ශ්‍රී ලංකාවේ රැකියා ස්ථානයේ ලිංගික හිංසන: මාධ්‍යවේදිනියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මූලික රාමුවක්, ලිංගික හිංසා ලෙස හඳුනා ගැනෙන ක්‍රියා මොනවාද?

Sexual harassment at work - stock photo

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, සුනෙත් පෙරේරා
    • Role, BBC සිංහල

ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍ර සහ ආයතන තුළ කාන්තාවන් මුහුණ දෙන ලිංගික හිංසා පිළිබඳ පසුගිය දිනවල සංවාදයක් මතු විය.

එවැනි සංවාදයක් ආරම්භ වූයේ ඉංග්‍රීසි පුවත්පත්වලට සම්බන්ධ මාධ්‍යවේදිනියන් කිහිප දෙනෙකුම තමාට අත්විඳීමට සිදු වූයේ යයි කියන ලිංගික හිංසා පිළිබඳ ට්විටර් සමාජ ජාලයේ සටහන් තැබීමත් සමගය.

ලිංගික හිංසාවෙන් තොර රැකියා ස්ථානයක් සහ පරිසරයක් සුරක්ෂිත කරනුවස් සෘජු මැදිහත්වීමක් කරන ලෙස ඒ සමග ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

එම සංගමයේ ලේකම්වරිය ඉඳුනිල් උස්ගොඩආරච්චි කියා සිටියේ ඒ සම්බන්ධයෙන් සිය සංගමය විසින් යවන ලද ලිපියට ප්‍රතිචාරයක් නොලැබුනත් ඒ සම්බන්ධයෙන් පෙර නොවූ විරූ ආකාරයේ සංවාදයක් ඇති වීම යහපත් තත්ත්වයක් බවය.

"ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු තවත් ආයතන කිහිපයකට අපි මේ ගැන අවධානයට ලක් කර ලිපි යොමු කළා. නමුත් ඒ ආයතනවලින් සෘජු පිළිතුරක් ඇවිත් තිබුණේ නැහැ," යනුවෙන් මාධ්‍යවේදිනී ඉඳුනිල් උස්ගොඩආරච්චි BBC සිංහල සේවය වෙත පැවසීය.

මාධ්‍යවේදිනියන්ගේ ආරක්ෂාව වෙනුවෙන්...

Sexual harassment at work - stock photo

මේ අතර මාධ්‍යවේදිනියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ('Safety for women journalists') මාර්ගෝපදේශ ඇතුළත් මූලික රාමුවක් සැකසීමට ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය කටයුතු කර තිබේ.

ලිංගික හිංසා පමණක් නොව කාන්තාවන්ගේ පූර්ණ ආරක්ෂාව හා අදාළ එම මාර්ගෝපදේශ මාලාව සැකසීමේදී ඇතැම් මුද්‍රිත, විද්‍යුත් සහ වෙබ් මාධ්‍යයන්හි කතුවරුන්, මානව සම්පත් (HR) සහ කළමනාකරණ අංශවල අදහස් ලබා ගත් බව ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී කුමාර් ලෝපේස් BBC සිංහල සේවය වෙත කියා සිටියේය.

Presentational grey line
Presentational grey line

නුදුරේදීම එම මූලික රාමුව මාධ්‍ය ආයතන සමග බෙදාහදා ගැනීමට නියමිත බව කී ඔහු එය පදනම් කර ගනිමින් එම ආයතනවලට තමන්ට සරිලන මොඩලයක් සකසා ගෙන ක්‍රියාත්මක කළ හැකි බව සඳහන් කළේය.

මාධ්‍යවේදිනියන් ඉලක්ක කර එම මාර්ගෝපදේශ සකසා ඇතත් එය මාධ්‍යවේදීන්ට ද ප්‍රයෝජනවත් වන බව කුමාර් ලෝපේස් පෙන්වා දුනි.

සේවා ස්ථානයේ ලිංගික හිංසන යටතට ගැනෙන්නේ මොනවාද?

Sexual harassment at work - stock photo

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ලිංගික හිංසනයක් පිළිබඳ පැමිණිලි කිරීමට ඔබ ආයතනය තුළ නිසි ක්‍රමවේදයක් තිබේද?

සේවා ස්ථානයේ වෙනස් ලෙස සැලකීමට (Workplace discrimination) එරෙහි සිවිල් නීති බලාත්මක කිරීම සඳහා එක්සත් ජනපදය විසින් සමාන වෘත්තීය අවස්ථා කොමිසම(EEOC) ස්ථාපනය කරනු ලැබිණි.

1964 මහජන අයිතීන් පිළිබඳ පනත ඒ සඳහා යොදා ගැනිණි.

Presentational grey line
Presentational grey line

සමාන වෘත්තීය අවස්ථා කොමිසම විසින් සේවා ස්ථානයේ ලිංගික හිංසා ලෙස හඳුනා ගනු ලබන ක්‍රියා එක්සත් ජාතීන්ගේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ කාන්තාවන් බලගැන්වීම සඳහා වන ආයතනය ප්‍රකාශයට පත් කරනු ඇත්තේ මෙසේය.

ලිංගික හිංසා අතරට බොහෝ දේ අයත්ය:

  • දූෂණය, දූෂණය කිරීමට උත්සහ දැරීම හෝ ලිංගික අඩන්තේට්ටම් කිරීම
  • ලිංගික පහස ඉල්ලා අනවශ්‍ය පීඩාවක් එල්ල කිරීම (සේක්ෂුවල් ෆේවර්ස්)
  • අනවශ්‍ය ලෙස සිතාමතාම ස්පර්ශ කිරීම, ඇඟට බර වීම හෝ හේත්තු වීම, ගැලවී යාමට නොහැකි ලෙස යම් තැනකට සිර කිරීම හෝ වැරෙන් ඇල්ලීම
  • ලිංගිකත්වය මතු වෙන ආකාරයේ මුහුණෙන් ඉරියව් දැක්වීම හෝ අභිනව
  • අනවශ්‍ය ආකාරයේ ලියුම්, දුරකතන ඇමතුම් හෝ ලිංගික ඡායාරූප, වීඩියෝ වැනි දෑ
  • පිටත හමුවීම් සඳහා බල කිරීම (ඩේට්ස්)
  • අසභ්‍ය විහිළු, ප්‍රකාශ හෝ ප්‍රශ්න ඇසීම
  • වැඩිහිටි වියේ පසු වුවත් කෙල්ලේ, බබා හෝ පැටියෝ ලෙස ඇමතීම
  • යමෙකු වෙත 'විසිල්' කිරීම (ඌරුවන් බෑම)
  • අසලින් යන විට අනවශ්‍ය ප්‍රකාශ හෝ හඬවල් පිට කිරීම
  • ලිංගිකත්වය මුල් කරගත් ප්‍රකාශ (සේක්ෂුවල් කමෙන්ට්ස්)
  • වෘත්තීය සාකච්ඡා ලිංගික මාතෘකා බවට හරවා ගැනීම (සේක්ෂුවල් ටොපිස්ක්)
  • ලිංගික ඉඟි හෝ කතා (සෙක්ස් ස්ටෝරීස්)
  • ලිංගික ෆැන්ටසි, රුචි අරුචිකම් හෝ අතීතය පිළිබඳ විමසීම
  • සමාජීය හෝ ලිංගික ජීවිතය ගැන පුද්ගලික ප්‍රශ්න ඇසීම
  • යමෙකුගේ ඇඳුම් පැළඳුම්, ස්වාධීනත්වය හෝ බාහිර ස්වරූපය පිළිබඳ ලිංගිකත්වය මතුවෙන ආකාරයේ ප්‍රකාශ (කමෙන්ට්ස්) සිදු කිරීම
  • තොල් සිප ගන්නා හඬ (කිසින්) පිට කිරීම හෝ තොල් ලෙවකෑම
  • යමෙකුගේ පුද්ගලික ලිංගික ජීවිතය පිළිබඳ බොරු පැවසීම හෝ කටකතා පැතිරවීම
  • ගෙල පිටුපස හෝ උරහිස් මසාජ් කරන ආකාරයේ ස්පර්ශයන්
  • සේවකයෙකුගේ හෝ සගයෙකුගේ ඇඳුම, හිස කෙස් හෝ ශරීරය ඇල්ලීම
  • පුද්ගලිකව තෑගි පිරිනැමීම
  • යමෙකු වටේ නිතර ගැවසීම (වටේ කැරකීම)
  • බදා ගැනීම (හග්), සිප ගැනීම, තට්ටු දැමීම හෝ සෙමෙන් අතගෑම
  • ලිංගික අවශ්‍යතා මත තවත් අයෙකුගේ ඇඟේ දැවටීම හෝ ඇතිල්ලීම
  • ලඟින් සිට ගැනීම හෝ ඇඟේ වැදීම
  • යමෙකු දෙස උඩ සිට පහළට බැලීම
  • යමෙකු දෙස නොනවත්වා බලා සිටීම
  • ලිංගික යෝජනා දනවන සංඥා
  • මුහුණේ ඉරියව්, ඇස් ගැසීම, හාදු එවීම හෝ තොල් ලෙවකෑම
  • දෑත් හෝ ශරීරයෙන් ලිංගික අභිනව දැක්වීම

'සෙක්සිසම්'

ලිංගික හිංසා
ඡායාරූප ශීර්ෂ වැකිය, රැකියා ස්ථානයේ ලිංගික හිංසා...

'සෙක්සිසම්' යනු චෛතසික ස්වභාවයකි (ඇටිටියුඩ්). එනම් ස්ත්‍රී පුරුෂ භාවය මත තමා අනෙකාට වඩා උත්තරීතර යයි සැලකීමයි.

උදාහරණයක් වශයෙන් කාන්තාවන් පමණට වඩා හැඟීම්බර යයි පිරිමියෙකු සිතීම හෝ පිරිමි, පිරිමි වෙනුවෙන් පෙනී සිටින බව හෝ ඔවුන් ස්වෝත්තමවාදීන් බවට කාන්තාවක් පූර්ව නිගමනයකට පැමිණීම.

Presentational grey line
Presentational grey line

සෙක්ස් ඩිස්ක්‍රිමිනේෂන් (ස්ත්‍රී පුරුෂභාවය මත වෙනස් ලෙස සැලකීම)

ස්ත්‍රී පුරුෂභාවය මත වෙනස් ලෙස සැලකීම (Sex discrimination) යනු හැසිරීමකි. එනම් යමෙකුගේ ස්ත්‍රී පුරුෂ භාවය මත සේවා ස්ථානයේ තීන්දු තීරණ ගැනීම හෝ ස්ත්‍රී පුරුෂ භාවය මත වෙනස් ලෙස සැලකීමයි.

උදාහරණයක් ලෙස, කාන්තා සහ පිරිමි දෙපාර්ශවයම සේවය කරන ස්ථානයක සුපර්වයිසර්වරියක් විසින් කඩදාසි බහාලූ පෙට්ටි වැනි, තරමක බර යමක් එහෙමෙහෙ කිරීම සෑම විටම පිරිමි සේවකයන්ට පවරනු ලැබීම. නැතිනම් සුපවයිසර්වරයෙක් විසින් තෑගි පිරිනැමීම, 'පාටි' සැලසුම් කිරීම සෑම විටම කාන්තා සේවකයන්ට පැවරීම.

සෙක්ෂුවල් හැරස්මන්ට් (ලිංගික හිංසා)

ලිංගික හිංසා (Sexual harassment) යනු හැසිරීමකි. ලිංගිකත්වය මත පදනම් වූ පිළිගත නොහැකි හැසිරීම් එසේ හඳුන්වනු ලැබේ.

උදාහරණයක් ලෙස කාන්තාවක් අසලින් යන විට පිරිමියෙකු 'විසිල්' ගෑම හෝ පිරිමියෙකු එන විට කාන්තාවක් ඔහුගේ හිසේ සිට දෙපතුල තෙක් බැලීම.

උදව් වෙනුවට...

යම් උදව්වක් කර ඒ වෙනුවට ලිංගික උපකාර ඉල්ලීම ද ලිංගික හිංසාවට අයත්ය. එය දිගටම පැවතීම තුළ ඊට එකඟ වීමට හෝ රැකියා ස්ථානයේ මිත්‍රශීලී නොවන එදිරිවාදී පරිසරයක් නිර්මාණය වීමට හේතු විය හැක.

අප්‍රියජනක ලිංගික ප්‍රකාශ (කමෙන්ට්ස්), විහිළු සහ ඉඟි ලෙස ඒවා පැමිණිය හැක.

ඒවාට එකඟ වීම හෝ නොවීම මත කාන්තාවක හෝ පිරිමියෙකුගේ රැකියාව හෝ රැකියාවට අදාළ තීන්දු තීරණය වීම ලිංගික හිංසාවට අයත්ය.

උදාහරණයක් ලෙස තමා සමග සේවා ස්ථානයෙන් පිටත හමු සඳහා නොඑන කාන්තාවක හෝ පිරිමියෙකු සේවයෙන් නෙරපීම.

ඉහත කී ආකාරයේ තර්ජනාත්මක හැසිරීම් නිසා යමෙකුට තම රැකියාව කරගෙන යා නොහැකි තත්ත්වයක් උද්ගත විය හැක.

උදාහරණයක් ලෙස ඒ ආකාරයේ හැසිරීම්වලට තම අකමැත්ත ප්‍රකාශ කළ ද ලිංගික ප්‍රකාශ (කමෙන්ට්ස්) හෝ විහිළු නොනවත්වා සිදු වීම.

මේ ගැනත් කියවන්න: