කොවිඩ්: දිවුලපිටිය කෝවිඩ්19 ආසාදිත පොකුරේ බලපෑම

    • Author, රංග සිරිලාල්
    • Role, බීබීසී සිංහල, කොළඹ

දිවුලපිටිය ප්‍රදේශයෙන් ඉරිදා හඳුනාගත් කොරෝනා ආසාදිත 39 හැවිරිදි කාන්තාවගේ ආශ්‍රිතයින් 71 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේය.

ඒ සමඟම මතුව තිබෙන තත්වය ගැන සමාජය තුළ භීතියක් හටගෙන ඇති අතර මෙය සමාජයට කෙසේ බලපානු ඇති දැයි අවධානයට ලක්වී ඇත.

කවුද මේ 69 දෙනා?

එම ආසාදිතයින් සියලුම දෙනා දිවුලපිටියේ කාන්තාව සේවය කළ ඇඟලුම් ආයතනයේ සේවක සේවිකාවන් බව ඉරිදා සිදුකළ පීසීආර් පරීක්ෂණවලින් තහවුරු වී ඇති අතර තවත් පීසීආර් පරීක්ෂණ වාර්තා සඳුදා ලැබීමට නියමිත බවත් බලධාරීහු පවසති.

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින් 71 දෙනාත් සමග ශ්‍රී ලංකාව තුළ මෙතෙක් හමු වූ කෝවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 3,473 දක්වා ඉහළ ගොස් තිබේ.

එම පළමු සේවිකාව සමඟ සෘජු හා වක්‍ර සම්බන්ධතා පවත්වා ඇති පුද්ගලයින් 950 දෙනෙකු මෙතෙක් හඳුනාගෙන ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය පැවසීය.

තවමත් ඔවුන් සියලු දෙනා නිරෝධායනය යටතේ තබා නැතත් ඔවුන් නිරෝධායනය යටතේ තැබීමේ කටයුතු කරමින් සිටින බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ ලේකම් එම් බාලසූරිය බීබීසී සිංහල සේවය සමග පැවසීය.

නව තත්වය කෙතරම් බැරෑරුම්ද?

"සමහර විට මේ ප්‍රමාණය මෙයට වැඩි වෙන්නත් බැරුවා නෙමෙයි, සමාජයේ මෙය පැතිරවීම නැවැත්වීමට ගතයුතු සියළුම ක්‍රියාමාර්ග ගන්නවා. මෙය ඉතාමත් බැරෑරුම් තත්වයක් මොකද මේ වගේ 69 දෙනෙක් එක ස්ථානයකින් මෙයට පෙර හමුවී නැහැ. මෙච්චර කාලයක් එකට හිටපු එක ලොකු ප්‍රශ්ණයක්. මේක එක පාරට වෙන්න බෑ එහෙම තිබීමම බැරෑරුම් තත්වයක්," යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා බීබීසී සිංහල සේවයට පැවසීය.

"ඊලඟ දවස් හත ඉතාමත් වැදගත් වෙනවා. මෙය ඉදිරි දවස් හතේ දී සමාජයෙන් හම්බවෙනවද නැද්ද කියන එක මත තමයි තීරණය කරන්න වෙන්නේ. මේ කට්ටියගේ කොන්ටැක් ට්‍රේසින් කරගෙන යනවා. ඒ මගින් මේක සමාජයේ කොයි කොයි පැතිවලට පැතිරිලා ද කියල බලන්න පුළුවන්. එහෙම නම් තමයි මේකේ බැරෑරුම් කම වැඩිවෙන්නේ."

"ලංකාවේ හමුවූ රෝගීන් 70%-75% කට රෝග ලක්ෂණ පෙන්නුම් කර නැහැ. ඒක නිසා ඉදිරි පැය 72 ඉතාමත් වැදගත්."

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින්ගේ සහ ආශ්‍රිතයන්ගේ සම්බන්ධතා සොයා ගැනීමට මහජන සෞඛ්‍ය නිලධාරීන් දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටින බව පවසන ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් එම් බාලසූරිය වැඩිදුරටත් කියා සිටියේ සේවකයින්ගේ ස්ථිර නේවාසික තොරතුරු සොයා ගැනීමේ අභියෝගයට මුහුණ දී ඇති බවයි. ඒ සඳහා හමුදාවේ සහාය ලබාගෙන තිබෙන බවත් ඔහු පැවසීය.

ලොක් ඩවුන් එකකට යනවද?

මේ තත්වය හමුවේ ශ්‍රී ලංකාව යළිත් 'ලොක් ඩවුන්' කරන්නේ ද යන්න ගැන තවම තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

නමුත් මෙම පොකුරෙන් උතුරු නැගෙනහිර වැනි ප්‍රදේශ කීපයකින් පුද්ගලයන් හඳුනාගෙන ඇතැයි පවසන බලධාරීහු, මෙය ව්‍යාප්ත වුවහොත් එය ඉතාමත් භයානක තත්වයක් විය හැකි බවට අනතුරු අඟවති.

අත්‍යාවශ්‍ය භාණ්ඩ හා ආහාර හිඟයක් ඇතිවිය හැකිද?

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ, එසේ කලබල නොවිය යුතු බවයි. ඔහු පවසන්නේ මාස තුනක ඇඳිරි නීති සමයේත් හිඟයකින් තොරව අවශ්‍ය භාණ්ඩ සැපයූ අතර ඒ සඳහා අවශ්‍ය යාන්ත්‍රණයක් සකස් වී ඇති බැවින් "අනවශ්‍ය බියක් ඇතිකරගෙන, අනවශ්‍ය විදිහට භාණ්ඩ එක්රැස් නොකළ යුතු," බවය.

මහජනතාව කෙසේ හැසිරිය යුතුද?

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ, "සමාජයේ අනික් පැතිවලට තවමත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක නැති නිසා ඒ අයට වගකීමක් තියෙනවා තමන් දන්න කවුරු හරි මේ ප්‍රදේශයට ගිහින් තියෙනවනම් හරි මේ කවුරු හරි එක්ක සම්බන්ධතාවයක් පැවැත්වුව නම් වහාම ඒ බව බලධාරීන්ට දැනුම් දෙන්න සහ නියමිත සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කරමින් අනවශ්‍ය විදිහට නිරාවරණය නොවී සිටීමට," යනුවෙනි.

කෝවිඩ් 19 ව්‍යාප්තිය වළක්වමින් ‍පොදු මහජන සහ වෘත්තීය ක්‍රියාකාරකම් සිදුකරන ආකාරය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත්කළ උප‍දෙස් පිළිපදින ලෙසත් මජනතාව එක්රැස්වන කිසිදු කටයුත්තකට සහභාගි නොවන ලෙසත් වැඩබලන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එස් ශ්‍රීධරන් නිවේදනයක් නිකුත්කරමින් පැවසීය.

නිවෙස්වලින් පිටතට පැමිණෙන විට මුහුණු ආවරණයක් සෑම විටම පැළඳිය යුතු බවත්, නිතර අත් සේදීම හා මුහුණ ස්පර්ශ කිරීමෙන් වැළකී සිටිය යුතු බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ආසාදිත පුද්ගලයෙකු ගෙන් තවත් පුද්ගලයෙකුට පැතිරීම වැළැක්වීමට සෑමවිටම නිවැරදි ශ්වසන ආචාර විධි අනුගමනය කළ යුතු අතර, වැඩිහිටියන් ආරක්ෂා කළ යුතු අතරම එළිමහන් ක්‍රියාකාරකම් හැකිතාක් අවම වන පරිදි ක්‍රියා කරන ලෙසත් වැඩබලන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා උපදෙස් දෙයි.

පහ වසර ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාගයට මොකද වෙන්නේ?

මේ මස පැවැත්වීමට නියමිතව තිබෙන 05 වසර ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය පෙර දැනුම් දුන් දිනයන්වලම පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් බී සනත් පුජිත සඳහන් කරයි.

එමෙන්ම මේ දක්වා විභාග පැවැත්වෙන දිනයන් වෙනස් කිරීමක් සම්බන්ධයෙන් අදහස් කර නොමැති බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසිය.

ආර්ථිකයට කෙසේ බලපායිද?

නැවතත් රට පුරා ඇඳිරි නීතිය ප්‍රකාශ කළහොත් එදිනෙදා කටයුතු අඩාලවීමෙන් දැනටමත් කඩාවැටී ඇති ආර්ථිකයට බලපෑම් එල්ලවිය හැකි බවට ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

මේ අතර කොළඹ කොටස් වෙළඳපොලේ කටයුතු සඳුදා දෙවන වරටත් අත්හිටවනු ලැබීමට සිදුවුයේ එස් ඇන්ඩ් පී එස්එල් 20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව 7.5% කින් පහත වැටීම හේතුවෙනි. ගනුදෙනු කරුවන් කෝවිඩ්-19 නව ව්‍යාප්තිය පිළිබඳව කලබල වී කොටස් විකිණීම හේතුවෙන් සමස්ත මිල දර්ශකය හා එස් ඇන්ඩ් පී එස්එල් 20 දර්ශකය ඉතා වේගයෙන් පහල වැටුණු බව කොටස් තැරැවුකරුවෝ බීබීසී සිංහල සේවයට පැවසූහ.

මෙම නව පොකුර රෙදිපිළි කර්මාන්තයට සම්බන්ධ වීම තුළ ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන ඇඟලුම් වලට ඇති ඉල්ලුමට බලපෑමක් ඇතිවිය හැකි බවත් ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

කියවන්න: