ශ්‍රී ලංකා: සාවද්‍ය මනුෂ්‍ය ඝාතන සහ අපරාධ ගැන පොලිසියට චෝදනා

A Frontline Socialist Party (FSP) activist is taken into police custody during a protest against the brutal murder of George Floyd, an African-American man who died in Minneapolis after a policeman kneeled on his neck for several minutes, Colombo on June 9, 2020. - Sri Lanka June9 broke up a protest organised in solidarity with the Black Lives Matter campaign over the death of African American George Floyd at the hands of US police. Police arrested at least 10 activists of the Frontline Socialist Party (FSP) as they tried to take out a march and demonstrate outside the US embassy in Colombo. (Photo by LAKRUWAN WANNIARACHCHI / AFP) (Photo by LAKRUWAN WANNIARACHCHI/AFP via Getty Images)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, සරෝජ් පතිරණ
    • Role, BBC සිංහල

"සෑම මනුෂ්‍යයෙකුටම ජීවත්වීමේ අනුල්ලංඝනීය වූ අයිතියක් ඇත්තේය. එම අයිතිය නීතියෙන් ආරක්ෂා කළ යුතුය. කිසිවෙකුගේ හෝ ජීවිතය අහඹු ලෙස ඔහුට අහිමි නොකළ යුතුය."

එය, 1966 දෙසැම්බර් 16 වෙනි දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරන ලද අයිසීසීපීආර් හෙවත් සිවිල් සහ දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියේ (International Covenant on Civil and Political Rights - ICCPR), 6.1 වගන්තියේ සඳහන් මූලික මානව හිමිකමකි.

එහෙත් ශ්‍රී ලංකාවාසීන් ගණනාවකට ගතවගිය මාස කිහිපය ඇතුළත එම "අනුල්ලංඝනීය වූ අයිතිය" අහිමිකරන ලද බව පළවූ වාර්තාවල දැක්වේ.

ඒ අතරින් මනුෂ්‍ය ඝාතන පිළිබඳ චෝදනා විශාල ප්‍රමාණයක් එල්ල වූයේ ශ්‍රී ලංකා පොලිසියට එරෙහිවය; බන්ධනාගාර නිලධාරීන්ට සහ "මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට" ද මිනීමැරුම් චෝදනා එල්ලවිය.

පොලිසියට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකරගේ ප්‍රතිචාරය වන්නේ එය ශ්‍රී ලංකාවට එරෙහි කණ්ඩායම්වල "ව්‍යාජ ප්‍රචාරවල" ප්‍රතිඵලයක් බවය.

මේ අතර අගෝස්තු මස මුලදී බ්‍රිතාන්‍යයේ පළ වූ මාධ්‍ය වාර්තාවල දැක්වුණේ, ස්කොට්ලන්ත පොලිසිය ශ්‍රී ලංකාවට ලබාදෙන පුහුණුවීම් නතර කිරීමට තීරණය කර තිබෙන බවය.

ස්කොට්ලන්ත පොලිසියෙන් පුහුණුව ලැබූ සහකාර පොලිස් පරීක්ෂකවරුන් පිරිසක්
ඡායාරූප ශීර්ෂ වැකිය, ස්කොට්ලන්ත පොලිසියෙන් පුහුණුව ලැබූ ශ්‍රී ලංකාවේ සහකාර පොලිස් අධිකාරීවරුන් පිරිසක්

බීබීසී සිංහල සේවය කළ විමසීමකදී පසුගිය මැයි මාසයේ සිට එකී පුහුණුවීම් අත්හිටුවන ලද බව තහවුරු කළ ස්කොට්ලන්ත පොලිසියේ සහකාර ප්‍රධාන පොලිස් පරීක්ෂක ගැරී රිචී, මහජන සෞඛ්‍ය අවදානම හේතුවෙන් වසංගතය ආරම්භයේ සිට සිය නිලධාරීන් ශ්‍රී ලංකාවේ සංචාරය නොකළ බවද පැවසීය.

පුහුණුවීම් අත්හිටවනු ලැබුවේ ශ්‍රී ලංකා පොලිසියට එරෙහිව එල්ල වී තිබෙන බරපතල අපරාධ චෝදනා හේතුවෙන් දැයි ඊමේල් පණිවුඩයකින් කළ විමසීමට සෘජු පිළිතුරක් නොදෙමින් ඔහු විසින් බීබීසී වෙත යොමු කළ ප්‍රකාශයක දැක්වුණේ, එම වැඩසටහන ගැන මේ මොහොතේ අධීක්ෂණයක් පැවැත්වෙමින් තිබෙන බවය.

කෙසේ වුවත් බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් මහජන ආරක්ෂාව භාර අමාත්‍ය සරත් වීරසේකර කියා සිටියේ, ස්කොට්ලන්ත පොලිසිය එම පුහුණුව නවතා දමා නොමැති අතර එය තාවකාලිකව අත්හිටවනු ලැබ තිබෙන්නේ වර්තමානයේ රටේ පවතින කොවිඩ්-19 වසංගතය හේතුවෙන් බවය.

හියුමන් රයිට්ස් වොච්

මේ අතර පසුගියදා වාර්තාවක් නිකුත්කරමින් හියුමන් රයිට්ස් වොච් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය ද විශේෂයෙන්ම වසංගතය සමයේ ශ්‍රී ලංකා පොලිසියේ ක්‍රියාකලාපය දැඩි දෝෂදර්ශනයට ලක් කර තිබුණි.

එහි දැක්වෙන්නේ, වසංගතයට සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ අටියෙන් බව පවසමින් ශ්‍රී ලංකා පොලිසිය මනුෂ්‍ය ඝාතන සහ ජනතාවට පීඩා කිරීමේ නිරතව සිටින බවය.

පොලිසියට එරෙහිව එල්ලවන මේ චෝදනා පිළිබඳ නිසි පරීක්ෂණ පැවැත්විය යුතු බව අවධාරණය කරන හියුමන් රයිට්ස් වොච් සංවිධානය, පොලිසිය සම්බන්ධයෙන් ස්වාධීනව සොයා බලන යාන්ත්‍රනය යළි පිහිටුවිය යුතු බවත් පෙන්වා දී තිබුණි.

එමෙන්ම එවැනි පරීක්ෂණවල ප්‍රගතියක් ලැබෙන තුරු ස්කොට්ලන්ත පොලිසිය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා පොලිසියට ලබාදෙන ආධාර නැවැත්විය යුතු බව ද එම නිවේදනයේ දැක්වේ.

පොලිසියේ ක්‍රියා කලාපය ගැන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පෝස්ටුවක්

ඡායාරූප මූලාශ්‍රය, Social media

ඡායාරූප ශීර්ෂ වැකිය, පොලිසියේ ක්‍රියා කලාපය ගැන සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වන පෝස්ටුවක්

කෙසේ වුවත් බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් මහජන ආරක්ෂාව භාර අමාත්‍ය සරත් වීරසේකර කියා සිටියේ, සමස්තයක් වශයෙන් පොලිසියට එරෙහිව එල්ලවන චෝදනා ඇතැම් මාධ්‍ය සහ ශ්‍රී ලංකාවට එරෙහි කණ්ඩායම්වල "ව්‍යාජ ප්‍රචාරවල" ප්‍රතිඵලයක් බවය.

පොලිසිය මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධ බවට එල්ලවන චෝදනා "අමූලික බොරුවක්" බව සඳහන් කළ අමාත්‍යවරයා, මහජන ආරක්ෂාව උදෙසා පොලිසිය කරන කැපවීම් කිසිසේත්ම අගය නොකරන බවටත්, ඒ වෙනුවට අපරාධකරුවන් ආරක්ෂා කිරීම උදෙසා ක්‍රියාකරන බවටත්, බීබීසී ද දැඩි දෝෂදර්ශනයට ලක් කරමින් පැවසීය.

රාජපක්ෂ පාලනය බලයට පත්වීමෙන් අනතුරුව සාවද්‍ය මනුෂ්‍ය ඝාතන පිළිබඳව පොලිසියට එරෙහිව එල්ල වූ චෝදනා කිහිපයක් සැකෙවින් පහත දැක්වේ.

  • අපරාධ සම්බන්ධයෙන් සැකපිට බන්ධනාගාරගතව සිට ඇප පිට නිදහස් කරන ලද ලලිත් පිංතු නම් පුද්ගලයාට වෙඩි තබා මරා දැමූ බවට පොලිසියට චෝදනා එල්ලවේ. ඒ පසුගිය ජුලි 17 වන දිනය. ඒ පිළිබඳ පරීක්ෂණය සීදුව පොලීසියෙන් ඉවත් කොට රහස් පොලීසියට බාර දිය යුතු යැයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා ඒ අවස්ථාවේ ඉල්ලා සිටියේය.

මාධ්‍ය හමුවේ ඒ ගැන අදහස් දක්වමින් එවක පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර තිබුණේ, මිනිස් ඝාතන හයක්, කොල්ලකෑම් ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ සැකකරුවකු සීදුව බේස්ලයින් පාරේදී විශේෂ කාර්ය බළකාය සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් මියගොස් ඇති බවය.

මාකඳුරේ මධුෂ්

ඡායාරූප මූලාශ්‍රය, facebook

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලෙසින් පොලිසිය විසින් හඳුන්වනු ලබන සැකකරුවන් කිහිප දෙනෙකුම ගෝඨාභය රාජපක්ෂ පාලනය යටතේ "ආයුධ පෙන්වීම සඳහා රැගෙන ගිය අවස්ථාවේ හටගත් ගැටුමකින්" පොලිසිය විසින් වෙඩි තබා මරා දමා තිබිණ.

  • සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙසින් පොලිසිය විසින් හඳුන්වනු ලැබූ සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් පසුගිය වසරේ ඔක්තෝබර් 20 වෙනි දින උදෑසන කොළඹ දී වෙඩි තබා මරා දමා තිබුණි.

පොලිසිය පැවසුවේ, සඟවා තිබෙන කුඩු කිලෝ 22ක් පෙන්වීමට මාළිගාවත්ත නිවාස සංකීර්ණයකට රැගෙන ගිය අවස්ථාවේදී ඇතිවූ වෙඩි හුමාරුවකදී ඔහු මරුමුවට පත් වූ බවය.

එම ඝාතනය සම්බන්ධ පරීක්ෂණවල ප්‍රගතිය කවරක් දැයි, තොරතුරු දැනගැනීමේ පනත යටතේ බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දීම පොලිසිය ප්‍රතික්ෂේප කළේය.

Presentational grey line
Presentational grey line
  • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව පොලිසිය පවසන කිහිප දෙනෙකුම ඉන් අනතුරුව "සඟවන ලද ආයුධ පෙන්වීමට ගිය අවස්ථාවේ පොලිසිය සමග හටගත් ගැටුම්වලින්" ඝාතනයට ලක්විය.

එම ඝාතන සම්බන්ධ පරීක්ෂණවල ප්‍රගතිය කවරක් දැයි අනාවරණය නොවන අතර, එවන් මනුෂ්‍ය ඝාතන බොහෝ දෙනා අනුමත කරන හැඩක් සමාජ මාධ්‍ය ඔස්සේ පළවන අදහස් විමසීමේ දී දක්නට ලැබේ.

  • රාජ්‍ය අමාත්‍ය එස් වියලේන්ද්‍රන් ගේ ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකු විසින් පසුගිය ජුනි 21 වෙනි දින මහාලිංගම් බාලසුබ්‍රමනියම් නම් 35-හැවිරිදි ට්‍රක් රථ රියදුරා වෙඩි තබා මරා දමන ලදි. ඒ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදු නොවන බවට රියදුරාගේ ඥාතීන් සහ මානව හිමිකම් සංවිධාන චෝදනා කරති.

කොවිඩ් වසංගතය

මහර බන්ධනාගාරයේ ගැටුමෙන් පසු තොරතුරු ඉල්ලා අඬන මවක්

ඡායාරූප මූලාශ්‍රය, Twitter

වත්මන් රජයේ පාලන සමය තුළ එවැනි මනුෂ්‍ය ඝාතන පිළිබඳව චෝදනා එල්ලවන්නේ පොලිසියට එරෙහිව පමණක් නොවේ.

  • ශ්‍රී ලංකාව තුළ නව කොරෝනා වෛරස වසංගතය පැතිරයාම ආරම්භවීමත් සමග වසංගතයේ පළමු මිනිස් බිල්ල වූයේ සිරකරුවන් දෙදෙනෙකි. බන්ධනාගාරයේ තදබදයට එරෙහිව උද්ඝෝෂණයක නිරතව සිටියදී ඔවුන් දෙදෙනා වෙඩි තබා මරා දැමිණ.
  • ඉන් අනතුරුව, වසංගතය අවස්ථාවේ මහර බන්ධනාගාරයේ තදබදයට එරෙහිව උද්ඝෝෂණය කළ සිරකරුවන් 11 දෙනෙකුවත් බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩි තබා මරා දැමිණ. ඒ පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දීය. ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් අමාත්‍ය විමල් වීරවංශ කියා සිටියේ, එය කොවිඩ් තදබදය සම්බන්ධ කරුණක් නොව සිරකරුවන් 'රිවස්' නම් මත්ද්‍රව්‍යයක් භාවිත කිරීමේ ප්‍රතිඵලයක් බවය.

- සිරකරුවන් ඝාතනය කිරීම සහ පොලිසියට එරෙහිව එල්ල වී ඇති ඝාතන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බව පොලිසිය පවසන නමුත් ඒ කිසිදු ඝාතනයක් සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන හෝ කිසිවෙකුටත් එරෙහිව නඩු පවරනු ලැබ නැත.

'පොලිසිය මිනීමරන්නේ නෑ'

ඉහත කී චෝදනා පිළිබඳව බීබීසී සිංහල සේවය විමසීමක් කළ අවස්ථාවේ, එයට පිළිතුරු දුන් අමාත්‍ය සරත් වීරසේකර, "පොලිසිය එහෙම ඝාතන කරන්නේ නෑ. ඒක අමූලික බොරුවක්. පොලිසිය ඉන්නේ අපරාධ කරන්න නෙවෙයි, ඒව වලක්වන්න," යනුවෙන් සඳහන් කළේය.

අමාත්‍ය සරත් වීරසේකර

ඡායාරූප මූලාශ්‍රය, facebook/sarath weerasekara

"එහෙම පොලිසියට අවමන් කරන්න, අපහාස කරන්න ඉඩ දෙන්න බෑ. පුද්ගලිකව පොලිස් නිළධාරීන් අතින් වරදක් වුණොත් අපි ඇක්ෂන් ගන්නවා නමුත් පොදුවේ පොලිසිය එහෙම අපරාධ කරන්නේ නෑ," යනුවෙන් ද අමාත්‍යවරයා පැවසීය.

එල්ටීටීඊ සංවිධානයට එරෙහි සටනේ දී 2500 කට වැඩි පොලිස් නිලධාරීන් පිරිසකට ජීවිත අහිමි වූ බව සඳහන් කළ අමාත්‍යවරයා, කොරෝනා වසංගතය පාලනය කිරීමට වෙහෙසුන පොලිස් නිලධාරීන් විශාල පිරිසකට කොවිඩ්-19 රෝගය වැළඳුණ බවත් කියා සිටියේය.

"පොලිසිය මිනීමරන්නේ නෑ," යනුවෙන් අමාත්‍යවරයා අවධාරණය කළේය.

උදාහරණයක් ලෙසින් මාකඳුරේ මධුෂ් ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණවල කිසිදු ප්‍රගතියක් නොමැත්තේ මන්දැයි විමසූ විට දැඩි කෝපයට පත්වූ අමාත්‍ය සරත් වීරසේකර, "මධුෂ් කියන්නේ ලෝකෙම දන්නා, ලෝකෙටම අවශ්‍ය කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක්. ඔබතුමා මධුෂ් ගැනම අහන්නේ ඇයි? ඔබතුමා සාමාන්‍ය මිනිස්සු ගැන අහන්නේ නැත්තේ ඇයි?," යනුවෙන් බීබීසී වෙත නොනවත්වා දැඩි දෝෂාරෝපණයක් එල්ල කළේය.

කිසියම් පුද්ගලයෙකු අපරාධකරුවෙකු වූ පමණින් ඔහු ඝාතනය කිරීමට කිසිවෙකුට හෝ බලයක් ලැබෙන්නේ දැයි විමසූ විට ඔහු කියා සිටියේ, "මධුෂ් ගැන හොයන එක මගේ ප්‍රමුඛතාව නෙමෙයි. මගේ ප්‍රමුඛතාව මහජන ආරක්ෂාව," යනුවෙනි.

"ඒ ගැන පරීක්ෂණ කරනවා ඇති, මම දන්නේ නෑ. දවසෙන් දෙකෙන් මිනීමැරුමක් ගැන හොයන්න බෑනේ."

ඉන් අනතුරුව මහජන ආරක්ෂාව උදෙසා පොලිස් නිලධාරීන් කරන කැපවීම් අගය කරනු වෙනුවට පොලිසියට සහ ශ්‍රී ලංකාවට එරෙහි ප්‍රචාරක ව්‍යාපාරයක නිරතවන බවට බීබීසී වෙත චෝදනා කරමින් අමාත්‍යවරයා දුරකතනය විසන්ධි කළේය.

තවත් ලිපි: