ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොරෝනා වෛරසය: කොවිඩ් 19 නව රැල්ලට මුහුණදීමට ශ්‍රී ලංකාව කෙතරම් සුදානම්ද?
- Author, රංග සිරිලාල්
- Role, බීබීසී සිංහල
ශ්‍රී ලංකාවේ වාර්තාවූ පළමු කෝවිඩ්-19 රෝගියා ලෙස චීනයේ හුබෙයි පළාතෙන් ආ 44 හැවිරිදි චීන කාන්තාවක් ජාතික බෝවන රෝග නිවාරණ ආයතනයට (අයි ඩි එච්) 2020 ජනවාරි 27 වන දින ඇතුළත් කිරීමේ සිට බ්‍රැන්ඩික්ස් කම්හල ආශ්‍රයෙන් මතුවූ පොකුර හමුවන තුරු ශ්‍රී ලංකාව, වසංගත තත්ත්වය ඉතා කාර්යක්ෂමව කළමනාකරණය කළ රටවල් කිහිපයෙන් එකක් ලෙස හැදින්විණි.
එහෙත්, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හල ආශ්‍රයෙන් රෝගය ව්‍යාප්තවීම ආරම්භ වීමෙන් පසු මේ වන විට දිස්ත්‍රික්ක 21 කට සම්බන්ධ ආසාදිත පුද්ගලයින් හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ප්‍රකාශ කළේය.
ඔහු තවදුරත් ප්‍රකාශ කරන්නේ බ්‍රැන්ඩික්ස් මිනුවන්ගොඩ පොකුර දිවයිනෙන් වාර්තා වූ 33 වන කොවිඩ් 19 පොකුර බවත් එය විකාශනය වන ආකාරය හඳුනාගෙන ඇති නිසා රට තුළ දැනට පවතින තත්ත්වය පාලනය කළ හැකි නමුත් මේ ඊට නිශ්චිත කාල සීමාවක් ස්ථිර ලෙස ප්‍රකාශ කළ නොහැකි බවය.
"දැනට මෙතෙක් කල් සියලු කටයුතු හරියට කළමනාකරණය කරලා තියෙනවා අපෙ පුරෝකථනයන් අනුව අපිට අවශ්‍ය විදිහට අවශ්‍ය පහසුකම් සපයාගෙන තියෙනවා. ටෙස්ටින් උනත් දැන් පෙරේදා (ඔක්. 12) 7000 කට අසන්න ගණනක් කරල තිබුණා. ඊයෙත් ඒ වගේ කරලා තිබුණා,"
"රජයේ රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් සමහරෙක් කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගැනීමෙන් කොරෝනා වෛරසය රජයේ රෝහල්වල පැතිරෙනවා කියා අදහස් වන්නේ නැහැ, වෛරසය රෝහල්වල පැතිර ගොස් නොමැති නිසා රෝගීන් අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැහැ." වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පැවසීය.
නමුත් සෞඛ්‍ය අංශයේ විශ්ලේෂකයන් පවසන්නේ ශ්‍රී ලංකාව මේ වන විට මෙම ගෝලීය කොරෝනා වසංගතයට මුහුණදීමට කෙතරම් සුදානම්ද යන්න මත රටේ ඉදිරිය තීරණය වනු ඇති බවය.
රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව, 2018 අවසන් වන විට ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයින් 1000 කට ගිලන් ඇඳන් 3.5 ක් තිබූ අතර රජයේ රෝහල් 613 ක් තිබුණි. පුද්ගලයන් 1,035 කට එක් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් සහ රජයේ රෝහල්වල පුද්ගලයින් 599 කට එක් හෙදියක් විණි. රජයේ රෝහල්වල ගිලන් ඇඳන් 7644 ක් ඇත. ඇඳන් 5120 ක් පෞද්ගලික රෝහල් 200 ක තිබේ.
ආරක්ෂක අමාත්‍යංශය යටතේ ඇති කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීම සඳහා වූ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ දත්තයන්ට අනුව අඟහරුවාදා (ඔක්. 13) වන විට ලංකාවේ රෝහල් 13ක් කොරෝනා රෝගීන්ට වෙනුවෙන් වෙන්කර තිබිණි. එම රෝහල් හි ඇඳන් 1691ක් ඇති අතර එයින් හිස්ව තිබුණේ ඇඳන් 251ක් පමණි.
එම දත්තවලට අනුව ජාතික බෝවන රෝග නිවාරණ ආයතනය (අයි ඩි එච්) හි ඇඳන් 120 ක පහසුකම් ඇති අතර ඔක්. 13 වැනි දා වන විට රෝගීන් 163 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බවත් වැලිකන්ද මුලික රෝහලේ ඇඳන් 110ක් ඇති අතර එහි රෝගීන් 120ක් ප්‍රතිකාර ලබමින් සිටි බවත් කියවිණි.
ඇඳන් 200 ක් ඇති කඹුරුගමුව රෝහලේ 213 දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටියහ. තෙල්දෙණිය මුලික රෝහලේ ඇඳන් 120ක් ඇති අතර රෝගීන් 121 දෙනෙකු සිටින බවත් කාත්තන්කුඩි රෝහලේ ඇඳන් 120ක් ඇති අතර රෝගීන් 126 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බවත් එම දත්ත පෙන්නුම් කරයි.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක පවසන්නේ දැනට රට තුළ හටගෙන ඇති තත්ත්වය නිවැරදි හා කාලීන තීරණ ගැනීම තුළින් කළමනාකරණය කර ගත හැකි නමුත් සමාජමය ව්‍යාප්තියක් දක්වා වසංගතය පැතිරයාමේ අවදානම පහව ගොස් නොමැති බැවින් ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන්ට මුහුණ දීමට රට සුදානම්ව සිටිය යුතු බවය.
"දැනට අපට හමුවන රෝගීන් සංකූලතා නොමැති වීම නිසා හා බොහෝ රෝගීන්ගේ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන නිසා අපට අවශ්‍ය වන්නේ රෝගීන් රෝහල් තුළ තබාගෙන නිරීක්ෂණය කිරීමට අවශ්‍ය පහසුකම්. මේවා රෝහල් තුළ හෝ තාවකාලිකව සැදු විශාල රෝහල් තුළ කළ හැකි බැවින් ඒසදහා අප සුදානම් විය යුතුයි," මහාචාර්ය ඉන්දික කරුණාතිලක බීබීසී සිංහල සේවයට පැවසීය.
"බොහෝ දේවල් මේ වන විට කරලා තියෙනවා එත් තව ඉක්මණට කළ යුතු දේවල්, මම කිව්වා වගේ රෝගීන් නිරීක්ෂණයට හා වෙන්කර තැබීමට අවශ්‍ය විශාල පහසුකම් වැනි දේවල් තියෙනවා ඉක්මණින් කරන්න. මේකෙදි අපිට දැනට තියෙන ජාතික රෝහල් මේ කාර්ය සදහා යොදාගැනීම තුළින් සාමාන්‍ය සෞඛ්‍ය සේවයට හා රෝගීන්ට බලපෑමක් එල්ලවෙන්න පුළුවන් නිසා මේකට වෙනමම පහසුකම් සපයාගැනීම සුදුසුයි."
ඔහු තවදුරටත් පැවසුවේ රටේ පරීක්ෂණ ක්‍රියාවලිය දැනටමත උපරිම මට්ටමකට පැමිණ ඇති බවත් පරීක්ෂණ පහසුකම් ඉතා ඉක්මණින් වැඩිකරගත නොහැකි බැවින් වෛරසය ව්‍යාප්ත වීම වලක්වාගැනීමට කටයුතු කළ යුතු බවය.
දැනට පවතින පහසුකම් අනුව රට තුළ දිනකට පීසීආර් පරීක්ෂණ 4000ක් පමණ සිදු කිරීමට පසුකම් ඇති බව බලධාරීන් පවසන අතර ඇතැම් දිනවලදී ඊට වැඩි සාම්පල ප්‍රමාණයක් ලබා ගැනීමට සිදුවන බව ඔවුහු පවසති.
රට තුළ සිටින වෛද්‍ය කාර්යමණ්ඩලය හා සෞඛ්‍ය කාර්යමණ්ඩලය එක දිගටම පවතින වසංගත තත්ත්වය හමුවේ දිගින් දිගටම රාජකාරියේ යෙදීම තුළ ඔවුන්ගේ මානසික මට්ටම ඉහළ තත්ත්වයක තබාගැනීම ඉතා වැදගත් බව සෞඛ්‍ය බලධාරින් පවසයි.
නම හෙලි කිරිමට අකමැති වු සෞඛ්‍ය බලධාරියෙකු බීබීසී සිංහල සේවයට පැවසුවේ ඉන්දියාව ඇතුළු අනෙකුත් රටවල් අගුලූ දමා තිබු කාලය තුළ ඉදිරියේදී ඇතිවිය හැකි ව්‍යසන තත්ත්වයකට මුහුණ දිමට අවශ්‍ය පහසුකම් සහ අවශ්‍ය පද්ධතිය ස්ථාපනය කළ මුත් ශ්‍රී ලංකාවේ ඇතැමුන් සියල්ල සැහැල්ලුවට ගැනීම හේතුවෙන් රටේ අනපේක්ෂිත ආකාරයෙන් රෝගීන් වැඩිවීමක් සිදු වුවහොත් එයට මුහුණ දීමේ හැකියාව පිළිබඳ ගැටලු මතුවිය හැකි බවය.
මෙම තොරතුරු ද දැනගන්න: