ශ්‍රී ලංකාවේ මුස්ලිම් ආදාහන: "අම්මටයි, තාත්තටයි කොරෝනා නැත්නම් බබාට කෝවිඩ් හැදුණේ කොහොමද?"

කොරෝනාවෛරසය ආසාදිත වූ බව පැවසෙන දින විස්සක් වයසැති බිළිඳෙකු බලහත්කාරයෙන් ආදාහනය කිරීම පසුගිය සතියේ ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ඇතැම් විදේශ රටවල ද ආන්දෝලනයකට තුඩු දුන්නේය. කම්පාවට පත් ඇතැමුන් බොරැල්ල කනත්ත ඉදිරිපස සුදු ලේන්සු බැඳ සිය විරෝධය ප්‍රකාශ කළ අතර, එයට එරෙහිව බ්‍රිතාන්‍යයේ ද උද්ඝෝෂණ දියත්විය. සිය ඥාතීන් පුළුස්සා නොදමන මෙන් මුස්ලිම් ජනතාව දිගින් දිගටම ඉල්ලීම් කරන නමුත්, කොරෝනාවෛරසය ආසාදිත වීමෙන් මිය යන සියලු දෙනා ආදාහනය කිරීමේ ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකා ආණ්ඩුව අනුගමනය කරයි. බීබීසී සිංහල සේවයේ සරෝජ් පතිරණ ගෙන එන විමසුමකි, මේ.

සිය දෙවෙනි දරුවා පිළිසිඳ ගෙන ඇති බව වැටහුණ මොහොතේ මොහමඩ් ෆාහිම් සහ ෆාතිමා ශෆ්නා ප්‍රීතියෙන් පිනා ගියහ.

ඒ, සිය දියණිය මෙලොවට බිහිවීමෙන් අනතුරුව වසර හයක් මුළුල්ලේ පැතූ බලාපොරොත්තුව ඉටුවන බව සනාථ වූ හෙයිනි.

එහෙත් ෆාතිමා පුතෙකු ප්‍රසූත කිරීමෙන් සති දෙකකට පමණ පසුව බිළිඳා අසනීප ගතියකින් පෙළෙන්නට විය.

ඔවුන් දෙදෙනා වහාම සිය බිළිඳු පුතා, ෂයික්, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ගෙන ගියහ.

"පොඩ්ඩක් සෙම තිබුන බබාට, උණ තිබුණේ නෑ. ඉතින් අපි 7 වෙනිදා රෑ 10.30ට විතර බබා හොස්පිටල් ගෙනිච්චා," මොහමඩ් ෆාහිම් විස්තර කරයි.

38 හැවිරිදි ඔහු ත්‍රී රෝද රථ කුලියට ගෙන මගීන් ප්‍රවාහනය කරන්නෙකි.

"ගෙනිච්ච වෙලාවෙම දොස්තරවරු බබාව බැලුව. බලල treatment දුන්න. බබාට අමාරු වගේ, අපි ට්‍රයි කරනවා, බබාට නිව්මෝනියා තියෙනව කියල දොස්තරවරු කීව."

ෂයික් (Shaykh) පුතුට වහාම ප්‍රතිකාර ලබා දී ඔහු සුවපත් කිරීමට වෛද්‍යවරුන් උපරිම වෙහෙසක් දැරූ බව පියා කෘතවේදීව සිහිපත් කරයි.

"රෑ 1230 ට විතර බබාට කොරෝනා චෙක් කළා. ඇන්ටිජන් කියල ටෙස්ට් එකක්. කරලා ඒ වෙලාවෙම රිපෝට් අරගෙන ළමයට කොරෝනා පොසිටිව් වෙලා කීව."

ඉන් අනතුරුව මව සහ පියාටද ඇන්ටිජන් පරීක්ෂණ පවත්වා තිබේ.

"අම්ම බැලුව. නෙගටිව්. ඒ වෙලාවෙම මමත් බැලුව. මටත් නෙගටිව්."

ෆාහිම් පවසන්නේ, අගනුවර පුරා කෝවිඩ් රෝගය පැතිරයාම හේතුවෙන් දින ගණනාවක් ජීවිකාව සඳහාවත් නිවසින් බැහැර නොගිය බවය.

"මම හිතුවා අපි දෙන්නටම නෙගටිව් නම් කෝමද බබාට පොසිටිව් වෙන්නේ? අපි කොහෙවත් ගියේ නෑ ගෙදරම තමා හිටියේ."

කෙසේ වුවත් බිළිඳාට කෝවිඩ් ආසාදිත වී ඇති බැවින් පුතු රෝහලේ නවතා ඔවුන් දෙදෙනා නිවසට යා යුතු බව වෛද්‍යවරුන්ගේ උපදෙස විය.

"අම්ම අඬ අඬ වැඳලා කීව බබා එක්ක රෑ ඉන්න අවසර දෙන්න කියල. ඒත් එයාට ඉස්පිරිතාලේ ඉන්න එපා කීව. ගෙදර ගිහින් එලියටවත් බහින්න එපා කීව."

පසුදින (දෙසැම්බර් 08) දහවල් 0130 ට පමණ දුරකථන ඇමතුමක් දුන් විට රෝහල් බලධාරීන් පවසා තිබෙන්නේ බිළිඳාට "තව ටෙස්ට් එකක්" කළ යුතු බවය.

"හවස 5 ට විතර කෝල් කළාම තමා කීවේ හවස හතරට විතර බබා නැතිවුණා කියල. හැබැයි ඒ වෙනකල් අපිට ඒක කිවුවේ නෑ."

කියවන්න:

'මිනිස්සු මෙච්චර අකාරුණික ඇයි'

පියා පවසන්නේ, සිය බිළිඳු පුතු ආදාහනය සඳහා අනුමැතිය දීම තමන් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව සිය අවසරයකින් තොරව රෝහල් බලධාරීන් ඊට පසුදින දේහය ආදාහනය කළ බවය.

"බබා කනත්ත ඇතුළේ පුච්චනකොට, මම එළියේ හිටගෙන හිටියා."

"මම කොහොමද මගේ දරුවා පුච්චනවා බලාගෙන ඉන්නේ මහත්තයා?"

මෙය, "කෝවිඩ් 19 නිසා මෙතෙක් අසන්නට ලැබුන සංවේදීම කතාව" බව, ඒ ගැන සටහනක් තබමින් මාධ්‍යවේදිනී රේඛා නිලුක්ෂි හේරත් පවසා තිබුණි.

"මෙය පියෙකුගේ මහා වේදනාවකි. ලෝකය මෙච්චර අසාධාරණ ඇයි? මිනිස්සු මෙච්චර අකාරුණික ඇයි?," රේඛා නිලුක්ෂි හේරත් ප්‍රශ්න කරයි.

දෙස්, විදෙස් දෝෂ දර්ශනයට

රෝහල් බලධාරීන්ගේ ක්‍රියාව වාර්තාවීමත් සමඟ එයට එරෙහිව දෙස්, විදෙස් විරෝධතා දියත් වන්නට විය.

නියෝජ්‍ය ඇමතිවරයෙකු ඇතුළු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු ද ඒ අතර සිටියහ.

කොරෝනාවෛරසය ආසාදිතව මියගිය මුස්ලිම් ජනතාව ආදාහනය කිරීමේ 'කුරිරු' (draconian) නීතිය වෙනස් කරන්නැයි ශ්‍රී ලංකා ආණ්ඩුවට බලපෑම් කරන මෙන් ඒ මන්ත්‍රීවරුන් සියලු දෙනා බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියහ.

මේ අතර ආණ්ඩුවේ ක්‍රියාදාමයට එරෙහිව බොරැල්ල කනත්තේ සුදු රිබන් පටි ගැට ගැසීමේ සාමකාමී උද්ඝෝෂණ ව්‍යාපාරයක් ද දියත්ව තිබුණි.

ආචාර්ය සුජාතා ගමගේ ද, එසේ සුදු ලේන්සු ගැට ගැසීමේ ව්‍යාපාරයට සම්බන්ධව සිටියාය.

බොරැල්ල කනත්ත අභියස දී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ඇය, "මේ දුෂ්කර කෝවිඩ් සමයේ අපි ප්‍රවේසම් වෙන්න ඕන. නමුත් ඒ වගේම අපි කාරුණික වෙන්න ඕන," යනුවෙන් කියා සිටියාය.

"අපේ සමාජයේ කොටසක් කියනවා නම් ආදාහනය කිරීම අපේ මූලිකම විශ්වාසවලට පටහැනියි කියල අපි අහන්න ඕන ප්‍රශ්නය 'අපි කොහොමද භූමදාන කිරීම ඉතාම ප්‍රවේශමෙන් කරන්නේ' කියන එක," ආචාර්ය සුජාතා ගමගේ කියා සිටියාය.

දෙසැම්බර් 13 වෙනි දින විශාල පිරිසක් එසේ සුදු රෙදිකඩ ගැට ගසා තිබුණු නමුත් සඳුදා (දෙසැම්බර් 14) ඒ සියල්ල අතුරුදහන් වී තිබුණි. කෙසේ වුවත්, මඩකලපුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මවුලානා පවසන පරිදි රට පුරා බොහෝ ප්‍රදේශවල ජනතාව සිය නිවාස ඉදිරිපස සුදු ලේන්සු ගැට ගසා තිබෙනු දක්නට ලැබිණ.

'දේහය භාරගන්න දෙමාපියන් ආවේ නෑ'

මේ අතර රෝහල් බලධාරීන් කරන ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝ පටයක් ද සහිත ට්විටර් පණිවුඩයක් නිකුත් කරන මාධ්‍යවේදී වජිර සුමේධ පවසන්නේ "සත්‍යය නම් දෙමාපියන් දේහය භාරගැනීම ප්‍රතික්ෂේප කළ බවය," යනුවෙනි.

එහෙත් බිළිඳාගේ පියා මොහමඩ් ෆාහිම් මා සමඟ කීවේ රෝහල් බලධාරීන් දැන් ව්‍යාජ ප්‍රකාශ නිකුත් කරන බවය.

"මම ඉස්පිරිතාලෙට ගියාම අත්සනක් දෙන්න කීව. මම කීව අත්සන මොකටද බබාව දෙනවනේ කියල," ඔහු විස්තර කළේය.

"බබාව දෙන්න බෑ බබාට කොරෝනා නේ ඒ නිසා පුච්චන්න වෙනව කියල ඒ වෙලාවේ දොස්තරවරු මට කීව."

"මම කීව අම්ම බබාව දැක්කෙත් නෑ බබාට කොරෝනා නෑ නේ කියල. රිපෝට් එකක් ඉල්ලුවම ඒක දෙන්නත් බෑ කීව."

පියා පවසන්නේ, අවසානයේ පුතුට පීසීආර් පරීක්ෂණයක් කිරීම පිණිස තමන් නවලෝක රෝහලට පවා ගිය නමුත් වෙනත් රෝහලකට පැමිණිය නොහැකි බව එහි වෛද්‍යවරුන් දැනුම් දුන් බවය.

"දොස්තරවරු දිගටම කීව අත්සන දෙන්න කියල. මම කීව බබා දෙනවා නම් විතරයි අත්සන දෙන්නේ කියල. කවුරු අත්සන් කළා ද දන්නේ නෑ මම නම් අත්සන් කළේ නෑ."

"මම ඇහුවා මරණ 214ක් විතර ඉස්පිරිතාලේ තියනවා එහෙම තියෙද්දී බබාව විතරක් පුච්ච්න්නේ ඇයි කියල. එයාල හරි උත්තරයක් දුන්නේ නෑ."

මේ පිළිබඳව බීබීසී සිංහල සේවය විමසීමක් කළ අවස්ථාවේ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ, "මම දන්නවා, ඔතන බැලූ බැල්මටම තිරිසන් ක්‍රියාවක් වගේ පේන්නේ ... පැහැදිලිවම තාත්තගේ හිතේ වේදනාවක් තියෙනවා ... ඒත් දොස්තර කියනවා භාරගන්න බෑ කීව කියල," යනුවෙනි.

"සිද්ධ වුනේ මොකක්ද කියල අපි සොයා බලන්න ඕනේ. යම්කිසි inquiry එකක් තියන්න ඕනේ. රෝහලක් කීවම ඔතන ව්‍යුහයක් තියෙනව නේද? මේ හැමදෙනාම එකතුවෙලා දෙයක් හංගන්න පුලුවන්ද," යනුවෙන් අමාත්‍යවරයා ප්‍රශ්න කළේය.

මුස්ලිම් සිරුරු ආදාහනය

ඥාතීන්ගේ විරෝධය නොතකා මේ වනවිට මුස්ලිම් ජාතිකයන් 107 දෙනෙකුගේවත් සිරුරු ආදාහනය කොට තිබෙන බව මුස්ලිම් ප්‍රජා නායකයෝ පවසති. දෙසැම්බර් 15 වෙනි දින වනවිට ශ්‍රී ලංකාව තුළ කෝවිඩ්19 රෝගය වැළඳී මියගොස් ඇති සමස්ත සංඛ්‍යාව 154 කි.

මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ආදාහනය කිරීම ගැන අදහස් දක්වන Sunday Observer පුවත්පතේ හිටපු කතුවරිය දරීෂා බැස්ටියන්ස් පවසන්නේ, මරණින් පසු දෙවියන් වහන්සේ මුණගැසුණු විට ඔවුන් මරණයෙන් නැගිටින්නේ යයි ඉස්ලාම් බැතිමතුන් විශ්වාස කරන බවය.

එබැවින් සිය පවුලේ සාමාජිකයකුගේ දේහය ආදාහනය කිරීම යනු ඉස්ලාම් භක්තිකයන් සලකන්නේ ඔහු/ඇය නිරයේ දැවීමක් ලෙසින් බව ද දැනට විදේශගතව සිටින මාධ්‍යවේදිනී දරීෂා බැස්ටියන්ස් පෙන්වා දී තිබිණ.

මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට ප්‍රකාශයක් කරන නීතිවේදිනී සොරායා ඩීන්, අනෙකාගේ වේදනාව සහ පීඩාව ඉවත් කිරීම පිණිස මේ මොහොතේ එකමුතුව කරුණාව පතුරුවන මෙන් සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිහඬ බව 'කන් බිහිරි කරන සුළු' බව ද ඇය සිය පණිවුඩයේ සඳහන් කරන්නීය.

ආණ්ඩුවේ ප්‍රතිචාරය

එල්ලවන චෝදනා සහ මුස්ලිම් ජනතාවගේ ඉල්ලීම් ගැන ප්‍රතිචාරය විමසීම පිණිස කෝවිඩ් මර්දනය සම්බන්ධ රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන ඇමතීමට දින කිහිපයක් මුළුල්ලේ බීබීසී සිංහල සේවය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

ඇමතිවරියන් දෙදෙනා වෙත ලිඛිතව යවන ලද විමසීම්වලටද මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නැත.

පසුගියදා අමාත්‍යවරුන්, සෞඛ්‍ය බලධාරීන් සහ මුස්ලිම් නායකයන් කැඳ වූ අගමැති මහින්ද රාජපක්ෂ, කෝවිඩ් ආසාදිත පුද්ගලයන් මිහිදන් කිරීම පිණිස ජල මට්ටම ඉතා ගැඹුරු වියලි බිමක් සොයන මෙන් උපදෙස් දුන් බව අගමැති කාර්යාලය වාර්තාකර තිබිණ.

බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසන්නේ, මුස්ලිම් සමාජය මුහුණ දී සිටින ගැටලුව ආණ්ඩුවට වැටහෙන නමුත් කොරෝනා වසංගතය හමුවේ සිංහල, බෞද්ධ ජනතාව ද ඒ හා සමාන ගැටලුවකට මුහුණ දී සිටින බවය.

"සෑම ආගමකම එක එක විධි තියෙනවා. ඒත් අපිට පෙළක් වෙලාවට අපි අකමැති දේ කරන්න වෙනවා. කෝවිඩ් වසංගතය නිසා ගොඩක් දෙනා විශාල දේවල් පරිත්‍යාග කරනවා. පොදු යහපත වෙනුවෙන්," යනුවෙන් ද කැබිනට් ප්‍රකාශකවරයා පැවසීය.

"මේක හරි සංවේදී කරුණක්," බව පවසන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අවධාරණය කළේ, කැබිනට් අමාත්‍යවරුන් විද්‍යාඥයන් නොවන බැවින් ආණ්ඩුව මේ සම්බන්ධයෙන් තීරණ ගනු ලබන්නේ අදාළ විශේෂඥ කමිටුවේ උපදෙස් ප්‍රකාර බවය.

ජනාධිපති ගෝඨාභය මාලදිවයිනෙන් කළ ඉල්ලීම

මේ අතර දෙසැම්බර් 14 වෙනි දින නිවේදනයක් නිකුත් කළ මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා ෂහීඩ්, කෝවිඩ්19 රෝගය ආසාදනය වී මියයන ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයන් මාලදිවයිනේ ආදාහනය කිරීම පිළිබඳව ජනාධිපති මොහමඩ් සොලී රජයේ බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බව සඳහන් කොට තිබුණි.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කරන ලද විශේෂ ඉල්ලීමක් ප්‍රකාර බව ද එහි දැක්විණ.

එහෙත් ආණ්ඩුවේ එම උත්සාහය ගැන මුස්ලිම් ප්‍රජාව තුළින් මෙන්ම විරුද්ධ පක්ෂයෙන් ද දැඩි විවේචන එල්ල විය.

මාධ්‍යවේදිනී මුන්සා මුෂ්ටාක් පවසන්නේ, මුස්ලිම් ජනතාව සුළු ජාතියක් විය හැකි වුවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙන්ම ඔවුන්ද ශ්‍රී ලංකාවේ පුරවැසියන් බවය.

එබැවින් සිය ඥාති වර්ගයා ශ්‍රී ලංකාව තුළ මිහිදන් කිරීමට අවසර දෙන මෙන් ඇය ආයාචනා කර තිබුණි.

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසන්නේ, ශ්‍රී ලාංකිකයන්ගේ අවමගුල් සඳහා සහයවන මෙන් වෙනත් රටකින් ඉල්ලා සිටීමට සිදුවීම 'ලැජ්ජා සහගත' බවය.

තමන් උපන්, හැදී වැඩුණු රට තුළ, තමන්ගේ විශ්වාසයන්ට අනුකූලව සිය අවසන් කටයුතු සිදු කිරීමට සෑම ශ්‍රී ලාංකිකයෙකුටම අයිතියක් තිබිය යුතු බවත් හිටපු අමාත්‍යවරයා අවධාරණය කරයි.

'මේක ජාතිවාදය'

කොරෝනා වසංගතය පැතිරයාම ආරම්භ වූ මොහොතේ සිට ශ්‍රී ලංකා ආණ්ඩුව අනුගමනය කරන ප්‍රතිපත්තිය පිළිබඳව බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ උප සභාපති හිල්මි අහ්මඩ් එය විග්‍රහ කළේ "ජාතිවාදී න්‍යාය පත්‍රයක්" මත දියත්වන ක්‍රියාවලියක් ලෙසිනි.

"මේ බබා ආදාහනය කරලා තියෙන්නේ සිරුර දෙමාපියන්ට පෙන්නන්නෙවත් නැතුව," ඔහු පැවසීය.

"මම දන්නේ නෑ කොහොම මේකට ප්‍රතිචාර දක්වන්නද කියල. හැබැයි මේ වගේ දේවල් මුස්ලිම් තරුණයන් රැඩිකල් වෙන්න තුඩු දෙන්න පුළුවන්."

එක් රැඩිකල් පුද්ගලයෙකුට පවා බරපතල විනාශයක් කළ හැකි බව ආණ්ඩුව වටහාගත යුතු බවත් හිල්මි අහ්මඩ් කියා සිටියේය.

කෙසේ නමුත් මුස්ලිම් දේහ ආදාහනය කිරීමේ ස්ථාවරය ජාතිවාදය මත පදනම් වූ තීරණයක් බවට කෙරෙන විවේචනය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රතික්ෂේප කරයි.

"කොහෙත්තම නෑ. එහෙම නම් සිංහල බෞද්ධයෝත් කියන්න පුළුවන්, අපිට මතක වස්ත්‍රයක් වත් දෙන්න විදියක් නෑ කියල."

'අම්ම කෙනෙක් ඔහොම බබෙක් දාල යනවද?'

සිය බිළිඳු පුතුට අත් වූ ඉරණම මොහමඩ් ෆාහිම් ට තවමත් දරාගත නොහැකිය.

"බබා කනත්තට ගෙනියනවා කියල මට ආරංචි වෙලා මම ගියා ඒත් ඇතුළට ගියේ නෑ," ඔහු සිහිපත් කරයි.

"දොස්තරල කියන කතාව බොරු. එයාල කියනව 8 වෙනිදා ගෙනාවේ කියල. බබා ගෙනාවේ 7 වෙනිදා රෑ 1030 වෙනකොට. පරක්කු වෙලා ගෙනාවේ නෑ. අම්මට යන්න කීවේ නෑ කියනවා. අම්ම කෙනෙක් ඔහොම බබෙක් දාල යනවද? ඩිරෙක්ටර් දොස්තර විජේසූරිය බොරු කියනව."

බොහෝ මාධ්‍ය වාර්තා කරන්නේ රෝහල් අධ්‍යක්ෂවරයා ගේ මතය පමණක් බවටත් ෂයික් බිළිඳා ගේ පියා චෝදනා කරයි.

"ගියපු වෙලාවේ දොස්තරලා හොඳට ට්‍රීට්මන්ට් කළා. ඒත් ලොකු දොස්තර කියන කොට පරක්කු වෙලා ගෙනාවේ කියල අනිත් දොස්තරලා මොනාත් කියන්නේ නෑ."

මොහමඩ් ෆාහිම් සුසුමක් හෙලයි.

"මගේ බබාට වෙච්ච දේ වෙන කිසි දරුවෙකුට වෙන්න එපා ... "

"අනේ මෙහෙම දුකක් වෙන කාටවත් වෙන්න එපා ..."

කියවන්න: