කොරෝනා වෛරසය: මිනුවන්ගොඩ නව පොකුරට ආසාදනය වූයේ කෙසේද?

    • Author, රංග සිරිලාල්
    • Role, බීබීසී සිංහල, කොළඹ

නව ආසාදිත පොකුරේ පළමු රෝගියා ලෙස හදුනාගත් කාන්තාවට නම් ඇයට වෛරසය අසාදනය වුයේ කෙසේද? නොඑසේනම් ඇය අදාළ ඇඟලුම් කම්හලේ වෛරසය අසාදනය වූ අනෙක් සේවකයින් අතරින් තවත් එක් අයෙකු පමණක් ද? එසේනම් ඔවුනට වෛරසය අසාදනය වුයේ කෙසේද යන්න තවමත් නොවිසඳුණු ගැටලුවකි.

අදාළ කාන්තාව නව පොකුරේ මුල් රෝගියා ලෙස ඉරිදා (ඔක්. 04) හඳුනාගත් තැන් සිට අඟහරුවාදා සවස් වන විට හඳුනාගෙන තිබූ ආසාදිතයින් ගණන 832 ක් ලෙස සටහන් විය. දැනට හඳුනාගෙන ඇති පරිදි එම ආසාදිතයින් සියල්ල මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයෝ වෙති.

එම කර්මාන්ත ශාලාවට වෛරසය ඇතුළු වූ ආකාරය මෙතෙක් පැහැදිලි නැති අතර ඒ පිළිබඳ පරීක්ෂණ දැනටමත් ක්‍රියාත්මක බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මාධ්‍ය හමුවේ පැවසීය. ශ්‍රී ලංකාවේ පෙර හඳුනාගත් පොකුරු හා සසඳන විට සමාජය තුළ වෛරසය පැතිරීමේ වැඩි අවදානමක් නව පොකුරට ඇති බවත් මේ අවස්ථාවේදී වසංගත තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් කටයුතු කළ යුතු විනා ආසාදිතයන්ගේ පෞද්ගලිකත්වයට හානි නොවීමට ක්‍රියාකළ යුතුව ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.

"අවදානම වැඩියි"

"මේ හමුවන රෝගීන්ගෙන් හමුවන වෛරස් ප්‍රමාණය වැඩියි එනිසා මෙම රෝගියෙකුගෙන් වෙන කෙනෙකුට හැදෙන්න තියෙන අවදානම වැඩියි." යැයි කී වෛද්‍ය සමරවීර නව පොකුරේ මුල්ම ආසාදිතයා ලෙස හැඳින්වුණු කාන්තාව සම්බන්ධයෙන් බදාදා (ඔක්. 7) මෙසේ පැවසීය.

"සැප්තැම්බර් 20 වනද සිටම ස්වසන රෝග, මෙවැනි සමාන රෝග ලක්ෂණ තිබුණු අය හිටියයි කියල වාර්තා වෙනවා. සමහර විට ඊටත් සතියකට දෙකකට කලින් වෙන්න පුළුවන්, මේ රෝග ව්‍යාප්තිය පටන් අරගෙන තියෙන්නේ. මේ කාන්තාව පළමුවන රෝගියා විදියට අපි හදුනාගත්තට රෝගය හැදුනු පළමු රෝගියා එයා නෙමෙයි. රෝගය හැදිච්ච පිරිසක් ඉන්නවා ඒ ආයතනයේ. මුළු පොකුරේම තොරතුරු හොයාගෙන තමයි මේකේ මුලාශ්‍රය හොයාගන්න පුළුවන් වෙන්නේ. එක පුළුවන් වෙන්නත් පුළුවන් බැරි වෙන්නත් පුළුවන්."

මේ අවස්ථාවේදී ජනතාවට විශාල වගකීමක් ඇති බවත් පවසන වෛද්‍ය සමරවීර පෙන්වා දෙන්නේ බලධාරීන් අතින් ද මෙය ගිලිහි ගියහොත් ඉන්දියාව මෙන් මෙය ඉතාමත් බරපතල තත්ත්වයකට මුහුණ දීමට ඉඩ ඇති බවය.

ගැටලුවට මැදි ව සිටින 'බ්‍රැන්ඩික්ස්' ආයතනය නිවේදනයක් නිකුත්කරමින් කියාසිටියේ මිනුවන්ගොඩ පිහිටි කම්හල් පරිශ්‍රයේ සේවකයින් 1,394 දෙනෙකු පීසීආර් පරීක්ෂාවට ලක් කර ඇති බවය. දැනටමත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ පිරිසෙන් වැඩි කොටසකට රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බව ද එහි දැක්විණි.

"ඉන්දියාවේ ෆැක්ටරියකින් ආපු ඕඩරයක් තමයි කර කර හිටියේ, මැහුවේ ටි ෂර්ට් එකක්, ලයින් අටක් විතර කර කර හිටියේ ඒක තමයි. අපිට කිව්වේ කොරෝන නිසා ඉන්දියාවේ වැහුණු ෆැක්ටරියක ඕඩර් එකක් කියලයි. ඒ රෙද්ද මහන්න ගත්තහම තමයි ළමයින්ට උණයි කැස්සයි හැදුණේ. ඒ රෙද්දේ ඩස්ට් එක ගොඩාක් තිබුණා," බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන නම හෙළි කිරීමට අකමැති වූ සේවිකාවක් බීබීසී සිංහල සේවයට පැවසුවාය.

"අපි මාස්ක් මහල ඉවර උනගමන් තමයි ඕව මහන්න ගත්තේ ඉතින්. ටී ෂර්ට් එක මහන්න පටන් ගත්තහම ළමයි ලෙඩත් උනා, උණත් හැදිලා හිටිය ගොඩක් කට්ටියට. උණ හැදුන අයව යැව්වෙත් නෑ, වැඩ කෙරෙව්වා. ඒ රෙදි තවමත් ලොකර් රූම් වල තියෙනවා." යැයි කී ඇය වැඩිදුරටත් සඳහන් කළේ තමන් මෙන්ම දරුවන් දෙදෙනා හා ස්වාමිපුරුෂයා පීසීආර් පරීක්ෂණ වාර්තා බලාපොරොත්තුවෙන් නිවසේ නිරෝධායනය වන බවය.

මේ අතර නම හෙළි කිරීමට අකමැති වූ තවත් සේවිකාවක් පැවසුවේ සේවිකාවන් හට උණ හා කැස්ස වැනි රෝග ලක්ෂණ තිබියදීත් ආයතනය තුළ ඇති සෞඛ්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර කර දිගටම සේවයේ යෙදවූ බවය.

ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමට ඊමේල් මගින් ප්‍රතිචාර දක්වමින් බ්‍රැන්ඩික්ස් ඇඟලුම් සමාගමේ ආයතනික සන්නිවේදන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉමන්ති පෙරේරා පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශයන්ට අනුකූලව කොවිඩ්-19 වැළැක්වීම සඳහා වන රෙගුලාසි බ්‍රැන්ඩික්ස් සමාගම විසින් ක්‍රියාත්මක කර ඇති බවය.

"වාහකයෙකුගේ ශරීරයෙන් පිටත කොරෝනා වයිරසයට පැවතිය හැක්කේ පැය කිහිපයක් පමණි. ආනයනික අමුද්‍රව්‍ය ශ්‍රී ලංකාවට පැමිණීමට දින 10 - 20 ක් ගතවීමත් සමඟ වෛරසයට නොනැසී පැවතීමට හැකියාවක් නැත."

එමෙන්ම "මිනුවන්ගොඩ ඇති අපගේ පරිශ්‍රයේ ඉන්දියාවෙන් ගෙන්වන ලද කිසිදු කිසිදු රෙදිපිළි භාවිතයක් නොකරන අතර ඉන්දියාවේ පිහිටි අපගේ පරිශ්‍රයෙන් කිසිදු ඇණවුමක් ලබාගෙන නොමැත." යනුවෙන්ද ඇය කියා සිටියාය.

මේ අතර දැනට නිරෝධායනයට ලක්ව සිටින සේවකයින් කිහිප දෙනෙක්ද බීබීසී සිංහල සේවයට ප්‍රතිචාර සිය අත්දැකීම් හෙළි කළහ. "මම හොස්ටල් එකේ නිරෝධායනය වෙනවා මමයි තව පස්දෙනෙකුයි තමයි දැනට හොස්ටල් එකේ ඉන්නේ අනිත් අයව පොසිටිව් උනා කියල අරන් ගියා. මම වැඩ කරපු සේක්ශන් එකේ තමයි ඔය හැදුනු අනිත් අයත් වැඩ කළේ." යැයි නම හෙළි කිරීමට අකමැති වූ තවත් සේවිකාවක් පැවසීය.

ඇය සඳහන් කළේ ආයතනය විසින් සපයන ලද වියලි ආහාර තවත් සතියකට පමණ සෑහෙන අතර තමන් පස්දෙනාට එක්ව එම ආහාර පිසගැනීමට සිදුව ඇති බවකි.

ඒ අනුව නේවාසිකාගාරයේ වෙන වනම නිරෝධායනය වීම අපේක්ෂා කෙරුණද ආහාර පිසීමට එක්වීම හේතුවෙන් තමන් මෙන්ම නිරෝධායනය වන අනෙකුත් සේවකයන් මහත් අපහසුතාවයට පත්ව ඇති බව ද ඇය කියා සිටියාය.

වෛරසය ඇතුළු වුයේ රට තුළින්ද, විදේශයකින් ද?

මේ අතර නම හෙළි කිරීමට අකමැති වූ, බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් සේවකයෙක් පැවසුවේ සිය ආයතනය ඉන්දියාවේ සිට තාක්ෂණ නිලධාරීන් ගෙන්වා සේවයේ යොදවන බැවින් එසේ පැමිණි අයෙකුගෙන් වෛරසය ව්‍යාප්ත වුවාදැයි යන්න පිළිබඳව ද ඇතැමුන් තුළ සැකයක් පවතින බවය.

මේ චෝදනාවට ප්‍රතිචාර දැක්වූ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් සමාගමේ ආයතනික සන්නිවේදන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීනිය, "අපගේ මිනුවන්ගොඩ මධ්‍යස්ථානයේ කිසිදු ඉන්දියානු හෝ විදේශීය පිරිස් සේවයේ යොදවා නොමැත. තවද, අපගේ වෙනත් ඕනෑම පරිශ්‍රයක් සඳහා මෙන්ම ඕනෑම විදේශීය අමුත්තකු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නිරෝධායන රෙගුලාසි අප සැමවිටම පිළිපදින්නෙමු." යැයි කියා සිටියාය.

සදුදා (ඔක්. 05) කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය රැස්වූ අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුම් දුන්නේ වෛරසය අදාළ ආයතනයට ඇතුළුවීමේ මූලාරම්භය සොයාගන්නා ලෙසය. එය විදේශයකින් පැමිණියේද නැතිනම් රට තුළින් ම අසාදනය වී දැයි සොයාගත යුතු බව ඔහු කියා සිටියේය.

මේ පිළිබඳ විවිධ මත පවතින බැවින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව කොවිඩ්-19 නිවාරණ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සභාපති යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ද පැවසීය.

බ්‍රැන්ඩික්ස් ආයතනයට අයත් අදාළ ඇඟලුම් කම්හලේ ස්ථිර සේවකයන් 1300 කට වැඩි ප්‍රමාණයක් සේවය කරන බව කී කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ නිලධාරියෙකු පැවසුවේ ඔවුනට කොරෝනාවෛරසය කෙසේ ආසාදනය වීදැයි තවමත් තහවුරු කරගත නොහැකි වූ බවය.

මෙම තොරතුරු ද දැනගන්න: