ආර්ථික අර්බුදය මැද ශ්‍රී ලංකා මහ බැංකුවට නව අධිපතිවරයෙක්

Incoming Sri Lanka central bank governor P Nandalal Weerasinghe.

ඡායාරූප මූලාශ්‍රය, Central Bank of Sri Lanka

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස පත්වන පී නන්දලාල් වීරසිංහ

වසර 70කට වැඩි කාලයක් තුළ මතු වූ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින සමයක, ශ්‍රී ලංකා මහ බැංකුවට නව ප්‍රධානියෙකු නම් කිරීමට නියමිතව ඇත.

පී. නන්දලාල් වීරසිංහ BBCයට පැවසුවේ එළඹෙන බ්‍රහස්පතින්දා තමා මහ බැංකු අධිපතිධුරයේ වැඩ භාරගන්නා බව යි.

ඉහළ යන ජීවන වියදම් සහ විදුලි කප්පාදුව පිළිබඳ මහජන විරෝධතා හමුවේ මහ බැංකු ප්‍රධානී අජිත් නිවාඩ් කබ්රාල් ඉකුත් සඳුදා ඉල්ලා අස්වීමත් සමග මෙම තීරණය ගෙන තිබේ.

රුපියල ස්ථාවර කිරීම සඳහා, මහ බැංකු පොලී අනුපාත පිළිබඳ තීරණය ගැනීම ද මේ වන විට මහ බැංකුව කල්දැමා ඇත.

නන්දලාල් වීරසිංහගේ පත්වීම පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව මෙතෙක් නිල නිවේදනයක් නිකුත්කර නොමැත. මහ බැංකුවේ ප්‍රකාශකයෙකු BBCයට පැවසුවේ ජනාධිපතිවරයා තවමත් එම තීරණය අනුමත කර නැති බව යි.

ඕස්ට්‍රේලියාවේ සිට දුරකථනයෙන් ඇමතූ නන්දලාල් වීරසිංහ බීබීසීයට පැවසුවේ තමාට එම ධුරය පිරිනැමූ බවත්, තමා ඊට එකඟ වූ බවත් ය.

"මම (අප්‍රේල්) හත්වැනිදා ලංකාවට ගිහින් මහ බැංකු අධිපතිධුරය භාරගන්නවා," ඔහු ප්‍රකාශ කළේ ය.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ අර්බුදකාරී ආර්ථිකය සම්බන්ධයෙන් හෝ පොලී අනුපාත පිළිබඳ තීරණයක් ගනු ලබන්නේ කවදා ද යන්න සහ ඒ සඳහා ඔහුගේ සැලසුම් මොනවා ද යන්න පිළිබඳව අදහස් දැක්වීම ඔහු ප්‍රතික්ෂේප කළේ ය.

"මට ගිහින් බලන්න වෙනවා කොහොම ද ඒක කරන්නේ කියලා," නන්දලාල් වීරසිංහ පැවසීය.

"හැබැයි මම දැනටමත් ඒ ගැන කටයුතු කරන්න පටන් අරන් තියෙන්නේ," ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

නන්දලාල් වීරසිංහ 2012 සැප්තැම්බර් මාසයේ සිට වසර අටක කාලයක් මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතධුරය දැරූ තැනැත්තෙකි.

ඔහු දැනට ඕස්ට්‍රේලියාවේ වෙසෙන අතර, ස්වාධීන උපදේශකයෙකු ලෙස සේවය කරයි.

ඉකුත් සඳුදා දින මහ බැංකු අධිපති කබ්රාල් නිවේදනය කළේ රටේ සියලුම කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමෙන් පසු තමා ද ඉල්ලා අස්වීමේ ලිපිය භාරදුන් බව යි.

කුපිතව සිටින විරෝධතාකරුවෝ රටේ අගමැතිවරයා සහ ජනාධිපතිවරයා ද ඉල්ලා අස්විය යුතුයැ යි ඉල්ලා සිටිති.

මිලියන 22ක පමණ ජනතාවක් සිටින ශ්‍රී ලංකාව මේ මුහුණ දෙන්නේ 1948 දී එක්සත් රාජධානියෙන් නිදහස ලැබීමෙන් පසු මතුවූ බරපතලම ආර්ථික අර්බුදයට යි.

මහ බැංකුව අඟහරුවාදා පොලී අනුපාත පිළිබඳව තීරණයක් ගැනීමට නියමිතව තිබූ නමුත් සඳුදා අගභාගයේ දී එම කටයුත්ත දින නියමයක් නොමැතිව කල් දැමීය.

ශ්‍රී ලංකා රුපියල ස්ථාවර කිරීමට සහ රටේ ඉහළ යන උද්ධමන අනුපාතය මැඬ පැවැත්වීමට මහ බැංකුව උත්සාහ කරන බැවින්, බැංකුව සිය ප්‍රධාන පොලී අනුපාතය සැලකිය යුතු ලෙස ඉහළ නංවනු ඇතැ යි විශ්ලේෂකයෝ අපේක්ෂා කළහ.

ඇඩ්වොකාටා ආයතනයේ සභාපති මුර්ටාසා ජැෆර්ජි පැවසුවේ බැංකුවේ මීළඟ මූල්‍ය ප්‍රතිපත්ති රැස්වීමේ දී පොළී අනුපාතය අවම වශයෙන් සියයට තුනකින්වත් ඉහළ යනු ඇතැ යි තමන් අපේක්ෂා කරන බව යි.

"අපි මේ වෙද්දි විශ්වාසය පිළිබඳ දැවැන්ත අර්බුදයකට මුහුණ දීලා ඉන්නේ. නව මුදල් ඇමතිවරයෙකු, මහ බැංකු අධිපතිවරයෙකු, සහ භාණ්ඩාගාරය ලේකම්වරයෙකු අලුතින් පත් වෙනවා," ජැෆර්ජි BBC වෙත පැවසීය.

"[නමුත්] මහජනයා ජනාධිපතිවරයාට එරෙහිව ලොකු විරෝධයක් දක්වමින් ඉන්න නිසා, ජනතා කෝපය සමනය නොකළොත් නව ආර්ථික කණ්ඩායමට රට කොහොම ස්ථාවර කරන්න පුළුවන් වෙයි ද කියන එක විශ්වාස නැහැ."

නිවාස සහ ව්‍යාපාරික ස්ථානවල එකවර පැය 13ක් දක්වා කාලයක් විදුලිය විසන්ධි කෙරෙන බැවින් රට පුරා විරෝධතාකරුවන් වීදි බැස තිබේ.

පසුගිය මාසයේ දී, ණය කල් දැමීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට ප්‍රථමව, රජය රුපියල දැඩි ලෙස අවප්‍රමාණ කිරීම නිසා ශ්‍රී ලාංකිකයන්ට භාණ්ඩ හිඟයකින් සහ උද්ධමනයෙන් පීඩා විඳීමට සිදුවිය.

ශ්‍රී ලංකාවේ කැබිනට් ඇමතිවරුන් 26 දෙනාම ඉල්ලා අස්වීමේ ලිපි ඉදිරිපත් කර තිබේ. නමුත් අගමැති මහින්ද රාජපක්ෂ හෝ ඔහුගේ සහෝදර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීමට උත්සාහ කරන බවක් හෝ පෙනෙන්නට නැත.

මේ අතර, ජනාධිපති රාජපක්ෂගේ හිටපු නීතීඥ, සහ රටේ හිටපු අධිකරණ අමාත්‍ය අලි සබ්රි සඳුදා නව මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී පැය විසි හතරක් ඇතුලතදී ඉල්ලා අස්විය.

line

මෙයත් නරඹන්න:

වීඩියෝ ශීර්ෂ වැකිය, නරඹන්න: ශ්‍රී ලංකාවේ පොලිසිය මහනුවර විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරයි