ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කතානායකවරයාට භාරදුන් 21 වැනි සංශෝධන යෝජනා මොනවාද?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනය සඳහා වන යෝජනා ඇතුළත් කෙටුම්පතක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පක්ෂ දහයේ කණ්ඩායම, සහ පොදුජන පෙරමුණේ ස්වාධීන වූ කණ්ඩායම එක්ව කතානායකවරයා වෙත අද භාරදුන්හ.
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේ, 20 වන සංශෝධනයේ අංග ඉවත්කොට 19 වන සංශෝධනයේ තිබූ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ නැවත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත්කොට බල තුලනය කිරීම එහි අරමුණ බව යි.
"අද දින අපි 40 දෙනා ස්වාධීන කණ්ඩායම වෙනුවෙන් ඔබ තුමාට භාරදුන්නා 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. මූලික වශයෙන් අපි බලාපොරොත්තු වන්නේ 20 සංශෝධනයෙන් ගෙනාපු ගුණාංග එතනින් ඉවත් කරලා, 19 වැනි සංශෝධනයේ තිබුණු ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ නැවත වතාවක් ආණ්ඩුක්‍රව ව්‍යවස්ථාවට ඇතුළත් කරලා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයෙන් විධායක - ව්‍යවස්ථාදායක බල තුලනයක් මඟින් රටේ පරිපාලනය ගෙනයාම සඳහා යි," ඔහු ප්‍රකාශ කළේ ය.
ඒ සඳහා කතානායකවරයාගේ සහයෝගය අපෙක්ෂා කරන බව ද මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මෙහිදී පවසා සිටියේ ය.
- විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් "ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ශක්තිමත් කළා"
- ව්‍යවස්ථාව: අවුරුදු හතළිහක් තුළ සංශෝධන විස්සක්, ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දේශපාලන සූදුවේ තුරුම්පුවක්ද?
- ව්‍යවස්ථාව: ශ්‍රී ලංකා විධායක ජනපති ක්‍රමය ගැන මහින්ද, මෛත්‍රී, ජීඑල් සහ විමල් එදා සහ අද
- තුවක්කු සහ යුද ටැංකි නොමැතිව ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය මරණයට පත්වේ ද?
"විශේෂයෙන්ම ඔබතුමාගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳව ආණ්ඩු පක්ෂයටත්, ජනාධිපතිතුමා, අගමැතිතුමා දැනුවත් කරලා මෙම සංශෝධනය ඉතා ඉක්මනට සම්මත කරගැනීමට සහයෝගය ලබා ගන්න ඔබතුමාගෙන්. මොකද මේ රටේ ජනතාව අද ඉල්ලන සංශෝධනයක් මේක, බලාපොරොත්තු වන දෙයක්. ඒක නිසා ඔබතුමාගේ වගේම ගරු සභාවේ සියලුම මැති ඇමතිවරුන්ගේ සහයෝගය ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා," ඔහු ප්‍රකාශ කළේ ය.
කෙටුම්පතට ඇතුළත් නව යෝජනා මොනව ද?
කතානායකවරයාගේ සභාපතීත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් පිහිටුවීම පිළිබඳ යෝජනා අදාළ කෙටුම්පතට ඇතුළත් කර තිබේ.
ඊට අමතරව,
- මැතිවරණ කොමිෂන් සභාව
- රාජ්‍ය සේවා කොමිෂන් සභාව
- ජාතික පොලිස් කොමිෂන් සභාව
- විගණන සේවා කොමිෂන් සභාව
- ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
- අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව
- මුදල් කොමිෂන් සභාව
- සීමා නිර්ණය කොමිෂන් සභාව
- ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව
ආදී ස්වාධීන කොමිෂන් සභා පත්කිරීම පිළිබඳ කරුණු එහි ඇතුළත් අතර, මැතිවරණ කොමිෂන් සභාව හැර අන් සියලු කොමිෂන් සභා පාර්ලිමේන්තුවට වගකිව යුතු බවත්, පාර්ලිමේන්තුවට පිළිතුරුදීමට බැඳී සිටිය යුතු බවත් කෙටුම්පතේ දක්වා ඇත.
ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කරන ලද නිර්දේශයක් මත, සභාව විසින් අනුමත කර ඇත්නම් මිස, කොමිෂන් සභාවල කිසිම ධුරයකට ජනාධිපතිවරයා විසින් කිසිදු තැනැත්තකු පත් කරනු නොලැබිය යුතු බව ද කෙටුම්පතේ සඳහන් ය.
සමගි ජන බලවේගයෙනුත් විධායක ජනපතිධුරය අහෝසි කිරීමේ යෝජනාවක්
විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම ඇතුළු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය සඳහා වන නව යෝජනා ඇතුළත් කෙටුම්පත සමගි ජන බලවේගය විසින් කතානායකවරයා වෙත ඊයේ (අප්‍රේල් 21) භාරදෙනු ලැබීය.
විපක්ෂ නායක කාර්යයාලයේ දී අදාළ කෙටුම්පත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර වෙත භාර දී ඇති අතර ඉන් අනතුරුව කතානායකවරයා වෙත එම කෙටුම්පත යොමුකර තිබේ.
විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම, සංවරණ හා තුලන ක්‍රමවේදයට අදාළව ත්‍රිපාර්ශව බලය බෙදා හැරීමට අදාළ සංශෝධනය, 20 වන සංශෝධනය ඉවත් කිරීම, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කිරීම, ජාතික ආරක්ෂක කවුන්සිලයක් ඇති කිරීම වැනි යෝජනා කිහිපයකින් කෙටුම්පත සමන්විත වෙයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය සඳහා ඉදිරිපත් වී ඇති යෝජනා නීතිපතිවරයාගේ අවධානය සඳහා යොමුකරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (අප්‍රේල් 22) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය. නීතිපතිවරයාගේ උපදෙස් මත කටයුතු කරන බව ඔහු පැවසීය.