නෙදර්ලන්තය ඇතුළු විදේශික දෙමාපියන්ට හදාවඩා ගැනීමට දුන් සහ “විකිණූ” ශ්‍රී ලාංකික බිළිඳුන්

යසවතී ගේ පුතා, ජගත්

ඡායාරූප මූලාශ්‍රය, Handout

ඡායාරූප ශීර්ෂ වැකිය, සිය පුතා, ජගත්, හදාවඩා ගැනීම පිණිස දීමෙන් පසු යසවතී මාතාවට ලැබුණ එකම ඡායාරූපය මෙයයි
    • Author, සරෝජ් පතිරණ
    • Role, BBC ලෝක සේවය

1960 සිට 80 දශකය දක්වා කාලය තුළ දහස් ගණන් ශ්‍රී ලාංකික දරුවන් හදා වඩා ගැනීම පිණිස විදේශීය දෙමාපියන්ට භාර දෙනු ලැබිණ. "බේබි ෆාම්" මධ්‍යස්ථාන මගින් ඇතැම් දරුවන් යුරෝපීය දෙමාපියන්ට විකුණනු ලැබිණ. එහිදී දරුවන් ලබාගැනීම පිණිස දෙමාපියන්ට බලපෑම් කෙරුණු බවට සහ අල්ලස් දී ඇති බවට එල්ල වූ චෝදනා හමුවේ, එසේ දරුවන් දහස් ගණනක් භාරගත් නෙදර්ලන්තය, විදේශීය දරුවන් දරු කමට හදාවඩා ගැනීම මෑතදී තහනම් කළේය. ඒ පරීක්ෂණය තවදුරටත් පැවැත්වෙන අතරවාරයේ, සිය දරුවා කෙදිනක හෝ යළි පැමිණෙනු ඇතැයි බලා සිටි අම්මාවරු තවමත් ඒ බලාපොරොත්තු පොදි බැඳගෙන සිටිති.

අම්මා සහ බාල නංගී රැගෙන රතු පැහැති මෝටර් රථයක් දිනක් හැන්දෑ යාමයේ නිවසින් පිටත්ව ගිය අයුරු ඉන්දික වඩුගේට තවමත් මතකය. ඊට පසු දින අම්මා යළි නිවසට එන තුරු ඉන්දික සහ වැඩිමහල් නැගණිය, දමයන්ති, නිවසට වී සිටියහ. නිලන්ති නංගීත් සමඟ පිටත්ව ගිය අම්මා යළි පැමිණියේ තනිවය.

"යන්නම් කියල අත වනල ගියපු නංගි පිටරට යාවි කියල හරි අපි එයාව දකින්නේ අන්තිම වතාවට කියල මට නිකමටවත් හිතුණේ නෑ," ඉන්දික පවසයි.

ඒ 1985 හෝ 1986 වසරේ දිනයකි. ඒ වනවිට ඔවුන්ගේ පියා පවුලෙන් ඈත්ව ගොසිනි. අම්මා, පනික්කාර්ගේ සෝමවතීට සිදුවූයේ තනිවම දරු තිදෙනා ඇති දැඩි කිරීමටය. දෛනික ජීවිතය ගෙවාගැනීමට ඔවුන් අරගලයක නිරතව සිටියදී, නිලන්ති නංගී දරු කමට හදාවඩා ගැනීමට භාර දෙන මෙන් අම්මා දැන සිටි පුද්ගලයෙක් ඇය එකඟ කරගත් අයුරු ඉන්දිකට මතකය.

Indika Waduge

ඡායාරූප මූලාශ්‍රය, Indika Waduge

ඡායාරූප ශීර්ෂ වැකිය, දෙමාපියන් සමඟ දිනක් 'බේබි ෆාම්' මධ්‍යස්ථානයට ගිය අවස්ථාවේ අම්මාවරු පැදුරු මත නිදා සිටිනු දුටු බව ඉන්දික පවසයි

ඉන්දික පවසන්නේ ඒ පුරුෂයා එවක කොටහේන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය "බේබි ෆාම්" මධ්‍යස්ථානයක බ්‍රෝකර්වරයෙකු බවය. අධිකරණ ලිපිකාරිනියක සහ ඇයගේ ස්වාමිපුරුෂයා විසින් එය පවත්වාගෙන යන ලද බව පවසන ඔහු, එම බිළිඳුන් විකිණීම පිණිස විදේශික දෙමාපියන් සොයා දීම භාරව සිටියේ සිය නැගෙණිය කැඳවා ගිය පුරුෂයා බවත් පැවසීය.

එසේ දරුවන් භාරගත් විදේශිකයන් අතරින් විශාල පිරිසක් ඕලන්ද ජාතිකයන්ය.

ඉන්දික පවසන්නේ, එය දරුවන් විකුණන මධ්‍යස්ථානයක් යයි සිය මව සෝමවතී දැන සිටි බවය. එහෙත් ඒ අවස්ථාවේ ඇයට විකල්පයක් නොවූ බවත් පුතා පිළිගනියි. දියණිය භාරදුන් අවස්ථාවේ ඔවුන් සෝමාවතීට රුපියල් 1500 ක් (එවක ඩොලර් 55ක් පමණ) දී තිබේ.

"අම්ම ඒක දැනගෙන හිටිය, ඒත් අම්මට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ. මම හිතන්නේ අම්ම ඒ තීරණය ගත්තේ එයාට අපි සේරටම කන්න දෙන්න බැරි නිසා. මම එයාට වැරැද්දක් කියන්නේ නෑ."

නිලන්ති නංගී භාරදීමට ප්‍රථම තාත්තාත්, අම්මා සමඟ "බේබි ෆාම්" මධ්‍යස්ථානයට ගිය බව ඉන්දිකට මතකය. ඒත් ඒ කවර කරුණක් සඳහා දැයි ඔහුගේ මතකයේ නැත. එය දෙමහල් ගොඩනැගිල්ලක් බවත් අලුත දරුවන් ප්‍රසූත කළ මාතාවන් කිහිප දෙනෙකු එහි පහළ මාලයේ පැදුරුවල වැතිරී සිටි බවත් ඔහුට මතකය.

"ඒක හරිම අපිරිසිදු තැනක්, හරියට හොස්පිටල් වාට්ටුවක් වගේ," ඔහු පැවසීය. "දැන් මම දන්නවා ඒක බේබි ෆාම් එකක් කියල. එයාල දරුවෝ ලැබෙන කල් අම්මල බලාගෙන ඊට පස්සේ ඒ දරුවෝ විකුනනවා. එතන බොහොම හොඳ බිස්නස් එකක් කළේ."

වරක් අම්මාගේ මිතුරියක සිය බිළිඳා එම ස්ථානයට භාර දී අම්මා හමුවීමට පැමිණි බවත් ඔහුට මතකය.

"අම්මට කතා කරන ගමන් එයා අඬ, අඬ හිටිය මට මතකයි."

Panikkarge Somawathie

ඡායාරූප මූලාශ්‍රය, Handout

ඡායාරූප ශීර්ෂ වැකිය, නිලන්ති හදාවඩා ගැනීම පිණිස භාරදීම හැර තමන්ට විකල්පයක් නොතිබුණ බව සෝමවතීට හැඟිණ
1px transparent line

ජනතා විමුක්ති පෙරමුණේ දෙවෙනි කැරැල්ල සමයේ සිය නැගෙණිය රැගෙන ගිය පුරුෂයා ද මෝටර් රථය තුළම පුළුස්සා මරා දමා තිබුණු බව ඉන්දික පවසයි.

"ඒ දවස්වල ඒක හැම මාධ්‍යයකම ගියා."

ඔහු පවසන්නේ, ගිනි ගෙන දැවී ගිය මෝටර් රථයේ ඡායාරූප දුටු විට එය එදා රාත්‍රියේ අම්මාත්, නැගෙණියත් රැගෙන ගිය මෝටර් රථය යයි තමන්ට වැටහුණ බවය.

නෙදර්ලන්තයේ හෝ ඔස්ට්‍රියාවේ දෙමාපියන් සිය නංගී දරුකමට හදාගත් බව විශ්වාස කරන ඉන්දික පවසන්නේ, අසනීපයෙන් පසුවන අම්මා නිලන්ති ගැන ආරංචියක් ලැබෙන තුරු දින ගණන් කරමින් සිටින බවය. එහෙත් නැගෙණිය ගේ එක් ඡායාරූපයක් හෝ ඔවුන් සතුව නැත.

"අම්මට දැන් අවුරුදු 63ක්. එයාගේ එකම බලාපොරොත්තුව මැරෙන්න කලින් නංගි දැකගන්න එක. ඒ නිසා මේක මම කරන්නේ අම්ම වෙනුවෙන්," යනුවෙන් ද 42 හැවිරිදි ඉන්දික වඩුගේ පැවසීය.

සිය දරුවන් විදේශික දෙමාපියන්ට භාර දීමට සිදු වූ බොහෝ අම්මලාගේ ප්‍රාර්ථනාව ද එයයි.

රණවීර ආරච්චිගේ යසවතී පවසන්නේ, සිය බිළිඳු දරුවා "විකිණීමට" තමන්ගේ කිසිදු අභිලාශයක් නොවූ බවය. අවිවාහක, තරුණ මවක ගැන සමාජයේ පවතින ආකල්ප හේතුවෙන් දරුවා හදාවඩා ගැනීම පිණිස දීමට තීරණය කළ බව ඇය පවසන්නීය.

"මට ඒ වේලාවේ ගන්න පුළුවන් හොඳම තීරණය මම ගත්තේ. ඒත් ඒක හරිම වේදනාකාරී දෙයක්," යසවතී පවසයි. "මම මගේ දරුවා ගැන හිතුවා. මම ඒ වේලාවේ දරුවා බලාගන්න පුළුවන් තත්ත්වයක හිටියේ නැහැ. ඒ වගේම සමාජයෙන් එල්ල වෙන්න පුළුවන් අභියෝග ගැනත් මම බයෙන් හිටියේ."

Yasawathi when she was a school girl

ඡායාරූප මූලාශ්‍රය, Handout

ඡායාරූප ශීර්ෂ වැකිය, පළාතේ පුරුෂයෙකු සමඟ පෙම් සබඳතාවක් අරඹන විට යසවතී පාසල් දැරියකි

ගතානුගතිකවාදී ශ්‍රී ලංකා සමාජය තුළ විවාහයෙන් තොර ලිංගික පහස පිළිබඳව පවතින්නේ පහත් ආකල්පයකි. එමෙන්ම ගබ්සාව නීතියෙන් තහනම්ය.

1983 දී පාසල් අධ්‍යාපනය හමාර කළ විටම පාහේ පාසලට යන අතරතුර හඳුනාගත් වැඩිමහල් පුරුෂයෙකු සමඟ ප්‍රේම සම්බන්ධයක් අරඹන විට යසවතී 17 වෙනි වියේ පසු වූවාය. සිය වැඩිමහල් සොයුරන් දෙදෙනා පෑ විරෝධය ද නොතකා ඇය ටික දිනෙකින් පෙම්වතාගේ නිවසේ පදිංචියට ගියේ "බලහත්කාරයෙන් වගේ," බවත් ඇය පවසන්නීය.

මුලදී ඔහු ඇයට හොඳින් සැලකූ නමුත් පසුව ඔහුගේ හැසිරීම වෙනස් වූ බව යසවතී පවසයි. පෙම්වතා සහ ඔහුගේ නැගෙණිය යසවතී විවේචනය කරන්නට සහ ඇයට දෝෂාරෝපණය කරන්නට වූහ. පසුව ඔහුට වෙනත් පෙම් සබඳතා පවතින බවත් යසවතීට දැනගැනීමට ලැබිණ.

"පස්සේ එයා මාව මගේ ගෙදර එක්කන් ආවා. ඇවිත් රෙදි වෙළෙඳාම් කරන්න යනවා කියලා මාව ගෙදර දාලා ගියා. ඊට පස්සේ ආවේම නැහැ. මම එයාව හෙව්වා, හෙව්වා හම්බවුනේම නැහැ. මම හරිම කලකිරීමකින්, වේදනාවකින් ජීවත්වුණා."

ඇය දෙමස් ගැබිණියක බව දැනගත් යසවතීගේ අක්කා සහ සොහොයුරෝ ඇය නිවසින් එලවා දැමූහ.

A photo of Jagath before his adoption

ඡායාරූප මූලාශ්‍රය, Handout

ඡායාරූප ශීර්ෂ වැකිය, 1984 දෙසැම්බර් 24 වෙනි දින ජගත් උපත ලැබුවේය
1px transparent line

"ඒ අතරේ ඒ පැත්තේ රෙජිස්ට්‍රාර් නෝනා කෙනෙක් හිටියා. මම එයාට ලියුමක් ලිව්වා මට විඳින්න වෙලා තියෙන දුක් කන්දරාව නිසා මම ජීවිතේ හානි කරගන්නවා කියලා. පස්සේ එයාගෙන් මට ලියුමක් ආවා, ඔයා තියන ඇඳුම් ටික අරගෙන මෙහෙ එන්න කියලා. මම එයාගේ කාර්යාලයේ මාස අටක් වගේ වැඩ කළා. මට දරුවෙක් ලැබෙන්න ඔන්න මෙන්න තියෙද්දි එයා කිව්වා අපි කාට හරි බබා හදාගන්න දෙමු කියල. එයා අඳුරන ඇටෙන්ඩන්ට් නෝනා කෙනෙක් ඉන්නවා රත්නපුර මහ රෝහලේ, එයා එක්ක කතා කරලා දරුවා කාට හරි දෙමු කිව්වා."

ඇයගේ පුතා, ජගත් රත්නායක, 1984 දෙසැම්බර් 24 වෙනි දින රත්නපුර මහ රෝහලේ දී උපත ලැබුවේය.

"සති දෙකක් විතර ඉඳලා මාව කොළඹ එක්කන් ආවා. එතන ළමා නිවාසයක් වගේ තැනක්. මට තැන හරියට මතක නැහැ. හැබැයි මම වගේ තව දෙතුන්, දෙනෙක් හිටියා," යසවතී පවසයි.

"එහේදි සුදු ජාතිකයෝ දෙන්නෙක් මගේ ළමය භාරගත්තා. හැබැයි මම දැනගෙන හිටියේ නැහැ එයාලා මොන රටේ අයද කියලා. මට රුපියල් 2000 (එවක ඩොලර් 85 ක් පමණ) එක්ක රෙදි පාර්සලයක් දුන්නා ගමේ යනකොට අරගෙන යන්න කියලා, එච්චරයි."

Yasawathie in front of her house
ඡායාරූප ශීර්ෂ වැකිය, "මගේ එකම ප්‍රාර්ථනය මැරෙන්න කලින් මගේ පුතා දැකගන්න එක"
1px transparent line

මාස කිහිපයකට පසුව, ඇම්ස්ටර්ඩෑම් නුවර සිටින යුවලකගෙන් ඇයට ලිපියක් ලැබිණ. ජගත් පුතාගේ ඡායාරූපයක් ද එහි විය.

"මම ඉංග්‍රීසි දන්නේ නෑ. දරුවා දුන්නු එකට මට ගොඩාක් ස්තුති කරලා, දරුවා හොඳින් ඉන්නවා කියල ඒ ලියුමේ කියල තිබුණ බව ඉංග්‍රීසි දන්න කෙනෙක් මට කිවුව. ඊට පස්සෙම මගේ ලමයා ගැන කිසිම ආරංචියක් නැහැ."

පසුව විවාහ වී ගොඩකවෙල වාසය කරන 56 හැවිරිදි යසවතී දැන් තවත් පුතෙකුගේ සහ දියණියන් දෙදෙනකුගේ මවකි.

"අදටත් මගේ ළමයා ගැන මතක් වෙලා දුක් වෙනවා. සුදු අම්මලා යනකොට එයාලා දැක්කම එයාලගෙන් මගේ පුතා කෝ කියලා අහන්න හිතුනු වාර අනන්තයි. මම හරි අසරණයි...," ඇගේ හඬ හැඬුම්බරය.

සිය පුතු සොයා ගැනීමට ලැබුණ ද සමාජයෙන් ගැරහුම් ලබන්නට සිදුවනු ඇති දැයි යසවතී ගේ සිතේ බියක් ද පවතී.

"මම කියන්නේ කාටවත් මේ වගේ දෙයක් සිද්ධවෙන්න එපා කියලා. මගේ එකම ප්‍රාර්ථනය මැරෙන්න කලින් මගේ පුතා දැකගන්න එක."

Kotahena
ඡායාරූප ශීර්ෂ වැකිය, සිය දෙමව්පියන් සමඟ කොටහේනේ "බේබි ෆාම්' මධ්‍යස්ථානයකට ගිය බව ඉන්දික වඩුගේට මතකය

80 දශකයේදී ශ්‍රී ලංකාවේ දරුවන් දහස් ගණනක් ව්‍යාජ ලෙසින් විකුණා ඇති බව, 2017 දී නෙදර්ලන්තයේ සෙම්බ්ලා වැඩසටහනට සහභාගි වෙමින් එවක සෞඛ්‍ය අමාත්‍යවරයා වූ රාජිත සේනාරත්නපැවසීය.

1980-90 කාල වකවානුවේ ශ්‍රී ලංකාවේ දරුවන් 11,000ක් පමණ යුරෝපයට අලෙවි කර ඇති බව විශ්වාස කෙරේ. ඒ අතරින් දරුවන් 4,000ක් පමණ හදා වඩා ගැනීම සඳහා ලබාදී තිබෙන්නේ නෙදර්ලන්තයටය. විශේෂයෙන්ම 1980 දශකයේදී සංවිධානාත්මක පිරිසක් ව්‍යාජ ලියකියවිලි නිර්මාණය කර දරුවන් අලෙවි කර තිබෙන බවත් ඕලන්ද මාධ්‍ය කණ්ඩායමක් කළ විමර්ශනයේ දී හෙළිවිය.

ඒ අතරින් ඇතැම් දරුවන් බටහිර රටවලට අලෙවි කර තිබෙන්නේ 'බේබි ෆාම්' නමින් හැඳින්වුණ ස්ථානවලිනි.

බලවත් සහ සමාජය තුළ බලපෑමක් කළ හැකි ඇතැම් පුද්ගලයන් අසරණ කාන්තාවන්ගේ ඉරණමෙන් ආර්ථික වාසි ලබාගත්තා විය හැකි බවට සිය පර්යේෂණවලදී ඉඟි පළ වූ බව වසර 15 ක් මුළුල්ලේ ඒ පිළිබඳව පර්යේෂණ පවත්වන මාධ්‍යවේදිනී තරිඳි ෆොන්සේකා පවසයි.

විදේශික දෙමාපියන් විසින් හදා ගනු ලැබූ දරුවන් 165 දෙනෙකුට පමණ යළි සිය මවුවරුන් මුණ ගැස්වීමට උපකාර කළ ඇන්ඩෲ සිල්වා පවසන්නේ, රෝහල් සේවකයන්, නීතිවේදීන් සහ පරිවාස හා ළමාරක්ෂක සේවකයින් ඇතුළු බොහෝ දෙනා එයින් ආර්ථික වාසි ලබාගෙන ඇති බවය.

සංචාරක කර්මාන්තයේ නිරතව සිටියදී මුණ ගැසුණු ඕලන්ද ජාතිකයෙකුගේ ඉල්ලීමක් පරිදි මුලින්ම නෙදර්ලන්තයේ වෙසෙන දරුවන්ට මවුවරුන් සොයා දීමට උපකාර කළ ඇන්ඩෲ සිල්වා වෙත දැන් නිරන්තරයෙන් මවුවරුන්ගෙන් ද ඉල්ලීම් ගලා එමින් පවතී.

"සමහර හොස්පිටල් ඇටෙන්ඩන්ට්ල දරුවෝ විකුණන්න සම්බන්ධයි කියල මට සමහර අම්මල කියල තියෙනව," ඔහු පැවසීය. "අහිංසක, තරුණ අම්මල හොයල 'උදවු කරන' විදියට තමා එයාල මේ වැඩේ කරල තියෙන්නේ."

"වැඩ බලන මහේස්ත්‍රාත් කෙනෙක් විදියට තමන්ගෙන් කෙනෙකුට ඇඩප්ෂන් ඕඩර් එක්ක දෙන්න පුළුවන් වෙන කල් සමහර නීතිඥයෝ වගේම අධිකරණ නිලධාරීන් දරුවෝ සමහර තැන්වල රඳවගෙන හිටිය කියලත් අම්මල කිවුව."

Andrew Silva with Sumithra

ඡායාරූප මූලාශ්‍රය, Andrew Silva

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇන්ඩෲ සිල්වා, සිය දියණිය සොයන මවක වන සුමිත්‍රා සමග

දරුවන් විකිණීමේ ජාවාරමකට ඇතැම් බලවත් පුද්ගලයන් සම්බන්ධ බවට නැගෙන චෝදනාව ඇතැම් මවුවරුන්ගේ කතා පුවත්වලින් ද හෙළිවිණ.

1981 දී සිය තුන් වෙනි දරුවා පිළිසිඳ ගත් අවස්ථාවේ, ඇය තමන්ට ඇති දැඩි කළ නොහැකි බව වටහාගත් කාරියප්පෙරුම අතුකෝරාළ දොන් සුමිත්‍රා සහ ඇයගේ ස්වාමි පුරුෂයා අගනුවර පාස්ටර්වරයෙකුගේ පිහිට පැතූහ.

නොවැම්බර් මාසයේ උපත ලැබූ දියණිය හදාවඩා ගැනීම පිණිස භාරදීම සංවිධානය කළ ඔහු තමන්ට රුපියල් 50,000 ක (එවක ඩොලර් 2600 ක් පමණ) මුදලක් දුන් බව ඇය පවසන්නීය. එහෙත් ඔවුන්ට කිසිදු ලියවිල්ලක් නොලැබිණ.

"මගේ ළමයා දරුකමට දෙන්න හේතු වුණේ ඒ දවස්වල අපිට තිබ්බ දුප්පත්කමයි ඉන්න හරි හැටි තැනක් නැති එක නිසයි. මමයි මගේ මහත්තයයි කතාවෙලා තමයි දරුවා දෙන්න තීරණය කළේ," ඇය පවසන්නීය.

"ඊට පස්සෙ මම ළමයා ගැන එයාලගෙන් ඇහුවාම කිව්වා බය වෙන්න එපා ඔයාලගේ ළමයා හොදින් ඉන්නවා කියලා. ඒත් මම දරුවා ගැන කිසි දෙයක් දන්නේ නෑ."

ඉන් අනතුරුව ද පුතෙකු ප්‍රසූත කළ නමුත් 65 හැවිරිදි සුමිත්‍රාට සිය දියණිය ගැන මතකය මකා දැමිය නොහැකිය.

එහෙත් දැන් කඩුවෙල වෙසෙන ඇය පවසන්නේ, තමන් දැන් පාස්ටර්වරයා ඉන්නා තැනක් හෝ නොදන්නා බවය. දියණියගේ ඡායාරූප ද ගංවතුරකින් බොඳ වී ගොසිනි.

"මගේ දෙවැනි දුව කියනවා අම්මේ අපි ඒ පාස්ටර් හොයාගෙන යමු ගිහින් අපේ නංගි හොයාගමු කියලා. මගේ එකම බලාපොරොත්තුව මගේ ඒ දුව හොයාගන්න එක."

සුමිත්‍රා ඇතුළු මවුවරුන් බොහෝ දෙනකුට දරුවන් සොයා දීමට ඇන්ඩෲ සිල්වා උත්සහ දරමින් සිටී. මේ මවුවරුන්ට ව්‍යාජ ලේඛන ලබා දී තිබීම හේතුවෙන් බොහෝවිට සිය උත්සාහය අසාර්ථක වන බව ඔහු පවසයි.

සිය අම්මාවරුන් සොයා ගැනීම හදාවඩා ගනු ලැබූ දරුවන්ට ද ඉතා දුෂ්කර කාර්යයකි. ඇතැම්විට එසේ සොයා ගනු ලැබුව ද, ප්‍රතිඵලය ඉතා වේදනාකාරී ද විය හැකිය.

Nimal Samantha (R) with his twin brother, Djoeri Sanjeewa, and their adopted mother

ඡායාරූප මූලාශ්‍රය, Handout

ඡායාරූප ශීර්ෂ වැකිය, නිමල් සමන්ත (දකුණේ) සිය නිවුන් සොහොයුරු ජූරි සංජීව සහ ඔහු හදාගත් මව සමඟ

1984 දී සති හයක ළදරුවෙකු සමයේ නිවුන් සොයුරු ජූරි සංජීව ද සමඟ හදා වඩා ගැනීම පිණිස නෙදර්ලන්ත යුවලකට භාර කෙරුණු නිමල් සමන්ත ෆොන් ඕත් මුලින්ම ශ්‍රී ලංකාවට පැමිණියේ 2001 දීය. ඒ අවස්ථාවේ මුණ ගැසුණ පුද්ගලයෙකුගෙන් කරන ලද ඉල්ලීමකින් අනතුරුව 2003 දී එම පුද්ගලයා නිමල් සමන්තට දුරකතන ඇමතුමක් දුන්නේ, ඔහුගේ පවුල සොයාගත් බව දැනුම් දීම පිණිසය.

එහෙත් එය සතුටුදායක ආරංචියක් නොවීය.

ඔවුන්ගේ මව 1986 දී මෙලොව හැරගොස් තිබුණේ 21 හැවිරිදි වියේදීය. ඒ, තවත් දියණියක ප්‍රසූත කිරීමෙන් මාස තුනකට පසුවය.

"එදා තමයි මගේ ජීවිතේ අඳුරුම දවස," නිමල් සමන්ත මා සමඟ පැවසීය. "මට හැමදාම ඕන වෙලා තිබුණ මගේ අම්ම හොඳින් ඉන්නවද කියල දැනගන්න, ඒ වගේම ඇයි මාව හදාගන්න දුන්නේ කියල දැනගන්න. මොකද එයා තමයි මට මගේ ජීවිතේ දුන්න කෙනා."

"වැදගත්ම දේ වුනේ අම්ම හොඳින් ඉන්නවද කියල දැනගන්න එක."

නිමල් සමන්ත පාසල් වියේ දී

ඡායාරූප මූලාශ්‍රය, Handout

ඡායාරූප ශීර්ෂ වැකිය, සිය මව මෙලොව හැරගොස් ඇති බව හෙළි වූ දිනය "මගේ ජීවිතයේ අඳුරුම දිනය" බව නිමල් සමන්ත පවසයි

නෙදර්ලන්තවාසීන් විසින් හදා වඩා ගන්නා ලද ශ්‍රී ලාංකික පිරිසක් සමඟ එක්ව නිමල් සමන්ත පසුව නෝනා පදනම (Nona Foundation) නමින් පුණ්‍යායතනයක් ආරම්භ කළේ අම්මාගේ මතකය වෙනුවෙනි. සිය පුණ්‍යායතනය මේ වනවිට, ලිංගික අතවරවලට සහ විවිධ හිරිහැරවලට ලක්වූ දැරියන් 1600 කට පමණ ස්වෝත්සාහයෙන් නැගී සිටීම පිණිස උපකාර කර තිබෙන බව ඔහු පවසයි.

වසර ගණනාවක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ දැරියන් උදෙසා කළ මෙහෙය වෙනුවෙන් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ නෙදර්ලන්ත රජතුමා විසින් ඔහු නයිට් නම්බු නාමයකින් පුදනු ලැබීය.

නිමල් සමන්ත එසේ නෙදර්ලන්තයේ දී නයිට් පදවියකින් පිදුම් ලැබූ ශ්‍රී ලාංකික සම්භවයකින් යුත් පළමු පුද්ගලයා ද විය හැකිය.

"ඇත්තටම මම පුදුම වුණා. ඒත් ලොකු ගෞරවයක්. ඒ වගේම මගේ මෙහෙයට ලැබුණ කදිම පිළිගැනීමක්," ඔහු පැවසීය.

විදේශික දරුවන් හදා වඩා ගැනීම තහනම් කිරීමේ නෙදර්ලන්ත ආණ්ඩුවේ තීරණය "හොඳම විසඳුම නොවන," බව ඔහුගේ අදහසය.

එහෙත්, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, බ්‍රසීලය, කොලොම්බියාව සහ ඉන්දුනීසියාව යන රටවලින් 1967 සිට 1997 යන කාලය තුළ හදාවඩා ගැනීමට දරුවන් ලබාගැනීම කෙරෙහි අවධානය යොමු කළ නිල පරීක්ෂණයෙන් අනතුරුව, සිය රටේ දරුවන් හදාවඩා ගැනීමේ ක්‍රමවේදය තවමත් වංචා වැළැක්වීම සඳහා ප්‍රමාණවත් නොමැති බවට බලධාරීන් අනතුරු අඟවා තිබිණ.

Nimal Samantha Van Oort was awared the Knight of the Order of Orange-Nassau during the NONA Foundation's 15th anniversary celebration held in the Netherlands

ඡායාරූප මූලාශ්‍රය, Nona Foundation

ඡායාරූප ශීර්ෂ වැකිය, නිමල් සමන්ත නයිට් පදවියෙන් පුදනු ලැබුවේ නෝනා පදනමේ 15 වෙනි සංවත්සර උත්සවයේදී ය

ව්‍යාජ ලිපිලේඛන සහ රහසිගතභාවය හේතුවෙන් හදාවඩා ගනු ලැබූ දරුවන් සහ මවුවරුන් එකතු කිරීම බොහෝවිට ඉතා අපහසු වුවත්, ඇතැම් දරුවෝ සිය දෙමාපියන් සොයා ගැනීමට වාසනාවන්ත වූහ.

සනුල් විල්මර් 1984 පෙබරවාරි 27 වෙනි දින කොළඹ දී උපත ලැබුවේය. ඔහුට යාන්තමින් සති දහයක් සපිරෙන විට ඔහු නීත්‍යානුකූලව හදාවඩා ගැනීමට භාර දී තිබුණි. එතෙක් ඔහු සිය මව ද සමඟ දෙහිවල අනාථ නිවසක රැඳී සිටියේය.

"මම හදාවඩා ගත්ත දරුවෙක් කියල පොඩි කාලේ ඉඳලම මම දැනගෙන හිටිය. ඉතින් මගේ ඇත්ත අම්ම, තාත්ත දකින්න මට හැමදාම ඕනකම තිබුණා," ඔහු පවසයි.

නෙදර්ලන්ත සහ ඉංග්‍රීසි භාෂා හොඳින් හසුරුවන සනුල් මා සමඟ සිංහලෙන් ද අදහස් දක්වයි.

"මට හැමදාම මගේ අනන්‍යතාව ගැන මේ අර්බුදය තිබුණ. මම කවුද? මම පෙනුමෙන් ශ්‍රී ලාංකිකයෙක් නමුත් මම හැදුණේ නෙදර්ලන්තේ. ඒ නිසා මගේ මුල ගැන මට හැමදාම කුතුහලයක් තිබුණා."

සිය අම්මා සොයා දෙන මෙන් ඉල්ලා නෙදර්ලන්තයේ දරුවන් හදාවඩා ගැනීම සම්බන්ධයෙන් කටයුතු කරන ඒජන්සියකට සනුල් මුලින්ම ලිපියක් ලිවුවේ අට හැවිරිදි වියේදීය. ඔහුගේ මව සොයාගත් බව දන්වමින් ඒජන්සියෙන් ඔහුට ලිපියක් ලැබුණේ 15 හැවිදිරි වියේදීය. ඉන් වසරකට පසුව ඔවුහු එකිනෙකා මුණගැසුණහ.

"මට නංගි කෙනෙකුයි, මල්ලි කෙනෙකුයි ඉන්නවා කියලත් මගේ තාත්ත තවමත් අම්ම එක්ක කියලත් මට දැනගන්න ලැබුණ. ඉතින් අපි සේරම හොරණ අපේ ගෙදර ගියා. ඒක හරිම සතුටු,ඒ වගේම දුක හිතුන දවසක්."

"අම්ම දැක්ක එක හරිම සතුටුයි. ඒත් මට සිංහල බැරි නිසා එයාල එක්ක කතා කරගන්න බැරිවුන එක ගැන ගොඩක් දුක හිතුණා," සනුල් පවසයි. "ඒ වගේම එයාලගේ ජීවිතෙයි මගේ ජීවිතෙයි කොයිතරම් වෙනස් ද කියල දැකල මට දුක හිතුණ."

ඇම්ස්ටර්ඩෑම් අගනුවර රෝහලක වෛද්‍යවරයෙකු වන සනූල් විල්මර් දැන් තමන් වැනි හදාවඩා ගත් ශ්‍රී ලාංකිකයන්ට සිංහල ගුරුවරයෙකි.

තමන් හදාවඩා ගැනීම පිණිස භාර දුන්නේ මන්දැයි අම්මා තමන්ට විස්තර කළ බව කියා සිටි ඔහු පවසන්නේ, එය හෙළිකර අම්මාගේ සිත රිදීමට අකමැති බවය. ඔහුගේ සිතේ අම්මා ගැන කිසිදු අමනාපයක් නැත. 2019 නෙදර්ලන්තයේ දී පැවති ඔහුගේ විවාහයට සනුල් ගේ අම්මා සහ මල්ලී සහභාගි වූ අතර, ඔහු නිරන්තරයෙන් ශ්‍රී ලංකාවේ සංචාරය කරයි.

"මට නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්න බව දැනගන්න ලැබුණ නිසා ඇත්තටම මම සතුටෙන්."

Sanul with the birth mother at his wedding

ඡායාරූප මූලාශ්‍රය, Handout

ඡායාරූප ශීර්ෂ වැකිය, අම්මා හමුවීම ප්‍රබල සතුටක් බව සනුල් පවසයි. සිය පුතුගේ විවාහයට සහභාගිවීම පිණිස ඔහුගේ අම්මා නෙදර්ලන්තයට පැමිණියාය

දරුවන් හදාවඩා ගැනීමේ දී සිදු වූ වංචා ගැන බලධාරීන් කලක් මුළුල්ලේ දැන සිටි නමුත් ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමට අපොහොසත් වී ඇති බව නෙදර්ලන්ත ආණ්ඩුව පසුගිය පෙබරවාරි මාසයේ හෙළි කළේය. අනාගත ආණ්ඩුවක් විසින් ඒ සම්බන්ධ අනාගත පියවර තීරණය කරනු ඇති බවත් ආණ්ඩුව පැවසීය.

80 දශකයේදී ශ්‍රී ලංකාවේ නීති විරෝධී දරුවන් හදා වඩා ගැනීමට පැවරීමේ ජාවාරමක් "සංචාරක ක්ෂේත්‍රයත් එක්ක මිශ්‍ර වෙලා සිදු වී තිබෙන," බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බීබීසී යට පැවසීය.

"දැන් තත්ත්වය ඒතරම් නරක නෑ නමුත් සිදු නොවෙනවා මයි කියල මම කියන්නෙත් නෑ," යනුවෙන් ද සඳහන් කළ ඔහු, ළමා කටයුතු සම්බන්ධයෙන් කැබිනට් ඇමතිවරයෙකු නොමැති බැවින් නෙදර්ලන්ත ආණ්ඩුවේ තීරණය පිළිබඳව කැබිනට් මණ්ඩලයේ අවධානයට යොමුකරන බව ද කියා සිටියේය.

සංස්කරණය: ලෝරන් පොට්ස්