කොරෝනා වෛරසය: ශ්‍රී ලංකාව තුළ 'නොසැලකිල්ල නිසා' නැවත හිස ඔසවන වසංගතය

Coronavirus in Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, දැහැමි රණවීර
    • Role, බීබීසී සිංහල

සති අන්තයේ සංචරණ සීමා පැනවීමක් නොමැති අතර, ජනතාව රැස්වන ස්ථාන මඟහරිමින්, වගකීමෙන් කටයුතු කරන ලෙස අද දින (අප්‍රේල් 23) පැවැති මාධ්‍ය හමුවක දී යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය. යම් ප්‍රදේශයක සැලකිය යුතු රෝගීන් වාර්තා වුවහොත් හුදකලා කිරීමට පියවර ගන්නා බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

"අලුත් අවුරුද්දට පෙර ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණේ කොවිඩ් රෝගීන් 150කට අවම ප්‍රමාණයක්. නමුත් අවුරුද්ද නිමා වෙනවත් එක්ක එය දෙගුණයක් වුණා. ඊයේ දින වන විට රෝගීන් 600කට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙනවා. මේ තත්ත්වය පාලනය කරගන්න ජනතාව අනිවාර්යයෙන්ම සෞඛ්‍ය උපදෙස් පිළිපැදීය යුතුයි."

අප්‍රේල් 21 වෙනි දින තුළ දී පමණක් කොරෝනාවෛරස ආසාදිතයන් 561ක් වාර්තා වීමත් සමග නැවතත් 'දැඩි ක්‍රියාමාර්ග හා තීන්දු තීරණ ගැනීමට' සිදුවන බව රජය පවසයි.

"රට තුළ නැවතත් කොරෝනාවෛරසය පැතිරයාමක් තිබෙනවා. පසුගිය උත්සව සමයේ ජනතාව හැසිරුණු ආකාරය මෙයට හේතු වෙලා තිබෙනවා. ඒ අනුව ජනතාව විශාල වශයෙන් එකතු වෙන උත්සව නැවැත්වීමට තීරණය කර තිබෙනවා. මැයි රැළි, වෙසක් වෙනුවෙන් පවත්වන උත්සව සියල්ල නතර කිරීමට සිදු වෙනවා. රටේ ආර්ථිකමය වශයෙන් වැදගත් රැස්වීම් හැර අනෙක් සියල්ල නවතා දමන්න සිදුවෙනවා," වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුගත් සමරවීර බීබීසී සිංහල සේවයට පැවසීය.

වෙනත් රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ද වෛරසය වේගයෙන් පැතිර යෑමක් දක්නට ඇති බව අධ්‍යක්ෂවරයා පැවසුවේය.

කොරෝනාවෛරසය පැතිරයාම පාලනය කිරීම සදහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි දැඩි ක්‍රියාමාර්ග හා තීන්දු ගන්නා බව අප්‍රේල් 21 වෙනිදා පැවති විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටු රැස්වීමේ දී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පැවසීය.

එමෙන්ම විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයන්ගේ නිරෝධායන කාලය නැවතත් සති දෙක දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ එම රැස්වීමේ දී පැවසුවාය. රටවල් පුරා ව්‍යාප්ත වන නව කොවිඩ් ප්‍රභේද හේතුවෙන් මෙම තීරණය ගත් බව රාජ්‍ය අමාත්‍යවරිය තවදුරටත් පැවසීය.

"විදෙස් රටවල සිට පැමිණෙන අයට අපි නිරෝධායන නීති ලිහිල් කරලා තිබුණේ. නමුත් පවතින තත්ත්වය මත නැවතත් සති දෙකක නිරෝධායනය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. එන්නත් දෙකම ලබා ගෙන රටට පැමිණෙන අයගේ පීසීආර් පරීක්ෂණය නෙගටිව් නම් අපි ඔවුන්ට රට තුළට යන්න දුන්නා. නමුත් දැන් ඒකත් නතර කර ඒ අයවත් සති දෙකක කාලයක් නිරෝධායනයට යොමු කරන්න තීරණය කර තිබෙනවා,"වෛද්‍ය සුගත් සමරවීර පැවසීය.

Coronavirus in Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයන්ගේ නිරෝධායන කාලය නැවතත් සති දෙක දක්වා දීර්ඝ කෙරෙයි.

'හුදෙකලාවට'

කුරුණෑගල, තිත්තවැල්ගාල ප්‍රදේශයේ සිදුකරන ලද පීසීආර් පරීක්ෂණවලින් සියයකට වැඩි කෝවිඩ් ආසාදිතයන් හඳුනා ගැනිණි.

ඒ අනුව, තිත්තවැල්ගාල ප්‍රදේශයේ පුද්ගලයින් 1,320 දෙනෙකුට අධික පිරිසක් නිරෝධායනය සඳහා යොමු කර තිබේ.

"සමහර පුද්ගලයින් මේ ප්‍රදේශයෙන් හොරෙන් එළියට ගිහින් නිරෝගි පුද්ගලයින් සමග කටයුතු කරනවා. මේක පොලීසියට විතරක් තනියම කරන්න බැහැ. අවශ්‍ය පහසුකම් සියල්ල සපයනවා. මම බොහෝම කරුණාවෙන් ඉල්ලා සිටිනවා ප්‍රදේශයෙන් බැහැරට නොගොස් රෝගයෙන් ආරක්ෂා වෙන්න උදව් කරන්න," මාධ්‍යට අදහස් දැක්වූ තිත්තවැල්ගාල මහජන සෞඛ්‍ය පරීක්ෂක සිසිර බණ්ඩාර බස්නායක පැවසුවේය.

මේ අතර, කුලියාපිටිය පොලිස් වසම අප්‍රේල් 22 මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම් දෙන තුරු හුදෙකලා කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මාධ්‍යට නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

එම ප්‍රදේශයෙන් කොරෝනාවෛරස රෝගීන් විශාල ප්‍රමාණයක් වාර්තා වී ඇතැයි ද යුද හමුදාපතිවරයා පැවසීය.

දිවුලපිටිය ප්‍රදේශයෙන් ද දින දෙකක් තුළ සියයකට ආසන්න කොරෝනාවෛරස ආසාදිතයන් පිරිසක් වාර්තා වී ඇත. ජනතාවගේ නොසැලකිලිමත්කම නිසා "තුන්වෙනි කොවිඩ් රැල්ලක්" ආරම්භ වී ඇතැයි එම ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්ඒයූටී කුලතිලක මාධ්‍යට පැවසීය.

Coronavirus in Sri Lanka

'එක්රැස් වෙන්න එපා'

පවතින තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් හැකිතාක් නිවෙස්වලට වී සිටින ලෙසත් මිනිසුන් විශාල ප්‍රමාණයක් ඒකරාශී වන ස්ථාන වලට නොයා සිටින ලෙසත් ඉල්ලා සිටින බව වෛද්‍ය සුගත් සමරවීර බීබීසී සිංහල සේවයට පැවසීය.

"විශාල උත්සව පමණක් නෙමෙයි, නිවෙස් වල පුද්ගලයන් එක්රැස් වන උත්සවවලට පවා නොයා ඉන්න. අනවශ්‍ය සාප්පු සවාරි යන්න එපා. ඒ වගේම පිටතට යනවානම් මුහුණු ආවරණ පැළඳීම සහ දුරස්ථ භාවය පවත්වා ගැනීම අනිවාර්යයෙන් සිදු කළ යුතුයි. අපි ප්‍රවේසම් වෙලා, පුද්ගලයන්, රටේ ආර්ථිකය වගේම දරුවන්ගේ අධ්‍යාපනය ද රැකගන්න අවශ්‍යයි."

"කැස්ස, උණ තත්ත්වයක් තියෙනවානම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න, ඒ වගේම පීසීආර් පරීක්ෂණයක් සිදු කර ගන්න. කොරෝනාවෛරස පාලනය අපිට තනියම කරන්න බැහැ. මෙයට ජනතාවගේ පූර්ණ සහයෝගය අවශ්‍යයි," වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර, සති අන්තයේ විනෝද චාරිකා යෑමෙන් ද විවිධ උත්සව සංවිධානය කිරීමෙන් ද වැළකී සිටින්නැයි ද යුද හමුදාපතිවරයා අප්‍රේල් 22 පැවති මාධ්‍ය හමුවක දී ජනතාවට දැනුම් දුන්නේය.

එදින කොවිඩ් -19 වෛරසය ආසාදිතයන් 520 දෙනෙකු වාර්තා වීමත් සමග ශ්‍රී ලංකාවේ සමස්ත රෝගීන් සංඛ්‍යාව 98,570ක් දක්වා ඉහළගොස් තිබෙන බව ද හමුදාපතිවරයා පැවසීය.

Coronavirus in Sri Lanka

මේ තොරතුරු ද කියවන්න:

දැඩි ක්‍රියාමාර්ග

විශේෂ කාර්යසාධන සමාලෝචන කමිටු රැස්වීමේ දී පැවසූ පරිදි කොරෝනාවෛරසය පාලනය සඳහා ඉදිරියේ දී අනුගමනය කරන පියවර:

  • දැඩි සත්කාර ඒකකවල ඇඳන් ධාරිතාව වැඩි කිරීම සහ කොවිඩ් රෝගීන්ට අවශ්‍ය හයි ෆ්ලෝ (high floor) ඔක්සිජන් ලබා දීම.
  • දත්ත රැස් කිරීමේ ක්‍රමවේදය ශක්තිමත් කිරීම හා වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය පුද්ගල ආරක්ෂිත ඇදුම් (PPE) වැඩිපුර ලබා දීම.
  • කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ රෝගීන්ගේ රෝගී තත්ත්වයන් අනුව වෙන් වෙන් වශයෙන් ඔවුන් සුදුසු රෝහල් වෙත යොමු කිරීමට සැළසුම් සකස් කිරීම.
  • ඉදිරියේ දී කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරිමට ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් තව තවත් රෝහල් හදුනා ගැනීම සහ ඒවාට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සැපයීම.
  • කොවිඩ් රෝගීන් සදහා ප්‍රතිකාර සේවාවන් පවත්වාගෙන යන අතර තුර දෛනිකව අනෙකුත් රෝග සදහා ද රෝහල්ගත වන රෝගීන්ට ලබාදෙනු ලබන බාහිර හා නේවාසික ප්‍රතිකාර සේවාවන් සහ ශල්‍යකර්ම ශක්තිමත්ව පවත්වාගෙන යාම.
  • PCR පරීක්ෂණ සංඛ්‍යාව අවම වශයෙන් දිනකට 15,000 දක්වා වැඩි කිරීම.
  • නිරෝධායන නීති සැමට දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම, නිරෝධායන නීති කඩකරන්නන්ට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කර දඩුවම් ලබා දීම.
  • විදේශයන්හි සිට පැමිණෙන අය සඳහා විශේෂිත නිරෝධායන නීති සකස් කිරීම.
Coronavirus in Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, SRILANKAHEALTHMINISTRY

"විශ්වවිද්‍යාල ආරම්භ කරන්නේ නැහැ"

රටේ පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශයේ උපදෙස් අනුව සියලු විශ්වවිද්‍යාල ආරම්භ කිරීම තවත් සති දෙකක් දක්වා කල් දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් අප්‍රේල් 22වෙනිදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

අප්‍රේල් 27 දින සියලු විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට සැලසුම් කොට තිබූ නමුත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත පවතින කොවිඩ්19 තත්ත්වය සළකා මෙම පියවර ගැනීමට කටයුතු කළ බව අමාත්‍යවරයා පැවසීය.

සංචාරක බුබුළක්

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර යෝජිත සංචාරක ගුවන් බුබුළ අත්හිටුවා නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග අවධාරණය කරයි.

දෙරට අතර සංචාරක ව්‍යාපාරය නංවාලීමේ අරමුණින් එය ක්‍රියාත්මක කරන බවට අමාත්‍යවරයා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට පවසා තිබේ. සංචාරක ගුවන් බුබුළ යටතේ දෙරට අතර නැවත ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීම මෙහි අරමුණයි.

තවත් තොරතුරු: