ශ්‍රී ලංකාවේ දේශපාලකයන්ට ඝාතන සංස්කෘතිය නිමා කිරීමට උනන්දුවක් නෑ - කාදිනල් හිමිපාණෝ

Sri Lankan military inspect St Sebastian church where a bomb blast took place in the town of Negombo, Sri Lanka, on April 22 2019

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ශ්‍රී ලංකාව තවමත් සුරක්ෂිත නොමැති අතර, පාස්කු ඉරුදින සිදු වූ ප්‍රහාරය වැනි ප්‍රහාරවලට තවමත් ඕනෑම වෙලාවක ඉඩ තිබෙන බවත් "රට භීතියට, ත්‍රාසයට පත්කර අහිංසක ජනතාවගේ ලේ මතින් දේශපාලන වාසි ගන්න, හෙට වුනත් බෝම්බ පුපුරුවන්න සලස්වන්න ඕන කෙනෙකුට පුළුවන් තත්ත්වයක්" පවතින බවත් කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් පවසති.

එහිමියන් ඒ බව කියා සිටියදී කොළඹ දී මාධ්‍ය හමුවක් අමතා අදහස් දක්වමිනි.

"අපේ රට තවම සුරක්ෂිත නැහැ. ගිය සති අන්තයේ දී අපි සමාජ ජාලයේ දුටුවා බුද්ධි අංශ නිලධාරීන් අතර හුවමාරු වූ ලිපියක් ගැන. පැය 24 ක් ඇතුළත ISIS ප්‍රහාරයක් ආගමික ස්ථාන ඉලක්ක කර ගනිමින් සිදුවන බව එහි පැහැදිලිව සඳහන් වී තිබුණා," එහිමියෝ පෙන්වා දුන්හ.

"එම නිසා මේ ඝාතන සංස්කෘතිය පවත්වගෙන යන්න ඉඩ දෙන්න අපට පුළුවන් කමක් නෑ. පාස්කු ඉරුදින ඝාතනයට ලක්වුණ අහිංසකයන්ගේ ජීවිත පූජාවෙන් මේ රට පාඩමක් ඉගෙනගත යුතුයි. සැබෑ ඝාතකයා හඳුනා ගත යුතුයි. රට ඇත්ත දැනගත යුතුයි. ඒ නිසා අපි යුක්තිය කියා බලාපොරොත්තු වෙන්නේ පලිගැනීම නොවේ. සත්‍යය කුමක් ද කියා දැනගැනීමයි. ඇත්ත දැන ගැනීමෙන් මෙවැනි අමානුෂික මිනිස් ඝාතන යළිත් මේ රටේ කිසි තැනක සිදුවීමට ඉඩ නොදීමයි. ඒකයි අපේ ඉලක්කය.

"අප ලිපියෙන් ඉදිරිපත් කළ ඇතැම් වැදගත් කරුණු ගැන සාධාරණ පරීක්ෂණයක් සිදුවන බවක් පෙනෙන්නේ නැහැ.

"අපිට දැනගන්නට ලැබුනා මේ යුද හමුදා බුද්ධි අංශය directorate of military intelligence කියන එක, ඒ අය සහ සහරාන් හෂීම් ගේ කණ්ඩායම අතර යම් යම් ගණුදෙනු තිබිල තියෙනවා ඒ මොනවාද කියල අපිට ප්‍රශ්නාර්ථයක් මතුවෙනවා. මේ ආර්මි මොහිඩින් කියන එක්කෙනා හරහා ඒ තිබිච්ච ගණුදෙනු මොනවාද කියල කොමිෂන් සභාවේත් සඳහන් වෙලා තියෙනවා ඒ මොනවාද කියලා, ඒවා විමර්ශණය කළා ද? මේ සොනික් සොනික් කියන අනුවර්ත නාමයෙන් අමතන ඒ නිළධාරියා රජයේ ආයතනයක, රාජ්‍ය බුද්ධි සේවාවට අනුයුක්ත ඒ නිළධාරියා සහරාන් කියන අයව පාවිච්චි කරලා මේ ප්‍රහාරය ISIS එකෙන් කළාය කියලා එච්චර ලොකු උනන්දුවක් ගත්තේ ඇයි ඒක ISIS එකේ කර පිටඋඩට දාන්න? ඒ කියන්නේ මෙහෙ කවුරු හරි කරපු කෙනෙක් ඒක හංගන්න උත්සහයක් දැරුවයි කියන එක," යනුවෙන් කාදිනල් හිමිපාණෝ දිගින් දිගටම කරුණු දැක්වූහ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නඩු විභාගකිරීම පිණිස ත්‍රීපුද්ගල විශේෂ මහාධිකරණයක් පත්කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා ඇති බවත්, චූදිතයන් 25 දෙනෙකුට චෝදනා 23,370 යටතේ නඩු පැවරීමට හැකියාව ඇතැයි නීතිපතිවරයා විසින් පෙන්වා දී ඇති බවත් ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර කාදිනල් හිමිපාණන් වෙත යොමු කළ පිළිතුරු ලිපියකින් සඳහන් කර ඇතැයි රජය මෙයට පෙර සඳහන් කර තිබිණ.

කෙසේ වුවත් කාදිනල් හිමියන් පවසන්නේ, මේ රටේ දේශපාලකයන්ට ඝාතන සංස්කෘතිය නිමා කිරීමට උවමනාවක් නැති බව දැන් දැන් පෙරටත් වඩා පැහැදිලිව පෙනෙන අතර ඔවුන්, අන්තවාදය, මිනිසුන්ගේ දුප්පත්කම ප්‍රයෝජනයට ගෙන ජනතාවගේ දුක් කඳුළු මතින්, ලෙඩ දුක් වසංගත මැදින්, සිය ආත්මාර්ථකාමී ගමන ඉදිරියට ගෙන යමින් සිටින බවය.

"එතකොට මේ ජමීල් කියන ටාජ් සමුද්‍රා හෝටලයේ බෝම්බය පුපුරුවා ගන්න ගිය එක්කෙනා සමඟ ගණුදෙනු කරපු හමුදා බුද්ධි අංශයේ නිලධාරියා කවුද? ඒවා විමර්ශන කරලා තියෙනවා ද? මේ කරුණු ඉදිරිපත් වෙලා තියෙනවා. ජනාධිපති කොමිසන් සභා වාර්තාවෙත් මේවා තියෙනවා. ඒවා විග්‍රහ කරන්නේ නැතිව මේ නිකන් ඉන්න මිනිස්සු විසි පස් දෙනෙකුට නඩු දානවා. නිකන් ඉන්නවා කියන්නේ අපි ඒ ගොල්ලන්ව සුද්ද වන්තයෝ කරනවා නෙමෙයි යම් යම් සම්බන්ධතා තියෙන මේ පොඩි මාළුන්ව දැලට අහු කරගෙන ලොකු තෝරු මෝරු නිදහසේ යන්නට හරින්න මේ විමර්ෂණ සිදුවෙනවද කියන එක අපිට ප්‍රශ්ණයක් තියෙනවා," එහිමියෝ පැවසූහ.

A security personnel inspects inside St Sebastian's Church in Negombo on April 22, 2019, a day after the church was hit in series of bomb blasts targeting churches and luxury hotels in Sri Lanka. - The death toll from bomb blasts that ripped through churches and luxury hotels in Sri Lanka rose dramatically April 22 to 290 -- including dozens of foreigners -- as police announced new arrests over the country's worst attacks for more than a decade.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ශාන්ත සෙබස්තියන් දේවස්ථානය මීගමුව

"පාස්කු ප්‍රහාරය ඇතුළුව මේ රටේ මෑත ඉතිහාසයේ ඇති වූ සැම ප්‍රශ්නයකටම රජය ක්‍රියා කරන විදිය බලන්න. ජනතාවගේ වේදනාවට කන් දෙනව ද? සංවේදී වෙනව ද? එක ප්‍රශ්නයක්වත් විසඳනවා ද? විසඳපු එක ප්‍රශ්නයක් වත් නෑ. මහජනතාවගේ හඬට විවෘත නෑ. ඉතා දරදඬු, අසංවේදී, හිතුවක්කාර ගමනක් තුළ ප්‍රජාතන්ත්‍රවාදී වැඩ වැඩපිළිවෙළ දුර්වල වෙනවා අපි දකිනවා. කෝවිඩ්-19 විතරක් නොවෙයි ජනතාවට විවිධ පීඩාවන් එල්ල වවෙමින් තිබෙනවා."

"ගොවි මහත්වරුන්ට, ධීවර ජනතාවට, ගුරුවරුන් හා දරුවන්ට, විශ්ව විද්‍යාල සිසුන්ට, ජීවන වියදම, බඩගින්න, බොහෝ දෙනෙකුට බලපානවා. දිනෙන් දින තීරණ ගන්න හරියාකාර සම්බන්ධීකරණයක් නැති පාවි පාවී යන රටක් අද තිබෙන්නේ. යුක්ති සාධාරණත්වයට ඉඩක් නෑ. අපේ දීර්ඝ ලිපියට ලැබුණු ලිස්සා යන සුළු පිළිතුරෙන් එය තව තවත් අපට පැහැදිලි වෙනවා. අපි ඒ පිළිතුර ප්‍රතික්ෂේප කරනවා. මේ වැඩ පිළිවෙල ප්‍රතික්ප්‍රතික්ෂේප කරනවා. ඊට අපේ ප්‍රබල විරෝධය දක්වනවා," යනුවෙන් කාදිනල් මැල්කම් මැල්කම් රංජිත් පැවසූහ.

කාදිනල් හිමිපාණන්

ඡායාරූප මූලාශ්‍රය, youtube/ voicetube

උන්වහන්සේ තවදුරටත් පැවසුවේ නිදහස ලැබීමෙන් පසු මේ රටේ සිදු වූ මිනීමැරුම්, අතුරුදහන් කිරීම්, දේශපාලන පලිගැනීම්, පැහැර ගෙන යාම් වැනි කෙළවරක් නොමැති අපරාධ මාලාව පිටුපස බොහෝවිට තිබෙන්නේ දේශපාලන බල හස්ත බවයි.

"මේ එකදු අපරාධයක් සම්බන්ධයෙන් වත් වැරදිකරුවන් රටට හෙළිදරව් වුණේවත්, පත්කළ කොමිෂන් සභා වලින් ජනතාවට සත්‍යය දැනගන්නට ලැබුණේ වත් නැහැ. පාස්කු ඉරුදින සිදු වූ සමූල ඝාතනය සම්බන්ධයෙන් ද එසේ කිරීමට අප රටේ පාලකයින් සිතා සිටින බව පැහැදිලියි."

"සියලු දේශපාලකයන්ට මම කියන්නේ ආගමික නායකයන් වශයෙන් අපට අයුක්තියට හිස නැමීමට පුළුවන්කමක් නැත. ජනතාවගේ අහිංසක ලේ ගැන අපට කැක්කුමක් ඇත. අප අදහන ආගමික ශාස්තෘවරුන් ඉදිරියේ නිරපරාදේ වැගුරූ අහිංසකයන්ගේ ලේ වලට ගණන් දීමට අපි බැඳී සිටිමු. එම වගකීමෙන් ලිස්සා පැනයාම අපේ හෘදසාක්ෂියට අනුව අපට කිසිසේත්ම කළ නොහැකියි."

ප්‍රහාරයට ගොදුරු වූවන්ගෙන් කිහිප දෙනෙක්
ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රහාරයට ගොදුරු වූවන්ගෙන් කිහිප දෙනෙක්

එබැවින් පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් නිසි පරික්ෂණයක් නොකිරීම පිළිබඳව විරෝධය පෑම පිණිස අගෝස්තු 21 වෙනි සෙනසුරාදා කලු කොඩි දිනයක් ප්‍රකාශයට පත් කරන බව ද එහිමියන් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබිණ.

එම විරෝධතාවට එක්වන මෙන් වෙළෙඳසල් හිමියන්ගෙන්, රථවාහනවලින් මෙන්ම මුස්ලිම් ජනතාවගෙන් ද ඉල්ලා සිටින බව ද එහිමියෝ සඳහන් කළහ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන සියයකට අධික සැකකරුවන් අතරින් සැකකරුවන් 25 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පසුගිය 10 වෙනි දින කොළඹ මහාධිකරණය ඉදිරියේ නඩු පවරණු ලැබිණ.

ඔවුන්ට එරෙහිව ගොනුකර තිබෙන චෝදනා 23,270 පිළිබඳව විමසීම පිණිස විශේෂ මහාධිකරණයක් පත්කරන මෙන් නීතිපතිවරයා නඩු පැවරීමෙන් අනතුරුව නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.