විදේශ විනිමය රුපියලට හැරවීමේ ගැසට්ටුව බලරහිත කරන්න - රීට් පෙත්සමක්

විදේශ රටවවල සිට එවන විදේශ විනිමය රුපියල් බවට පරිවර්තනය කිරීමට අදාලව මහබැංකු අධිපතිවරයා නිකුත්කළ ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා හා උප සභාපතිවරයා අභියාචනාධිකරණයට රීට් පෙත්සමක්ගොනු කරනු ලැබූහ.

ඒ, පසුගිය ඔක්තෝබර් මස 28 දින ඒ සම්බන්ධයෙන් නිකුත් කළ 2251/42 දරන ගැසට් නිවේදනය බල රහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිමිනි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් හා, මහ බැංකුවේ මුදල් මණ්ඩලය පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත.

එලෙස ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට මහ බැංකු අධිපතිවරයාට හෝ මුදල් අමාත්‍යවරයාට මූල්‍ය පනත යටතේ බලයක් නොමැති බව පෙත්සම්කරුවන් පෙන්වා දී තිබේ.

මුදල් අමාත්‍යවරයා නිකුත් කළ, විදේශ විනිමය මුදල් බවට පත්කිරීමට අදාල විධි විධාන හා රෙගුලාසි මඟින් තමන් ඇතුළු නීතීඥ වෘත්තිකයන් මෙතෙක් භුක්ති විධි වරප්‍රසාද උල්ලංඝනයවීමක් සිදුවන බව ද නීතීඥ ජී. ජී. අරුල්ප්‍රගාසම් තමා ගොනුකළ පෙත්සම මඟින් කරුණු දක්වා ඇත.

විදෙශ විනිමය ඉපැයීම් සම්බන්ධයෙන් මහ බැංකුව පැනවූ නව රීති මොනවා ද?

අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාව වෙත ගෙන්වාගැනීම සහ එම මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමට අදාල රීතීන් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පසුගිය ඔක්තෝම්බර් 28 වැනිදා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේ ය.

ඒ අනුව, අපනයනය කරන ලද සියලු භාණ්ඩ හා ශ්‍රී ලංකාවෙන් පිටතට සපයන ලද සේවාවලට අදාල අපනයන ඉපැයීම්, අදාල පරිදි භාණ්ඩ නැව්ගත කරන ලද දිනයේ සිට හෝ සේවාවන් සැපයූ දිනයේ සිට දින 180ක් ඇතුළත අනිවාර්යෙන්ම ශ්‍රී ලංකාව වෙත ගෙන්විය යුතු ය.

එමෙන්ම භාණ්ඩ හා සේවා අපනයනය සම්බන්ධයෙන් වන සියලුම අපනයන ඉපැයීම් ලද විගස, එම ඉපැයීම් ලැබීම්වලට අදාල සියලු ලේඛනගත සාක්ෂ්‍ය එම මුදල් ලබන්නා වූ ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකුවකට හෝ අවසරලත් බලපත්‍රලාභි විශේෂ බැංකුවකට නොපමාව ඉදිරිපත් කළ යුතු බවට රීති ද පනවා ඇත.

එම රීතියට අනුව ශ්‍රී ලංකාවට ගෙන්වාගන්නා සෑම භාණ්ඩ හා සේවා අපනයනකරුවෙකුම මාසයක් තුළ ශ්‍රී ලංකාවට ලැබෙන එම ආදායම අවසරලත් ගෙවීම් සඳහා පමණක් භාවිතයෙන් අනතුරුව, එහි ශේෂය එළඹෙන මාසයේ 07 වන දින හෝ ඊට ප්‍රථම ශ්‍රී ලංකා රුපියල්වලට අනිවාර්යෙන්ම පරිවර්තනය කළ යුතු ය.

කෙසේ වෙතත්, නව රෙගුලාසි පනවමින් මහ බැංකුව මීට පෙර කියා සිටියේ විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ බලහත්කාරයෙන් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කෙරෙනු ඇතැ යි යන්න මුළුමනින්ම අසත්‍යයක් බව යි.

සුරැකුම්කරණ මූල්‍යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් මෑතක දී ප්‍රකාශයට පත් කරන ලද 'යෝජනා සඳහා වූ ඉල්ලීම' මඟින් බලපත්‍රලාභී බැංකුවලට ලැබීමෙන් පසු විදේශගත ශ්‍රමිකයන්ගේ සියලුම ප්‍රේෂණ ශ්‍රී ලංකා රුපියලට පරිවර්තනය කිරීම අරමුණුකර ගෙන ඇති බවට පදනම් විරහිත අනුමානයන් පෞද්ගලික වුවමනාවන් සහිත පාර්ශව විසින් පතුරුවා හරිනු ලබන බව මහබැංකුව සඳහන් කළේ ය.

මෙම කටකතාවේ කිසිදු සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව තරයේ ප්‍රකාශයට පත් කරනු ලැබීය.

දැනටමත් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලැබෙමින් පවතින මෙම මූල්‍ය ප්‍රවාහය පදනම්කර ගෙන සුරැකුම්කරණ මූල්‍යන වැඩපිළිවෙලකට අවතීර්ණ වීමේ හැකියාව සොයා බැලීමට යෝජනා සඳහා වූ ඉල්ලීම් සිදු කෙරෙන අතර, මෙම සුරැකුම්කරණ මූල්‍යන වැඩපිළිවෙල මඟින් විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සඳහා කිසිදු බලපෑමක් ඇති නොවන බව මහ බැංකුව කියයි.

තවදුරටත් තම ප්‍රේෂණ අතීතයේ දී මෙන් ශ්‍රී ලංකාවේ විදේශ මුදල් ගිණුම්වල නිදහසේ අඛණ්ඩව රඳවා තබා ගැනීමට ‍‍හෝ, ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා ශ්‍රමිකයන්ට කිසිදු බාධාවක් නැති බව ද මහ බැංකුව අවධාරණය කළේ ය.

කෙසේ වෙතත්, මහ බැංකුවේ ප්‍රකාශකයකු බීබීසී සිංහල සේවය සමග පැවසුවේ විදේශ ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ වලට කිසිදු බලපෑමක් නැති නමුත් නේවාසිකව රට තුළ සිට විදේශයන්ට සේවා සපයා විදේශ විනිමය උපයන්නන්ට මෙම නව රෙගුලාසි වලට අනුව විදේශ නිනිමය රුපියල් වලට හැරවිය යුතු බවයි.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති හා උපසභාපති සිය පෙත්සම මඟින් අභියාචනාධිකරණයයට පෙන්වා දෙන්නේ, තමන් ඇතුළු නීතීඥ වෘත්තිකයන් මෙතෙක්කලක් විදේශ රටවල සිටින සිය සේවාදායකයන්ගෙන් සේවා ගාස්තු ලබා ගත්තේ විදේශ විනිමය ලෙස බවත්, ඒවා සෘජුවම පෞද්ගලික නේවාසික ගිණුම්, විදේශ තැන්පතු ගිණුම් හා බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත ලබා ගැනීමේ හැකියාව තිබූ බවත් ය.

අදාල ගැසට් නිවේදනයේ දක්වා ඇති රෙගුලාසි මඟින් තමන් ඇතුළු නීතීඥ වෘත්තිකයන්ගේ අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 වන වගන්තිය අනුව උල්ලංඝනය වන බවට නිගමනයකර, එම ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා ස්වභාව යුක්ති ධර්මයට පටහැනි බවට තීන්දු කරන ලෙස පෙත්සම්කරුවන් ඉල්ලා සිටියි.

මේ අතර, ශ්‍රී ලංකා නීතීඥ සංගමය ගොනුකළ පෙත්සමට එරෙහිව සීමිත විරෝධතා ගොනු කිරීමට මහබැංකු අධිපතිවරයාට හා මුදල් මණ්ඩලයට අභියාචනාධිකරණය දෙසැම්බර් 15 වැනිදා අවසර ලබා දුන්නේ ය. ඒ අනුව එම විරෝධතා ජනවාරි මස 05 වැනිදා හෝ ඊට පෙර ගොනු කිරීමට නියෝගකර තිබේ.

ඒ සම්බන්ධයෙන් වන ප්‍රතිවිරෝධතා ජනවාරි මස 07 හෝ ඊට පෙර ගොනු කරන ලෙස ද නියම කෙරුණු අතර පෙත්සම ජනවාරි මස 10 යළි කැඳවීමට නියමිත ය.

පෙත්සම කැඳවනු ලැබුණේ සෝභිත රාජකරුණා හා ධම්මික ගනේපොළ යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ය.

මින් පෙර, නීතිවිරෝධී මුදල් සම්ප්‍රේෂණ ක්‍රම හරහා මුදල් ලබාගන්නා සහ බෙදාහරින පුද්ගලයින්ට මහ බැංකුව අනතුරු ඇඟවීමක් සිදුකළේ ය.

ඒ, එවැනි කටයුතුවල නිරතවන අයගේ බැංකු ගිණුම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බව අවධාරණය කරමිනි.

එවන සෑම ඩොලරයකටම අමතර රුපියල් 10ක්

මේ අතර ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ ප්‍රේෂණ විශාල ලෙස අඩුවීමක් පෙන්නුම් කරන අතර මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සියලුම සංක්‍රමණික ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ තම ඉපැයීම් නැවත ගෙන්වා ගැනීමට නීත්‍යානුකූල මාර්ග පමණක් භාවිතා කරන ලෙස යි.

2021 වසරේ සැප්තැම්බර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල අඩු වීමක් පෙන්නුම් කරන බව මහ බැංකුව පවසයි. මහ බැංකුවේ දත්තවලට අනුව පසුගිය මාස කිහිපය තුළම එම අඩුවීම පෙන්නුම් කරයි.

මහ බැංකුවේ දත්තවලට අනුව 2021 වසරේ සැප්තැම්බර් මාසයේ දී මෙරටට ලැබී ඇති විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල වටිනාකම ඩොලර් මිලියන 353කි. 2020 වසරේ සැපැතැම්බර් මාසයේදී එය ඩොලර් මිලියන 703ක් විය. ඒ අනුව එහි පහළයාම 49.7%කි.

2021 වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ මෙරටට ලැබී ඇති සමස්ත ප්‍රේෂණවල වටිනාකම ඩොලර් මිලියන 4,577කි. 2020 වසරේ එම කාලසීමාව තුළ එහි වටිනාකම ඩොලර් මිලියන 5,049ක් විය. ඒ අනුව 2020 වසරට සාපෙක්ෂව ප්‍රේෂණවල සමස්ත අඩුවීම 9.3%කි.

මෙසේ රට තුළට විධිමත් ක්‍රම හරහා ගලා එන විදේශ විනිමය ප්‍රමාණය අඩුවීම හේතුවෙන් දෙසැම්බර් මාසය තුළ දී මෙරටට එවන සෑම ඩොලරයකටම අමතර රුපියල් 10ක් ගෙවන වග මහබැංකුව විසින් නිවේදනය කෙරිණි.

"විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සඳහා අතිරේක දිරි දීමනා යෝජනා ක්‍රමය" සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව දැනටමත් මෙහෙයුම් උපදෙස් නිකුත්කර ඇති බව මහ බැංකුව ප්‍රකාශ කළේ ය.

දැනටමත් විදේශීය ප්‍රේෂණ සඳහා ලබා දෙන අමෙරිකානු ඩොලරයක් සඳහා රුපියල් 2ක දිරි දීමනාවට අමතරව, බලපත්‍රලාභී බැංකු සහ ජාත්‍යන්තරව පිළිගත් අනෙකුත් විධිමත් ක්‍රම ඔස්සේ ප්‍රේෂණයකර 2021.12.01 සිට 2021.12.31 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල්වලට හුවමාරු කරන විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සඳහා අමෙරිකානු ඩොලරයකට රුපියල් 8ක අමතර දිරි දීමනාවක් ලබා දෙනු ඇතැ යි නිවේදනයේ සඳහන් විය.

ඒ අනුව, 2021 දෙසැම්බර් මාසය තුළ රුපියල්වලට හුවමාරු කරන ප්‍රේෂණ සඳහා ලැබෙන මුළු දිරි දීමනාව අමෙරිකානු ඩොලරයකට රුපියල් 10කි.

කෙසේ නමුත්, ඇතැම් විදෙස්ගත ශ්‍රමිකයින් ප්‍රකාශ කරන්නේ මේ රු. 10ක දිරි දීමනාව බැංකුවෙන් තමාට ලබා නොදුන් බව යි. එසේ රු. 10 ලබා දීමට නම් අදාල මුදල බැර වන්නේ වැටුප ලෙස බව සඳහන් කරන්නැ යි බැංකුවෙන් පවසා ඇත.