මහනුවර ගොඩනැගිල්ල කඩා වැටීමේදී 'පලා ගිය බව කියන' පවුලේ පුත්‍රයා බීබීසී යට කතා කරයි

තිදෙනෙකුට ජීවිත අහිමි වූ මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ මහල් පහකින් සමන්විත ගොඩනැගිල්ලක් කඩා වැටීම නාය යෑමක් නොව ඉදිකිරීම් පිළිබඳ ගැටලුවක් බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ [NBRO] අදහස වී තිබේ.
එහි අධ්‍යක්ෂ ජනරාල්, ඉංජිනේරු ආචාර්ය ආසිරි කරුණාවර්ධන බීබීසී සිංහල සේවයට පැවසුවේ කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ල පිහිටි ප්‍රදේශය නාය යාමේ අවදානම් කලාපයකට අයත් නොවන අතර ගොඩනැගිල්ල කඩා වැටීම ක්ෂණිකව සිදු වූ ක්‍රියාවලියක් විය නොහැකි බව බවය.
"ගොඩනැගිල්ල කඩා වැටෙන්න කලින් පැලීම්, ශබ්ද ඇසීම් තියෙනවා. අපේ මතය හා අත්දැකීම් අනුව මේක අඩු ගානේ පැය කිහිපයක ක්‍රියාදාමයක්. මූලික වශයෙන් තැනට සරිලන ඉදිකිරීමක් නොවෙයි මෙතන කරලා තියෙන්නේ. නිම්නයක හෝ බෑවුමක ඉදිකිරීමක් කරනකොට අත්තිවාරම ටිකක් යටට දාන්න ඕනා. එක්කෝ මවු පාෂාණයට සම්බන්ධ කරන්න ඕන. ඒ ක්‍රමවේද අනුව ඉදිකරා කියලා දැනට තියෙන නිරීක්ෂණ අනුව තහවුරු වෙන්නේ නෑ," යනුවෙන් ඉංජිනේරු, ආචාර්ය ආසිරි කරුණාවර්ධන පැවසුවේය.
සැප්තැම්බර් 20 වැනිදා අලුයම් කාලයේදී සිදු වූ මෙම අනතුරෙන් කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ලට යාබද ගොඩනැගිල්ලක ජීවත් වූ තරුණ අඹුසැමි යුවලක් සහ ඔවුන්ගේ මාස එකහමාරක් පමණ වයසැති බිළිඳිය ජිවිතක්ෂයට පත් වූහ. සුන්බුන් අතර සිර වී සිටි කාන්තාවන් දෙදෙනෙකුගේ දිවි බේරාගැනීමට පොලීසිය, ප්‍රදේශවාසීන් සහ ආරක්ෂක අංශවලට හැකිවිණ.
"කාටවත් කියන්න වෙලාවක් තිබුණේ නෑ...සියල්ල වුණේ විනාඩි අටක් ඇතුළත"
මහල් පහකින් සමන්විත ගොඩනැගිල්ල කඩා වැටීමට පෙර එහි හිමිකරු, ඔහුගේ බිරිඳ හා දරුවන් දෙදෙනා අදාළ ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණ ඔවුන්ගේ ජීප් රථයෙන් එම ස්ථානයෙන් පිටව ගොස් තිබුණි.
ඔවුන් පලා නොගොස් අසල්වාසීන්ට දැනුම් දුන්නේ නම් ඒ අයගේ දිවි බේරාගැනීමට හැකියාව තිබූ බව ද මාධ්‍ය ඔස්සේ වාර්තා කෙරුණි.

එම සිදුවීම සම්බන්ධයෙන් අදාළ ගොඩනැගිල්ලේ හිමිකරුගේ පුත්‍රයා වන හේෂාන් ලෙවුකේ බීබීසී සිංහල සේවයට මෙලෙස කියා සිටියේය.
"පස්වෙනි තට්ටුවේ තමයි මම නිදා ගන්නේ. අම්මි, නංගි සහ අප්පච්චි නිදා ගන්නේ උඩ ඉඳන් තුන්වෙනි තට්ටුවේ. එකපාරට මගේ ඇඳ හෙල්ලිලා මාව ඇහැරුණා. වැටවල් හෙල්ලිලා බල්ලෝ බුරන සද්ද ටිකකුත් ඇහුණා. හොරෙක් ඇවිත් වගේ සිද්ධියක් කියලා හිතලා අම්මිට කෝල් කළා. අම්මිටත් ඒ සද්දය ඇහිලා එයත් ඇහැරිලා. අම්මි බැල්කනිය පැත්තට ගිහිං බලනකොට එහා ගෙදර අංකල් කියලා තියෙනවා ඔයාලගේ ගෙදර කණුවක් හෙලවෙනවා. ඉක්මණට ගෙදරින් එළියට යන්න කියලා," යනුවෙන් ඔහු පැවසුවේය.
ඉන් අනතුරුව තමන් ඉතා ඉක්මණින් ජීප් රථය පණ ගන්වා මව, පියා සහ නැගණිය සමග එම ස්ථානයෙන් ඉවත් වූ බව ඔහු කියා සිටියේය.
"ගේට්ටුව ඇරියම බල්ලෝ එළියට ආවා. අපි ජීප් එකට නැගලා ඉක්මණින් ගෙවල් උඩ තියෙන 'ලේක් ක්ලබ්' එක පැත්තට ගියා. මම ඒ වෙලාවේම නුවර පොලිසියට කතා කළා. එතකොට වෙලාව හරියටම පාන්දර පහයි. ඒ කියන්නේ මම ඇහැරුණු ගමන් අම්මිට කෝල් කළේ 4.52ට. කාටවත් කියන්න වෙලාවක් තිබුණේ නෑ. සියල්ල වුණේ විනාඩි අටක් ඇතුළත," යනුවෙන් හේෂාන් වැඩිදුරටත් සඳහන් කළේය.
අදාළ නිවස ඉදිකිරීමේදී ඊට අදාළ සියලු අංශවල අනුමැතිය ලබාගෙන ඇති බව ද ඔහු කියා සිටියේය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

"සද්දේ ඇහුණා, වැඩිය ගණන් ගත්තේ නෑ"
සුන්බුන් අතර සිරවී සිටියදී දිවි බේරා ගැණුනු කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකු සිය අත්දැකීම් පිළිබඳ කළ විස්තරය ඇතැම් මාධ්‍යවල වාර්තාවූයේ මෙසේය.
"පාන්දර පහට විතර පොඩි පොඩි සද්ද ඇහුණා නිකං පෙරළෙනවා වගේ සද්ද. වැඩිය ගණන් ගත්තේ නෑ. මට ඇහැරුණා ඒ සද්ද වලට. පස්සේ එක පාරටම ඔක්කොම කඩාගෙන ආවා. අපේ රූම් එකත් භාගෙකට වඩා යට වෙලා මම ඉන්න හරියයි, නැන්දා ඉන්න හරියයි ඇඳේ කෑල්ලයි විතරයි ඉතුරු වෙලා තිබුණේ. ඊට පස්සේ අපි 119 කතා කළා," යනුවෙන් ඇය සඳහන් කර තිබුණි.
දිවි බේරා ගැනුණු කාන්තාවන් දෙදෙනා රැදී සිටියේ අනතුරින් මිය ගිය තිදෙනා නිදා සිටි කාමරයට යාබද කාමරයේ ය.
මේ අනතුර සිදුවන අවස්ථාව වන විට එම ප්‍රදේශයට වැසි ඇද හැලුණු බව ද වාර්තා විය.
මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ තම ආයතනය සපයන උපදෙස් සහ නිර්දේශ බිම් මට්ටමේ නිසි ලෙස ක්‍රියාත්මක නොවන තත්ත්වයක් පෙනෙන්නට ඇති බවය.
නාය යාමේ අධි අවදානම් කලාපවල පවුල් 15,000ක්
නාය යාමේ අවදානමක් සහිත ප්‍රදේශ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් සිතියම් ගත කරනු ලැබ ඇත. ඒ අනුව පවුල් 15,000ක් නාය යාමේ අධි අවදානම් කලාපවල ජීවත්වන බවට හඳුනාගෙන ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්, ඉංජිනේරු ආචාර්ය ආසිරි කරුණාවර්ධන පවසයි.
ශ්‍රී ලංකාවේ භූමියෙන් 20%ක පමණ නාය යාමේ අවදානමක් ඇති බවට හඳුනාගෙන තිබේ. ලංකාවේ ජනගහනයෙන් 30%ක් ජීවත් වෙන්නේ එම අවදානම් ප්‍රදේශය තුළ ය.
"අධි අවදානම් කලාපවල ඉන්න අයගෙන් පවුල් 6000ක් විතර ඉන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ. ඒ පවුල් සුරක්ෂිත තැන්වල නැවත පදිංචි කිරීමේ වැඩපිලිවලක් ගෙනියනවා. දැන් ගෙවල් 3000ක් විතර හදලා තියෙනවා. අපි පිළිගන්නවා ඒකෙ යම්කිසි මන්දගාමී තත්ත්වයක් තියෙනවා. එය කඩිනම් කළ යුතුයි. ඒ පිළිබඳවත් සාකච්ඡා පවත්වනවා," යනුවෙන් ඉංජිනේරු ආචාර්ය ආසිරි කරුණාවර්ධන සඳහන් කළේය.
නාය යාමේ අවදානමක් සහිත ප්‍රදේශ අධි අවදානම්, මධ්‍ය අවදානම් සහ මද අවදානම් ලෙස කලාප තුනකට බෙදා තිබේ. එම කලාපවල ඉදිකිරීම් සිදු කිරීමේදී අනුගමනය කළ යුතු උපදෙස් හා නිර්දේශ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරනු ලැබේ.
"ඒ උපදෙස් හා නිර්දේශ දුන්නට ඒ අනුව ඉදිකිරීම් කරනවද කියන පසුවිපරම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඒකෙ වගකීම තියෙනවා පළාත් පාලන ආයතන සහ නාගරික සංවර්ධන අධිකාරිය වගේ අනුමැතිය දෙන ආයතන වලට. එතැනදී අපි දැකපු දෙයක් තමයි අපි දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී බිම් මට්ටමේදී ගැටලුකාරී තත්ත්වයක් සහ අධීක්ෂණය කිරීමේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමා බොහෝ ප්‍රශ්න වලට මුල," යනුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වරයා වැඩිදුරත් කියා සිටියේය.
ප්‍රධාන වශයෙන් නාය යාමේ අවදානමක් සහිත දිස්ත්‍රික්ක දහයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් හඳුනාගනු ලැබ තිබේ. බදුල්ල, නුවරඑළිය, කෑගල්ල, රත්නපුර, කළුතර, මාතලේ, මහනුවර හම්බන්තොට, මාතර සහ රත්නපුර ඊට අයත් වේ. ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම වැනි ප්‍රදේශවල ද නාය යාම් සිදුවිය හැකි බවට හඳුනාගෙන ඇත.








