ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොරෝනාවෛරසය: සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පුවත් මවන්නියක වූයේ කෙසේද?
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි නැවතත් සමාජයේ කතාබහට ලක්වීමට පටන් ගත්තේ කොරෝනා වෛරසය ආසාදිතව කොළඹ බෝවන රෝග නිවාරණ රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළත් කිරීමත් සමඟය.
මුලින් ඇයව රඳවා තබන ලද හික්කඩුව නිරෝධායන මධ්‍යස්ථානයේ සිට, හුස්ම ගැනීමේ අපහසුතා (wheezing) හේතුවෙන් හදිසියේම ගුවන් මගින් කොළඹ කොතලාවල ආරක්ෂක පිඨයේ රෝහල වෙත රැගෙන විත් තිබිණි.
ඉන් අනතුරුව කොළඹ බෝවන රෝග නිවාරණ රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත ඇමතිවරිය ඇතුළත් කරනු ලැබුවේ, කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු ඇය සුව අතට හැරෙමින් සිටින බවට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කරනු ලැබ පැය කිහිපයක් ඉක්ම යද්දී ය.
මෑතකදී වඩාත්ම කතාබහට ලක්වූ අමාත්‍යවරිය බවට පවිත්‍රා වන්නිආරච්චි පත්වූයේ කොරෝනා රෝගය වැළඳීම නිසාම පමණක් නොවේ. පසුගිය දිනවල ඇය විසින් කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශ හා ක්‍රියා නිසාවෙනි.
ඉන් සමහර දේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල ප්‍රතිචාර පළවූ අතර කාටූන් ද නිර්මාණය විණි.
කොරෝනා වයිරසයට එරෙහිව කෑගල්ලේ ධම්මික බණ්ඩාර නම් තැනැත්තා නිෂ්පාදනය කළ බව කියන 'පැණිය' සියලුම මාධ්‍ය ඉදිරියේදී දෙසැම්බර් දෙවෙනිදා සෞඛ්‍ය ඇමැතිවරිය විසින් පානය කරනු ලැබීම ද මහත් කතා බහකට ලක්විය. ආසාදිතයන්ට 'පැණිය' ලබාදීමේ ක්‍රමවේදය සැකසීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවැත්වීමෙන් අනතුරුව, එම පානය විමර්ශනය කර යෝජනා මාලාවක් සකස් කිරීම සඳහා විද්වත් කමිටුවක් ද ඇය විසින් පත් කරනු ලැබුවාය.
මහාචාර්ය සේනක පිලපිටිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවට, විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයවික්‍රම, මහාචාර්ය සිසිර සිරිවර්ධන, මහාචාර්ය සරෝජ් ජයසිංහ, මහාචාර්ය ලේකම්වසම්, මහාචාර්ය ජනක ද සිල්වා, මහාචාර්ය සෑම් කුලරත්න සහ මහාචාර්ය කමනි වනිගසූරිය ද ඇතුළත් වූහ.
විද්‍යාත්මක සාධක පදනම් කරගත් එන්නත්කරණය සහ "දේව බැල්මකට අනුව සකස් කළා" යැයි පැවසෙන 'පැණිය' සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් ගන්නා ලද දෙයාකාරයේ ප්‍රවේශය පසුගිය දිනවල විවේචනයට ද ලක්විය.
සෞඛ්‍ය අමාත්‍යවරිය මීට පෙර ද අවධානයට යොමුවූයේ, කොරෝනා වෛරසය දෙවන වර ව්‍යාප්තිය බ්‍රැන්ඩික්ස් පොකුරින් ඇරඹීමත් සමඟම ය. වෛරසය පැතිරීම පාලනය කිරීමට හැකිවේවායි පතමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු අමාත්‍යවරුන් කිහිප දෙනෙක් දිවයිනේ ගංගා කිහිපයකට ජලය පිරවූ කල අතහැරීම සමාජ මධ්‍ය ඔස්සේ පුළුල් අවධානයකට ලක්විණි.
"මෑතකදී මා සහභාගී වූ ආගමික චාරිත්‍රය පිළිබඳව විපක්ෂය ෆේස්බුක් හි විවිධ අදහස් ප්‍රකාශ කර තිබුණා. මේ රට අධ්‍යාත්මික බලයෙන් ආශීර්වාද ලත් බව පෙන්වා දීමට මම කැමැතියි. සෞඛ්‍ය අමාත්‍යවරයකු වශයෙන් මම මහන්සි වී වැඩ කරන අතර තාක්ෂණික සාධක මත පදනම්ව COVID-19 වසංගතය පාලනය කිරීමට හැකි සෑම පියවරක්ම ගනිමින් සිටිනවා" යැයි ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි පසුගියදා පාර්ලිමේන්තුව අමතමින් පැවසීය. ඇය එම ප්‍රකාශය කරනු ලැබුවේ, තමන් විසින්ම වෛද්‍යවරයෙකු ලෙස හදුන්වාදෙන ඊලියන්ත වයිට් නම් පුද්ගලයාගේ උපදෙස් මත මැතුරූ ජලය ඇතුළත් මුට්ටි ගංගාවලට විසිකිරීම සම්බන්ධයෙන් ආන්දෝලනක් මතුවූ අවස්ථාවේ දීය.
එහිදී ඇය වැඩිදුරටත් කියා සිටියේ, "සමහර ආගමික උත්සවවලට සහභාගි වන ලෙස ආගමික කණ්ඩායම් කිහිපයක් මගෙන් ඉල්ලා සිටියා. හැකි සෑම අවස්ථාවකදීම මම එවැනි චාරිත්‍ර හා උත්සවවලට සහභාගි වෙනවා. COVID-19 පාලනය කර ගැනීම සඳහා පවිත්‍රා වන්නියාරච්චි මුහුදට පැන සිය ජීවිතය පුජා කළ යුතු යැයි සමහරු පවසා තිබුණා. වසංගතය ඒ ආකාරයෙන් පාලනය කළ හැකි නම් මම එය කිරීමට කැමැත්තෙන් සිටින බව ප්‍රකාශ කිරීමට කැමැතියි," යනුවෙනි.
කොරෝනා වෛරසය ආසාදනයෙන් මියයන පුද්ගලයින්ගේ දේහ ආදාහනය කළ යුතු බවට, සෞඛ්‍ය අමාත්‍යාංශය පත්කළ කමිටුව නිර්දේශ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ජනවාරි 7 වෙනිදා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"එම පැහැදිලි නිර්දේශය අප ක්‍රියාත්මක කරනවා වගේම මෙවැනි භයානක වසංගතයකට මුහුණ දීමේදී එවැනි විශේෂඥ නිර්දේශයන් සමාජීය, ආගමික,දේශපාලනමය හෝ වෙනත් කිසිම පෞද්ගලික හේතුවක් නිසාවෙන් වෙනස් නොකරන බවත් කාරුණිකව සඳහන් කරමි," යනුවෙන් අමාත්‍යවරිය පාර්ලිමේන්තුව හමුවේ පැවසුවේ ජී ජී පොන්නම්බලම් මන්ත්‍රීවරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.
නමුත් පොන්නම්බලම් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පත් කරන ලද නවතම කමිටුවකින් ආදාහනය මෙන්ම භූමදානය යන දෙයාකාරය ම නිර්දේශ කර ඇති අතර භූමදානය කිරීම තුළින් කොරෝනා රෝගය බෝ නොවන බවට ද කමිටුව සඳහන් කර ඇති බවය.
කොරෝනා වෛරසයේ සමාජ ව්‍යාප්තියක් නොමැති බවට සැප්තැම්බර් මාසයේදී ඇය ප්‍රකාශ ප්‍රකාශය ද මහත් ආන්දෝලනයකට තුඩු දුණි.
මේ අනුව, ශ්‍රී ලංකාවෙන් හමුවූ පළමු කොරෝනා රෝගියා වූ චීන කාන්තාව පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී සුවය ලැබීමෙන් අනතුරුව රෝහලෙන් පිටව යන අවස්ථාවේදී ඇයව සිප වැළඳ ගැනීමේ සිට සෞඛ්‍ය ඇමතිනිය විවිධ අවස්ථාවල පුවත් මවන්නට වූවාය.