ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ළමා ලිංගික අපයෝජන: බෞද්ධ භික්ෂුවකට බරපතල වැඩ සහිත සිර දඬුවම්
දහම් පාසල් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා පැමිණි නව හැවිරිදි දැරියකට බරපතළ ලිංගික අපයෝජන සිදු කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බෞද්ධ භික්ෂුවකට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත 08 වසරක සිර දඬුවම් නියම කරනු ලැබිණ.
කොළොන්නාව ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති ධූරය දරන 47 හැවිරිදි විත්තිකාර මිහිරිපැන්නේ සඳසිරි භික්ෂුවට රුපියල් දස දහසක දඩයක් ද නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි, එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් අමතරව මාස 03 ලිහිල් සිර දඬුවම් නියම කරන බව ද පැවසීය.
එමෙන්ම අතවරයට පත් දැරියට රුපියල් 30,000/- ක් වන්දියක් ගෙවන ලෙසත් එම වන්දිය ගෙවීම පැහැර හරිනු ලැබුවහොත්, එම මුදල දණ්ඩනයක් වශයෙන් අය කර ගන්නා ලෙසද නියෝග කළ විනිසුරුවරයා එම දණ්ඩන මුදල ද ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් විත්තිකරුට තවත් මාස 8 ක ලිහිල් සිර දඬුවම් නියම කිරීමට ද නියෝග කළේය.
2010 වසරේ නොවැම්බර් මස 27 න දින කොළොන්නාව ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති ලෙස කටයුතු කළ විත්තිකාර භික්ෂුව විසින් දහම් පාසැල් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා පැමිණි නව හැවිරිදි දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබිණ.
දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි සඳහන් කළේ, විත්තිකරුට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බැවින්, ඔහු එම චෝදනාවට වරදකරු කරන බවය.
විත්තිකරු විසින් සිදු කර තිබෙන වරද ඉතා බරපතළ යැයි සඳහන් කළ විනිසුරුවරයා, භික්ෂුවක් වූ විත්තිකරු විශ්වාස කරමින් දහම් අධ්‍යාපනය ලැබීම සඳහා පැමිණි කුඩා දැරියකට මෙවැනි අතවරයක් සිදු කිරීම තම අධිකරණයට සුළු කොට තැකිය නොහැකි බවද සඳහන් කළේය.
විත්තිකරු විහාරස්ථාන තුනක විහාරාධිපතිත්වය දරමින් ශාසනයට විශාල සේවයක් සිදු කර ඇති හෙයින් ඔහුට ලිහිල් දඬුවමක් නියම කරන ලෙස විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එහෙත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න අධිකරණය හමුවේ සඳහන් කළේ, විත්තිකරු විසින් කළ හෝ කරනු ලැබූ සේවාවන් දඬුවම් නියම කිරීමේ දී අදාළ කර ගත නොහැකි බවය.
'භික්ෂුණියකට ලිංගික අතවර'
පදවිය ප්‍රදේශයේ දහ තුන් හැවිරිදි දැරියක දූෂණය කිරීමේ චෝදනාව යටතේ පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ මෝදරවානේ අමිලසිරි නම් බෞද්ධ භික්ෂුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
එහිමියන් එසේ අත්අඩංගුවට ගෙන තිබුණේ, ඊට ඉහතදී සාමනේර හිමිනමක් සහ බෞද්ධ භික්ෂුණියක් දූෂණය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් ද සැකකරුවකුව ඇප මත මුදා හරිනු ලැබ තිබියදීය.
සැකකාර හිමිනමට සහ එහිමියන්ගේ රියදුරු සුදේශ් නම් පුද්ගලයාට එරෙහිව තවත් ළමා ලිංගික අපචාර ගණනාවක් පිළිබඳව ද චෝදනා එල්ල වී තිබෙන බව පොලිසිය පැවසීය.
2012 ජුනි මාසයේ බීබීසී සිංහල සේවය විසින් කරන ලද ගවේෂණයකට අනුව, ළමා ලිංගික අපයෝජන සහ ළමුන්ට හිංසා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ භික්ෂූන් වහන්සේ 110 කට වැඩි පිරිසකට එරෙහිව දශකයක් පමණ කාලයක් ඇතුළත අධිකරණයේ නඩු පවරනු ලැබ තිබිණ.
කෙසේ වුවත් ඒ අතරින් ළමා අපයෝජන සම්බන්ධයෙන් දඬුවම් ලබා තිබුණේ බෞද්ධ භික්ෂූන් තිදෙනෙකු පමණක් බව ද ජාතික ළමාරක්ෂක අධිකාරියේ වාර්තාවල දැක්විණ.
දැරියක දූෂණය කිරීම සම්බන්ධයෙන් එසේ වරදකරු කෙරුණ එක් හිමිනමක් වස පානය කොට දිවි නසාගත් බවත් වාර්තාවල දැක්වේ.
වැඩිදුර කරුණු විමසීම පිණිස ළමාරක්ෂක අධිකාරියේ සභාපති, මහාචාර්ය මුදිත විදානපතිරණ ඇමතීමට බීබීසී සිංහල සේවය දැරූ උත්සාහය සාර්ථක නොවීය.
මේ තොරතුරුද කියවන්න:
- ළමා ලිංගික අපචාර: අපේ හතේ පොත සහ සය හැවිරිදි දැරිය ගැන 'දෙබිඩි පිළිවෙතක්'
- සය හැවිරිදි දැරියකට ලිංගික අපයෝජන කිරීම ගැන 'පරීක්ෂණ යටපත් වෙලා'
- ළමුන් වෙනුවෙන් එක්සත් ජාතීන් හමුවට ගිය ශ්‍රී ලාංකික වෛද්‍යවරිය
- සිය පියාගේ මිතුරන්ට ගොදුරු වූ ඉන්දීය දැරියක් කියන කතාවක්
- ළමා ලිංගික ශ්‍රමිකයන් 'අවම කිරීමට වැඩපිළිවෙළක්'