබුණොත් ජුනි මාසයේ ඉදලා ඊළඟ හයමාසයට ඇනවුම් ලබා දෙද්දි එගොල්ලන්ට මේක ගැන සලකා බලන්න වෙනවා කියලා, කියලා තියෙනවා කියලයි සේවා යෝජක සමාගම් කියන්නේ. මේක අනතුරුදායක තත්ත්වයක්."

මෙරට ආයෝජන කලාප 13ක් ඇති අතර ඒවායේ පිහිටා ඇති කර්මාන්ත ශාලා සංඛ්‍යාව 300කට අධික වෙයි.

ඇඟළුම් කර්මාන්ත ශාලාවලින් බොහෝමයක් ආයෝජන කලාපවලින් පිටතින් පිහිටා ඇත.

ආයෝජන කලාපවල පිහිටා ඇති කර්මාන්ත ශාලවලට ආයෝජන මණ්ඩලය මඟින් විදුලිබලය සැපයීමට පියවර ගෙන ඇති නමුත් ආයෝජන කලාපවලින් පිටත පිහිටා ඇති කාර්මාන්ත ශාලවලට විදුලි අර්බුදය දැඩිව බලපා තිබේ.

150,000කට රැකියා අහිමි වෙයි

ආයෝජන මණ්ඩලයේ කර්මාන්ත ශාලාවල ලක්ෂ තුනකට ආසන්න සේවකයෝ සංඛ්‍යාවක් සේවය කරති. සමස්ත ඇගළුම් කේෂත්‍රයේම සේවකයින් 350,000ක් පමණ සේවය කරන අතර තවත් මිලියනයක් පමණ වක්‍ර රැකියාවල නිරත වෙති.

ඇන්ටර්න් මාර්කස් කියා සිටියේ කොරෝනා වසංගතය සමයේ දී ඇඟළුම් සේවකයින් 150,000කට පමණ රැකියා අහිමි වූ බව යි.

"කොවිඩ් කියලා සේවකයින්ට නිවාඩු දුන්නේ නැහැ. ඊළඟට ලොක්ඩවුන් කෙරුවා කියලා සේවකයින්ට සම්පූර්ණ පඩි ලැබුණෙ නැහැ. ඇඳිරි නීතිය දාපු කාලෙත් වැඩ කෙරුවා. අමතර කිසිම දීමනාවක් ලැබුණේ නැහැ සේවකයින්ට."

"සේවක සංඛ්‍යාව 150,000කින් අඩුවුණා ඇඟළුම් කර්මාන්තයේ. අඩු සේවක සංඛ්‍යාවකින් කලින් තිබුණු ටාර්ගට්ස්ම ගත්තා. කර්මාන්තශාලාහිමියන්ට ලොකු වාසියක්. සේවකයෝ රැකියාව අහිමිවෙයි කියන බයට වැඩ කෙරුවා. සේවකයින් සේවයෙන් ඉවත් කළේ නැහැ, සේවකයින්ව සේවයෙන් අහිමි වෙන තත්ත්වයට පත්කෙරුවා."

"සේවයින්ට දෙන ට්‍රාන්ස්පෝට් නැවැත්තුවා. එතකොට වැඩට එන්න බැහැනේ. තමන්ගේ අතින් වැඩට ඇවිල්ලා ඒ පඩියෙන් ජීවත්වෙන්න බැහැ නේ. සමහර වැඩපොළවල් උදේ කෑම දෙන එක නැවැත්තුවා. සමහර වැඩපොළවල් පැමිණීමේ දීමනාව නැවැත්තුවා. අතිකාල නැවැත්තුවා. පඩියෙන් නෙමේනේ මේගොල්ලෝ ජීවත් වෙන්නේ. මේවයින්නේ ගැටගහගන්නේ. පැමිණීමේ දීමනාව, දිරි දීමනාව, අතිකාල මේවා ඔක්කොම නැවතුණාම වැඩට අවිල්ලා වැඩක් නැති තත්ත්වයක් ඇති කෙරුවා."

"මේක උවමනාවෙන් කෙරුවේ. ඒ අනුව සේවකයෝ වන්දියක්වත් නොදී එළියට දාගත්තා. කෝවිඩ් මුල් අවධියේ දී යම් බලපෑමක් තිබුණට ඒගොල්ලෝ ඒක අල්ලගත්තා අඩු සේවක සංඛ්‍යාවකින් වැඩි කාර්යක්ෂමතාවක් අරගෙන. නැත්නම් 2019 අවසානය වන විට සේවක හිඟයක් නේ තිබ්බේ," ඔහු කියා සිටියේ ය.

"ගම්වල ඉදලා ඇවිල්ලා නගරවල බෝඩින්වල නේ ඉන්නේ මේ සේවකයෝ. ගෙවල්වලට සල්ලි යවන්නෙත්, නංගිලාට, මල්ලිලාට උගන්වන්නෙත් මේ පඩියෙන්. පඩියක් නැතිනම් ඇවිල්ලා වැඩකරලා වැඩක් නැහැනේ. අනිත් එක ඒ දවස්වල ආණ්ඩුවෙන්ම කිව්වානේ 50%යි සේවයට කැඳවන්නේ කියලා. ඉතුරු 50%ට දුන්නේ රුපියල් 14,500ක්, නැත්නම් පඩියෙන් භාගයක්. දෙකෙන් වැඩි එක තමා දුන්නේ. ඉතින් ඒක අරගෙන ජීවත් වෙන්න බැහැනේ."

ඇඟලුම් කර්මාන්තශාලා සෞඛ්‍ය මාර්ගෝපදේශයන් පිළිපැදීම (2021 අගෝස්තු 25)

ඡායාරූප මූලාශ්‍රය, JAAF

ඡායාරූප ශීර්ෂ වැකිය, "කොවිඩ් කියලා සේවකයින්ට නිවාඩු දුන්නේ නැහැ"

ප්‍රශ්නය ලොක්ඩවුන් නොවේ

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව 2022 වසරේ ජනවාරි සිට මාර්තු අතර රෙදිපිළි හා ඇඟළුම් අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1477කි.

2021 වසරේ එම කාලසීමාව තුළ උපයා තිබුණේ ඩොලර් මිලියන 1333.5ක ආදායමකි.

මේ වසරේ මාර්තු මාසය තුළ ඇඟළුම් අපනයන ආදායම්වල සුළු අඩුවීමක් දක්නට ලැබුණ ද බොහෝ ප්‍රධාන වෙළෙඳපොළවල් සඳහා වූ ඇඟළුම් අපනයනය වර්ධනය වූ බව මහ බැංකුව අනාවරණය කළේ ය.

2022 මාර්තු මාසය තුළ රෙදිපිළි හා ඇඟළුම් අපනයන ආදායම ඩොලර් මිලියන 464.4කි. එය පසුගිය වසරේ මාර්තු මාසයේදී ඩොලර් මිලියන 467.2 විය.

අමෙරිකාව ඇතුළු බටහිර රටවල මිල අධිකම ඇඟළුම් සන්නාමයන් සඳහා ඇඟළුම් නිශ්පාදනය කෙරෙන්නේ ශ්‍රී ලංකාවේ ය. ගැප්, රැල්ෆ් ලෝරන්, නෙක්ස්ට් වැනි සන්නාම ඒ අතර වෙයි.

"ලංකාවේ අපි කරන්නේ ෆැෂන් ගාර්මන්ට්, රිච් මාර්කට් එකට. බංග්ලාදේශයේ කරන්නේ බල්ක් ගාර්මන්ට්, ටීෂර්ට් වගේ. ඒක යි අපිට තියෙන වාසිය. අපි අඩු ප්‍රමාණයක් අපනයනය කළත් ඒවයේ වටිනාකම වැඩියි. මිල අධික ඇඟළුම්," ඇන්ටන් මාර්කස් කියා සිටියේ ය.

"මේ අවුරුද්දේ මුල් කාර්තුවේ ආදායම 2019 මුල් කාර්තුවටත් වඩා වැඩියි. ලොක්ඩවුන් කාලේ සේවකයින් අඩු කෙරුවානේ. අඩුකරලාත් කලින් තිබ්බ නිශ්පාදනයම ලබාගන්න පුළුවන් වුණා. ලොක්ඩවුන් ප්‍රශ්නයක් නෙමේ මෙතෙන දැන් තියෙන්නේ. මෙතෙන දැන් තියෙන ප්‍රශ්නය තියෙන්නේ මේ රටේ තියෙන අස්ථාවර දේශපාලන තත්ත්වය, ඉන්ධන නොමැතිකම, විදුලි බලය නොමැතිකම සහ අනික් පැත්තෙන් සේවකයෝ වැඩටගෙන්වා ගැනීමට තියෙන නොහැකියාව, ප්‍රවාහන පහසුකම් නැතිකම නිසා. අනෙක් පැත්තෙන් මේ උද්ඝෝෂණ."

ඇන්ටන් මාර්කස් පෙන්වා දුන්නේ වෘත්තීය සමිතියක් ලෙස උද්ඝෝෂණ කිරීමේ අවශ්‍යාතාවක් තමාට ඇතිබව යි.

"නමුත් අනෙක් පැත්තෙන් අපි රටේ තියෙන ආර්ථික තත්ත්වය ගැන සැලකිල්ලට ගැනීමේ අවශ්‍යතායකුත් තියෙනවා නේ. ඒක නිසා තමයි අපි අප්‍රේල් මාසයේ කැඳවූ උද්ඝෝෂණයේ දී අපි තීරණයක් ගත්තා, අපිත් උද්ඝෝෂණයට සම්බන්ධ වෙනවා කියලා. හැබැයි වැඩ වර්ජනය කරලා නෙමෙයි. සාමාන්‍ය පැය ගාණ වැඩ කරනවා. අතිකාල ප්‍රතික්ෂේප කරලා එළියට ඇවිල්ලා අපි උද්ඝෝෂණය කෙරුවා. කැප්ටන් එක්ක ප්‍රශ්න තියෙනවා කියලා නැව ගිලෙන්න දෙන්න බැහැ," ඔහු අවධාරණය කළේ ය."අපිට පේන හැටියට දේශපාලන ස්ථාවරත්වයක් ඇති කරලා මිසක් ආර්ථික ප්‍රශ්නයට විසඳුම් හොයන්න බැහැනේ. ලංකාවේ දේශපාලන ස්ථාවරත්වයක් නැත්නම්, මූල්‍ය ආයතනයක් පවා මුදල් දෙන්නේ දේශපාලන ස්ථාවරත්වය දිහා බලලා. දේශපාලන ස්ථාවරත්වයක් ඇති කරන්න අපිට පේන හැටියට දේශපාලන පක්ෂවලට උවමනාවක් නැහැ. තාමත් මේ තරම් බරපතල අර්බුදයක් ඇතිවෙලා තියෙද්දි ඒගොල්ලන්ගේ පටු දේශපාලන උවමනාවන් වෙනුවෙන් තමා පෙනී සිටින්නේ. එකපැත්තකින් පාර්ලිමේන්තුවේ, අනෙක් පැත්තෙන් පාර්ලිමේන්තුවෙන් පිටත ඉන්න සමහර දේශපාලන කණ්ඩායම් මේ තත්ත්වය පාවිච්චි කරලා ආරාජික තත්ත්වයක් ඇති කරලා. ඒ අරාජික තත්ත්වයෙන් තමන්ට බලයට බලය ගන්න පුළුවන් ද කියලා කටයුතු කරනවා," ඇන්ටන් මාර්කස් කියා සිටියේ ය.

"බරපතල ආකල්පමය වෙනසකට යා යුතුව තිබෙනවා," යනුවෙන් ඔහු පවසයි.

ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයෙන් අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ දිගටම ප්‍රමාද කරන්නේ නම්, මීළඟ කාර්තුවේ සිට (ජූනි සිට අගෝස්තු දක්වා) ඇණවුම් 20% කින් පමණ අඩු කිරීමට ඇඟළුම් කර්මාන්තය සූදානම් වන බවට ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) අනතුරු අඟවයි.

සැපයුම් කඩාකප්පල් වීම සහ වත්මන් දේශපාලන හා ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඇඟළුම් ඇණවුම් වලින් 20% ක් අහිමි වන්නේදැයි කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය (JAAF) සඳහන් කළේ, පවතින ආර්ථික අර්බුදය නොතකා දෛනික මෙහෙයුම් අඛණ්ඩව සිදුවෙමින් පවතින බවට පසුගිය මාස කිහිපය තුළ ඇඟළුම් කර්මාන්තය ගැනුම්කරුවන්ට අඛණ්ඩව සහතික වූ බවයි.

"මේ වන විට කර්මාන්තශාලාවලට අමුද්‍රව්‍ය සඳහා බාධාවකින් තොරව ප්‍රවේශ වෙමින් ඇත. අප්‍රේල් මාසයේ සිට අපනයනකරුවන්ට ලංකා ඛණිජ තෙල් සංස්ථාවෙන් (CEYPETCO) සහ ලංකා IOC වෙතින් සෘජුවම අමෙරිකානු ඩොලර් වලින් ඉන්ධන මිලදී ගැනීමට අවසර දී ඇත. මෙමගින් ඇඟලුම් කම්හල්වලට විදුලිය විසන්ධි වීමෙන් සිදුවන අනවශ්‍ය බාධා වළක්වා ගැනීමට හැකි වී තිබේ," යනුවෙන් එම සංගම් සංසදය පවසයි.

"ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයෙන්, ඇඳිරි නීතිය පවතින කාලසීමාවේ සුළු ප්‍රමාදයන් ඇති වූ අතර, ඇඟළුම් නිෂ්පාදකයින් වෙත ඩීසල් තොග වශයෙන් බෙදා හැරීම නැවත ආරම්භ කර ඇත. ඇඟළුම් අපනයන සමාගම් නිශ්චිත ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබා ගැනීම සඳහා ප්‍රමුඛතා සේවා ලැයිස්තුවකට අනුව සිදුවෙයි."

"භාණ්ඩ පැටවීම හෝ බෑම ප්‍රමාදයකින් තොරව වරාය මෙහෙයුම් ද සුමටව ක්‍රියාත්මක වේ.එවැනි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමත් සමඟ කර්මාන්තයට වර්තමාන ඉන්ධන හිඟය මධ්‍යයේ සිය දෛනික කටයුතු කරගෙන යා හැකිය."

කෙසේ වෙතත්, ප්‍රතිපත්ති සම්පාදකයින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ දිගටම ප්‍රමාද කරන්නේ නම්, මීළඟ කාලසීමාවේදී (ජූනි සිට අගෝස්තු දක්වා) ඇණවුම් 20% කින් පමණ අඩු කිරීමට කර්මාන්තය සූදානම් වන බවට ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය අනතුරු අඟවා සිටියේය.

වසංගතය කාලසීමව තුළ සේවකයින් 150,000ක් සේවයෙන් පහකිරීම් සහ ප්‍රතිලාභ කප්පාදු කළ බවට (ප්‍රවාහනය, අතිකාල සහ වැටුප් කප්පාදුව) නැගෙන චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය සඳහන් කළේ, පසුගිය වසරේ ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය (JAAF) ශ්‍රමිකයින් 150,000ක් සේවයෙන් පහ කළ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බවය.

මෙම ප්‍රකාශයට සහය දැක්වීම සඳහා, ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය විසින් කම්කරු අමාත්‍යාංශය විසින් 2020 මැයි මාසයේදී "Covid-19 සහ ඉන් ඔබ්බට - ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළඳපොළට ඇති බලපෑම" යන මැයෙන් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක් උපුටා දක්වන ලද අතර එමඟින් මිලියන 3.5 ක් වන රැකියා ප්‍රමාණයෙන් පුද්ගලික අංශයේ සමස්ත රැකියා අහිමිවීම 300,000 ක් ලෙස ගණන් බලා ඇති බවට පවසයි.

2020 මැයි මාසයේදී කර්මාන්තය සහ කම්කරු අමාත්‍යාංශය අතර සුවිශේෂී ත්‍රෛපාර්ශ්වික ගිවිසුමකට එළඹී ඇති අතර, වසංගතය අතරතුර හාම්පුතුන් විසින් කම්කරුවන්ගේ සේවා නියුක්තිය අවසන් නොකිරීමට සහ සේවකයින්ගේ මූලික වැටුපෙන් සියයට 50ක් හෝ රුපියල් 14,500ක් ගෙවීමට සහතික වූ බවත් ඔවුන් පවසයි.

ශ්‍රමිකයින් නිවාඩු නම්, දැඩි ජාතික හා ගෝලීය අර්බුදකාරී කාලයක් මධ්‍යයේ විශාල වශයෙන් රැකියා අහිමි වීම වැළැක්වීම මෙම ගිවිසුම මගින් සහතික කර ඇති බවට ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය පවසයි.

තවද, 2021 දෙසැම්බරයේදී, ඇඟළුම් අංශය සහ ප්‍රධාන කර්මාන්ත වෘත්තීය සමිති, වසංගත වැළැක්වීම පිළිබඳ අඛණ්ඩ සුපරීක්ෂාකාරිත්වය පවත්වා ගැනීමට, අන්‍යෝන්‍ය අවශ්‍යතා පිළිබඳ ගැටළු සාකච්ඡා කිරීමට සහ දුක්ගැනවිලි විසඳීමට ඒකාබද්ධව සහභාගී වීමට ව්‍යාපාරික අයිතිකරුවන් සහ සේවකයින් එක්ව කටයුතු කිරීම සහතික කිරීම සඳහා ඓතිහාසික ගිවිසුමක් අත්සන් කරන ලදී.

"අවබෝධතා ගිවිසුමට අනුව, JAAF සහ වෘත්තීය සමිති පාර්ශව ආරවුල් විසඳීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කර, විනිවිදභාවයෙන් යුතුව සේවක දුක්ගැනවිලි සහයෝගීව විසඳීම සඳහා පියවර ගෙන ඇත."

ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද කර්මාන්තය අඛණ්ඩව ශ්‍රමිකයින් සේවයේ යොදවා, කරන ලද වැඩ සඳහා සම්පූර්ණ වැටුප් ගෙවීම සහ වෙනත් ප්‍රතිලාභ ලබා දෙන බව ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය (JAAF) නැවත අවධාරණය කළේය.

තවද "අතිකාල ගෙවීම නීත්‍යානුකූල අවශ්‍යතාවයක් වන අතර එසේ නොකිරීම රටේ කම්කරු නීති උල්ලංඝනය කිරීමකි. කිසියම් දුෂ්කරතාවයකට මුහුණ දෙන සේවකයින්ට කම්කරු අමාත්‍යාංශයට පැමිණිලි කළ හැකිය, නැතහොත් ද්විපාර්ශ්වික ආරවුල් විසඳීමේ කමිටුව යටතේ වෘත්තීය සමිතියට එසේ කළ හැකි" බවද ඒකාබද්ධ ඇඟළුම් සංසදය අවධාරණය කළේය.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ යෝජනාව

මේ අතර ශ්‍රී ලංකා එක්සත් ජාතික ව්‍යාපාරික සන්ධානය අනතුරු ඇඟවන්නේ මිලියන 4.5කට ආසන්න කම්කරුවන් පිරිසක් සේවයේ නියුතු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (SME) 4,500කට තම සේවකයන්ගේ වැටුප් ගෙවීමට නොහැකි තත්වයකට මුහුණ දී සිටින බවයි.

ඔවුන් පවසන්නේ රජය මෙම තත්ත්වයට ඉක්මනින් විසදුම් ලබනොදුනහොත් ඉදිරි මාසවලදී විරෝධතාවයේ නිරත වන බවට ශ්‍රී ලංකා එක්සත් ජාතික ව්‍යාපාරික සන්ධානය (SLUNBA) අද අනතුරු ඇඟවීය.ශ්‍රී ලංකා එක්සත් ජාතික ව්‍යාපාරික සන්ධානය සභාපතිනිය ටානියා අබේසුන්දර මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ රාජ්‍ය අංශයේ වැටුප් ගෙවීමට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නඩත්තුව සඳහා රුපියල් ට්‍රිලියනයක් මුද්‍රණය කිරීමට රජය කල්පනා කරමින් සිටින නමුත් රටේ කොඳු නාරටිය ලෙස ක්‍රියා කරන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ආරක්ෂා කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් බලධාරීන් නොගත් බවයි."දැන් අපි ඉන්නේ පුදුම අසහනකාරී තත්ත්වයක. රජයකින් අපු ඉල්ලන්නේ රජයක් ස්ථාවර වාතාවරණයක් අපිට හදලා දෙන්න බිස්නස් කරන්න් කියන එක. ඒ දේවත් කරගන්න බැරි රජයකට මොකක්ද අපි මින් ඉදිරියට කියන්නේ?" ටානියා අබේසුන්දර මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

"අගමැතිතුමා පත්වෙලා ඇවිල්ල මුලින්ම මොනවාද කිව්වේ රජයේ සේවකයන්ට පඩි ගෙවන්න සල්ලි නෑ මුදල් අච්චුගහන්න වෙනවා කියලා. එතකොට අපි ලග ඉන්නේ සේවකයෝ නෙමෙයිද එතකොට අපි කොහොමද ඒ මිනිස්සුන්ට පඩි ගෙවන්නේ? අපි කොහොමද මේ මිනිස්සුන්ට පඩි ගෙවන්න සල්ලි හොයාගන්නේ? එහෙතම් ඉතින් අගමැතිතුමාට කියන්න ඕන අපිටත් සල්ලි අච්චුගහන මැෂින් ටිකක් දෙන්න අපි ආයතන වල තියාගෙන සල්ලි අච්චුගහල පඩි ගෙවාගන්නම්."

"අපිට බැංකු ණය තියෙනවා අපේ ලග වැඩකරන මිනිස්සු අද වර්ජනය කරනවා ඒ මිනිස්සුන්ට ජීවත්වෙන්න බෑ අපි දෙන පඩියෙන් කියලා පඩි වැඩි කරන්න කියනවා. පඩි වැඩි කරන්නේ කොහොමද අපි මුහුණපාල තියෙන තත්ත්වයක් එක්ක."

අය පැවසුවේ රාජ්‍ය අංශයේ සේවකයන් ලක්ෂ 15ක් පමණක් සිටින බවත් රජයේ අංශයට ගෙවීමට රජයට මුදල් මුද්‍රණය කළ හැකි නමුත් පෞද්ගලික ව්‍යවසායකයින්ට වැටුප් ගෙවීමට විකල්පයක් වෙනත් විකල්පයක් නොමැති බවයි.

"මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් විසින් ගෙවිය යුතු ණය වාරික ගෙවීම් සඳහා ඔහුට කිසිදු දිගුවක් ලබා දිය නොහැකි බවයි," ඇය පැවසුවාය.

එම නිසා සියලුම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වසා දමා ජනතාව මහමගට ගෙන ඒමේ තත්ත්වයට ඔවුන් පැමිණ තිබෙන බවට ඇය පැවසුවාය.එබැවින් ඉදිරි මාස දෙක තුන ඇතුළත රජය යම් විසඳුමක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත් සියලුම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට බැංකු ණය වාරික ගෙවීමෙන් වැළකී සිටීමට සිදුවන බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.දේශීය කර්මාන්ත වැසී යාමේ අවදානමක් පවතින බව මහ බැංකු අධිපතිවරයා පිළිගෙන ඇති බවත් ඊයේ වන විට දේශීය ඇඟලුම් කම්හල්වලින් 30% ක් විදේශ රටවලට ගෙනයාමට තීරණය කර ඇති බවත් ඔහු පැවසීය.මේ අතර, ඔහු තවදුරත් පැවසුවේ රට කඩාවැටීමේ අද්දරට පැමිණ ඇති බැවින් එයට ක්‍රමවේදක් යෙදිය යුතු බවයි. අප ක්‍රියාශීලීව ක්‍රියා නොකළහොත් රට කඩාවැටීමක් සිදුවනු ඇති අතර සමාජ අසහනය, විරැකියාව සහ රට තුළ ආහාර සොයා ගැනීමට කෝලාහල ඇති වන තත්ත්වයක් ඇතිවන බව මෙරිංචිගේ අනතුරු ඇඟවීය.