ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවීමට යෝජනාවක්

නව අගමැතිවරයෙක් සහ නව කැබිනට් මණ්ඩලයක් සමග පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය වන පරිදි අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට ජනපති එකඟ වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන අද ප්‍රකාශ කළේ ය.

ජනාධිපතිවරයා සමග අද පෙරවරුවේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඔහු මේ බව කියා සිටියේ ය.

ඔහු කියා සිටියේ මේ අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් නොමැති බව යි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර ද අද ප්‍රකාශ කළේ ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා සාර්ථක ප්‍රතිචාරයක් පළකළ බවකි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ, ආණ්ඩුවෙන් ස්වාධීන වු මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයා අතර අද පෙරවරුවේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඔහු කියා සිටියේ ජාතික එකඟතා ආණ්ඩුවට එක්වන පක්ෂ නායකයින්ගෙන් සමන්විත ජාතික සභාවක් පිහිටුවීමට යෝජනා කර ඇති බව යි.

නව අගමැතිවරයා සහ ඇමති මණ්ඩලය නම් කිරීම එම ජාතික සභාව මඟින් සිදුකිරීමට යෝජනා වී ඇති බවට ඔහු පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරු පත් කරන්නේ කෙසේ ද, අමාත්‍යංශ ලේකම්වරු පත් කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව ද ජාතික සභාව විසින් තීරණය වනු ඇති බවත් පැවසිය.

මේ අතර ජනතිපති කාර්යාලය නිවේදයක් නිකුත්කරමින් පැවසුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලින් සැදුම්ලත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇරයුම් කරන බවයි.

2020 මහ මැතිවරණයෙන් පසු ආණ්ඩු පක්ෂ නියෝජනය කර, මේ වන විට ස්වාධීනව සිටින පක්ෂ නායකයින් හා නියෝජිතයන් සමග අද (29) පෙරවරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළ බවට එම නිවේදනයේ පැවසීය.

"රජයේ ක්‍රියාදාමය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ජාතික එකඟතා ආණ්ඩුවක් සැකසීමේ අවශ්‍යතාව හා එහි මූලික පියවර ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් ජාතික සභාවක් පත්කරගැනීම කෙරෙහි අවධානය යොමු කෙරිණ."

"පක්ෂවල නියෝජිතයන් ඉදිරිපත් කළ පොදු යෝජනාවලියේ වූ කරුණු සඳහා සියලු දේශපාලන පක්ෂ සහාය දක්වන්නේ නම් තමා ඊට එකඟතාව පළ කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය," යනුවෙන් එහි සඳහන් විය.

සර්වපාක්ෂික ආණ්ඩු ගැන සාකච්ඡා කල් මැරීමේ උත්සාහයක්?

අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩල ඉල්ලා අස්වීමෙන් පසු පිහිටුවීමට යෝජිත සර්වපාක්ෂික ආණ්ඩුව ගැන තීරණය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (අප්‍රේල් 29) පෙරවරු 10.30ට ජනාධිපති මන්දිරයේ දී සාකච්ඡාවක් කැඳවනු ලැබීය.

එහෙත් මේ සාකච්ඡා තුළින් අර්බුදයට විසඳුම් ලැබෙයි ද, නැතහොත් මෙය කල්මැරීමේ උපාය මාර්ගයක් ද යන්න ගැටලු මතුකර තිබේ.

අද (29) දිනයේ ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පක්ෂ 10යේ කණ්ඩායම, සහ ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් සහභාගී වූහ.

සාකච්ඡා සඳහා සහභාගිවීමට පූර්ව කොන්දේසි වශයෙන් එම කණ්ඩායම දක්වා තිබුණේ ජනාධිපතිවරයා සමග තනිව සාකච්ඡා කිරීමට අවශ්‍ය බව යි.

රට මුහුණ දී තිබෙන අර්බුදයට පිළියමක් ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නියෝජනයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා විධායක ජනාධිපතිවරයා ලෙස තමන් ප්‍රතිපත්තිමය වශයෙන් එකඟවන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය. අදාළ පක්ෂවලට ජනාධිපතිවරයා විසින් සාකච්ඡා සඳහා ආරාධනා කරනු ලැබුවේ එම පසුබිම තුළ ය.

වර්තමාන අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් අනතුරුව පිහිටුවීමට යෝජිත මෙම සර්ව පාක්ෂික ආණ්ඩුවේ ව්‍යුහය, එය ක්‍රියාත්මක විය යුතු කාලසීමාව, වගකීම් ලබාදෙන පුද්ගලයින් කවුරුන් ද යන්න ඇතුළු ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් අද දින සාකච්ඡා වී ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ දිගින් දිගටම අවධාරණය කර තිබුණේ තමන් ධුරයෙන් ඉල්ලා අස් නොවන බව යි. තමාට ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා ඉල්ලා නොමැති බවත්, එසේ ඉල්ලීමක් කරනු ඇතැ යි තමා අපේක්ෂා නොකරන බවත් අග්‍රාමාත්‍යවරයා මීට පෙර පවසා තිබුණි.

මේ අතර ට්විටර් පණිවිඩයක් නිතුක් කරමින් මන්ත්‍රී නාමල් රාපක්ෂ කියා සිටියේ අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට නම් සියලුම ප්‍රධාන පක්ෂ එකට එකතු වී නියෝජනය කළ යුතු බව යි.

පොදුජන පෙරමුණේම කොටස් දෙකක් නැවතත් ආණ්ඩුවක් සැදීමට එකතු වුවහොත් සිදුවනුයේ දැනට පවතින සභාගයම දීර්ඝ කිරීමක් පමණක් බව ද ඔහු සඳහන් කර සිටියේ ය.

"එක්කෙනක්වත් ගෙදර යන පාටක් නැහැ"

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ නීතිඥ භවානි ෆොන්සේකා කියා සිටියේ පවත්නා අර්බුදයට මෙතෙක් විසඳුමක් නොමැති බව යි.

"ඇත්තටම විසඳුමක් නැහැනේ. ආර්ථිකය පැත්තෙන් මුකුත් වෙලා නැහැ. IMF යනවා කිව්වාට මාස ගාණක් යයි විසඳුම් එන්න. IMF විතරක් නෙමේ, අනෙකුත් ඉන්ටර්නැෂනල් ඩෝනර්ස්ලත් බලන්නේ මොකද්ද ආණ්ඩුව, ස්ථාවර ආණ්ඩුවක් තියෙනවා ද කියලා. යන විදිහට එහෙම විසඳුමක් නැති පාටයි."

ඇය කියා සිටියේ අර්බුදය විසඳීම සඳහා අව්‍යාජ උත්සාහයක් නොපෙනෙන බව යි.

"මම නම් හිතන් නැහැ ජෙනුවින් කියලා. එක්කෙනක් කියනවා අස්වුණාම පුළුවන් කියලා. අනෙක් එක්කෙනා කියනවා අස්වෙන්න කියලා නැහැ කියලා. විරෝධතාකරුවන් කියන්නේ ගෝ හෝම් ගෝඨා, ගෝ හෝම් රාජපක්ෂ කියලා. මට තේරෙන හැටියට ඒ ඉල්ලීම මේ ගොල්ලන්ට තේරෙන්නේ නැහැ," ඇය පැවසුවා ය.

"අන්තර්වාර ආණ්ඩුවක් හැදුවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නේ. එතකොට කොහොමද ප්‍රශ්න විසඳන්නේ? ඇත්තටම දෙන්නම අස්වෙලා, පාර්ලිමේන්තුවට පුළුවන් අන්තර්වාර අගමැති කෙනෙක් පත්කරන්න. වැඩබලන අග්‍රාමාත්‍යවරයෙක් පත් කරන්න. පාර්ලිමේන්තුව මාර්ගයෙන් පුළුවන් ව්‍යස්ථාවෙන් විසදුමක් හොයා ගන්න. ඒකට ජනාධිපතියි, අගමැතියි දෙන්නම ගෙදර යන්න ඕනේ. එන සුමානේ විශ්වාසභංගය ගෙනෙයි සමගි ජන බලවේගය."

"විධායක ජනාධිපති මාර්ගයෙන් මෙතන දැන් විසඳුමක් නැහැ. විධායක ජනාධිපතිවරයා හිතන්නේ එයා හිටියා නම් ප්‍රශ්නය විසඳනවා කියලා. අවුරුදු දෙකහාමාරක් ප්‍රශ්න විසඳුණේ නැහැ. ප්‍රශ්න ඇතිකරෙත් එයයි ආණ්ඩුව යි. දැන් බලන්න ඕනේ අලුතින්ම මෙතන වෙනසක් ගේන්නේ කොහොමද කියලා. පාර්ලිමේන්තුව මාර්ගයෙන් කරන්නේ කොහොම ද? මන්ත්‍රීලාට තියෙන්නේ පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයක් ගෙනල්ලා, ඒ මාර්ගයෙන් ව්‍යවස්ථානූකූලව මේ දෙන්නවා අයින් කරන්න පුළුවන් ද කියලා බලන්න," ඇය පැවසුවා ය.

ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නේ ආර්ථික වශයෙන් ලංකාව සිටින්නේ භයානක තත්ත්වයක බව යි.

"ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍යයි. මේ දෙන්නගේ ප්‍රශ්නයත් එක්ක කොහොම ද ආර්ථික අර්බුදය විසඳන්නෙ? දැන් තියෙන තත්ත්වය අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට තමා තියෙන්නේ විශ්වාසභංගයක් ගෙනල්ලා අලුතෙන් ආණ්ඩුවක් ගේන්න. දැන් හිටපු කාලේ ඇති. අයියයි මල්ලි ගෙනල්ලා ආණ්ඩු හදලා කිව්වේ ලොකුවට කරනවා කියලා නේ. දැන් මේ දෙන්නගේ ප්‍රශ්න නිසා රට වෙන තැනකට ගෙනියන්නේ මේ විදිහට ගියොත්. එක්කෙනක්වත් ගෙදර යන පාටක් නැහැ මේ තියෙන තත්ත්වය අනුව," ඇය පැවසුවා ය.

නීතිඥ ෆොන්සේකා කියා සිටියේ මේ අවස්ථාවේ විපක්ෂයේ කාර්යභාරය ද ප්‍රමාණවත් නොවන බවකි.

"මේ වෙලාවේ වික්ෂයේ කාර්යභාරය මඳි. මොනවද පාර්ලිමේන්තුවේ කරලා තියෙන්නේ? මාසයකට වැඩියි ගාලු මුවදොර විරෝධතාවට. විපක්ෂය කියන්න ඕනේ දැන් හිටියා ඇති අපි මේක ඉස්සරහාට ගෙනියනවා කියලා. විපක්ෂය එහෙම වගකීම භාරගන්නෙත් නැහැ. විපක්ෂයෙනුත් අහන්න ඕනේ ඇයි මෙච්චරකල් බලන් හිටියේ කියලා."

වත්මන් කැබිනට් මණ්ඩලය විසුරුවා හරීවි ද?

මේ අතර ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා කියා සිටියේ අද පැවැත්වෙන සාකච්ඡාවේ දී බහුතරය නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට එකඟතාවකට පැමිණියහොත් වත්මන් කැබිනට් මණ්ඩලය විසුරුවාහැර නව කැබිනට් මණ්ඩලයක් පත්කෙරෙනු ඇති බව යි.

විපක්ෂය ඒ සඳහා සහාභාගී නොවන්නේ නම් හිටපු කණ්ඩායමම නැවත පත්වනු ඇති බව ද ඔහු පැවසීය.

"එසේ වුවහොත් ගැටලුව පැණනගින්නේ මොකද්ද කැබිනට් එක, කොහොමද ව්‍යුහය, කවුද නායකත්වය ගන්නේ?" අමාත්‍යවරයා මෙරට සිටින විදේශජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සාමාජිකයින් සමග පැවති හමුවකදී ප්‍රශ්න කළේ ය.

මේ තුළින් ප්‍රශ්නය විසඳිය හැකි ද යන්න පිළිබඳව මාධ්‍යවේදීහු ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් විමසා සිටියෝ ය.

ඊට ප්‍රතිචාර දක්වමින් ආචාර්ය නාලක ගොඩහේවා පැවසුවේ එතුළින් අවම වශයෙන් පාර්ලිමේන්තුව තුළ හෝ ස්ථාවරත්වයක් ඇතිවනු ඇත්තේ ය යන්න යි.

"මේ අර්බුදය විසඳන්න අපිට සමහර තීරණ, අණපනත් සම්මත කරගන්න වෙයි. අපිට ඒවා පාර්ලිමේන්තුවේ දී සම්මත කරගන්න බැරි නම් මුකුත් කරන්න බැරිවෙයි. ආර්ථිකය හරිමඟට ගන්න නම් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවන්න ඕනේ ශක්තිමත් රජයක් සමග. මේ ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා අපිට ශක්තිමත් ආණ්ඩුවක් අවශ්‍ය යි," ඔහු කියා සිටියේ ය.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමත් උණුසුම් වෙයි

ජනපති, අගමැති ප්‍රමුඛ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අතර ඊයේ (අප්‍රේල් 28) රාත්‍රියේ පැවති හමුව ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන ඇති අතර කණ්ඩායම් රැස්වීම අවසන් වී ඇත්තේ උණුසුම් වාදවිවාද මැද යි.

අන්තර්වාර පාලනයක් අවශ්‍ය නැතැ යි පවසමින් මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි ප්‍රකාශ කර ඇත්තේ ජනවරම ලබා දී ඇත්තේ පොහොට්ටුවට ආණ්ඩු කිරීමට මිස අන්තර්වාර ආණ්ඩු පිහිටුවීමට නොවන බව යි.

ජනපතිත්, අගමැතිත් යටතේ ස්ථාවර ආණ්ඩුවක් තුළ ජනතාවගේ ගැටලු විසඳීම සඳහා නව කැබිනට් මණ්ඩලය විසින් කලෝචිත පියවර ගැනීම හැර දේශපාන බල හුවමාරුවකට කාලයක් නොවන බව මෙහිදී එකඟතාවකට පැමිණයේයැ යි තිස්සකුට්ටිආරච්චි ප්‍රකාශ කළේ ය.

ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයාට අගමැති සිහිනයක් තිබේ නම්, 113 තිබෙනවා නම් අගමැති විය හැකි බවත්, අග්‍රාමාත්‍යවරයාට ඉල්ලා අස්වන ලෙස ප්‍රකාශ නොකරන ලෙසත් තමා එහිදී පැවසූ බව ද ඔහු කියා සිටියේ ය.

ඩලස් අලහප්පෙරුම එය ප්‍රතික්ෂේප කරමින්, අග්‍රාමාත්‍යවරයාට එරෙහිව කටයුතු නොකර බව මෙහිදී පවසා තිබේ.