කොරෝනා මැඩලීමේදී වධ බන්ධන පමුණුවන බවට සහ කෲරත්වය ගැන ශ්‍රී ලංකා පොලිසියට චෝදනා

    • Author, සරෝජ් පතිරණ
    • Role, බීබීසී සිංහල

සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් සිය දණහිසෙන් ගෙල සිරකරනු ලැබීමෙන් පසු ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතිකයා මරණයට පත්වීමෙන් අනතුරුව පොලිසිය සහ ආරක්ෂක හමුදා විසින් කරනු ලබන වධදීම් සහ කෲරත්වය ගැන ලොව පුරා බොහෝ රටවල අවධානයට ලක්වෙමින් පවතී.

ජෝර්ජ් ෆ්ලොයිඩ් වාසය කළ, මිනෙසෝටා ප්‍රාන්තයේ මිනිඇපොලිස් නාගරික පොලිසිය විසුරුවා හරින බවට ප්‍රදේශයේ නගර සභාවේ බහුතර නාගරික මන්ත්‍රීවරුන් ප්‍රතිඥා දී තිබෙන අතර, සිය නගරයේ මහජන ආරක්ෂාව සඳහා අලුත් මාදිලියේ ආකෘතියක් නිර්මාණය කරන බව ඔවුහු පවසති.

'මිනිඇපොලිස්' නගරයේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වර්ගවාදී බවට චෝදනා එල්ල වෙමින් පවතී.

ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය සම්බන්ධයෙන් මෙන්ම ස්වදේශික ඇබෝරිජින්වරුන් පොලිස් අත්අඩංගුවේදී මියයාම සහ ඇබෝරිජින්වරුන් නොසලකා හැරීම ගැන ඔස්ට්‍රේලියාවේ උද්ඝෝෂකයින්ගේ අවධානය යොමු වී තිබේ.

ශ්‍රී ලංකා පොලිසිය

වධදීම්, නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් සහ කෝවිඩ්19 වසංගතය යොදාගනිමින් මානව හිමිකම් උල්ලංඝනය කරන බවට ශ්‍රී ලංකාවේ පොලිසියට ද බරපතල චෝදනා එල්ල වී තිබේ.

විශේෂයෙන්ම ආණ්ඩුව විවේචනය කරන පිරිස්, මාධ්‍යවේදීන් සහ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ක්‍රියාධරයන් 'දඩයම් කිරීම' සහ ආගමික බෙදීම් ප්‍රවර්ධනය කිරීම සඳහා ත්‍රස්ත විරෝධී නීතිය සහ ඇඳිරි නීතිය යොදාගන්නා බව ශ්‍රී ලංකා පොලිසියට එරෙහිව එල්ලවන ප්‍රධානම චෝදනාවකි.

  • අකුරැස්ස ප්‍රදේශයේ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම පිණිස නිවසට ගිය අවස්ථාවේ සැකකරුගේ දරුවා අත්අඩංගුවට ගැනීම
  • අලුත්ගම ඔටිස්ටික් (ඔටිසම්) තත්ත්වයෙන් පෙලෙන 14 හැවිරිදි දරුවෙකුට අමානුෂික ලෙස පහරදීම

ශ්‍රී ලංකා පොලිසියට එරෙහිව අලුතෙන්ම එල්ල වී තිබෙන චෝදනා අතර වේ.

කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ මරණය සහ අලුත්ගම තරික් අහමඩ් දරුවාට පහරදීම ගැන බ්ලොග් සටහනක් තබන ඇම්නස්ටි ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකාව සම්බන්ධ පර්යේෂිකා ත්‍යාගි රුවන්පතිරණ, පවසන්නේ වයස අවුරුදු 6 ක වැනි වර්ධනයක් සහිත තරික් අහ්මඩ් දරුවාට පොලිස් නිලධාරීන් 8 දෙනෙකුවත් වට කර පහර දී ඇති බවය.

හිටපු රාජ්‍ය අමාත්‍ය අලි සහීර් මවුලානා එම පහරදීම සම්බන්ධ වීඩියෝ පටය ට්විටර් ජාලයට මුදා හැර තිබුණි.

ඒ පිළිබඳව විමසීම පිණිස පොලිස් ප්‍රකාශක, පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න ඇමතීමට බීබීසී සිංහල සේවය කිහිප වතාවක්ම දැරූ උත්සහය සාර්ථක නොවීය.

මේ අතර තරික් අහමඩ් දරුවාට පහරදීම සම්බන්ධ පරීක්ෂණ පිළිබඳව මාධ්‍ය නිවේදන දෙකක් නිකුත් කළ පොලිස් මාධ්‍ය ඒකකය, එවැනි පහරදීමක් සිදු වී නැතැයි මුලින් සඳහන් කර තිබූ නමුත් පැය කිහිපයකට පසුව නිකුත්කළ දෙවැනි නිවේදනයේ සඳහන් කර තිබුණේ ඒ සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ වැඩ තහනම් කරන ලද බවය.

එම නිවේදන දෙක පිළිබඳ අදහස් දක්වමින් මාධ්‍යවේදිනී චාන්දනී කිරින්දේ, ශ්‍රී ලංකා පොලිසියේ ක්‍රියාකලාපය විවේචනයට ලක් කර තිබිණි.

ඔටිසම් දරුවාට පහරදීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව පෙන්වාදෙන 'දේදුනු සංවාද' ෆේස්බුක් පිටුව, ඒ සම්බන්ධ මාධ්‍ය වාර්තා ද දැඩි විවේචනයට ලක් කර තිබුණි.

පහර දීමට ලක් වූ තරික් අහමඩ් දරුවා රෝහලට ඇතුළත් කළ විට ඔහුට ජාතිවාදී ලෙසින් අපහාස කළ බවට නාගොඩ රෝහලේ වෛද්‍යවරයෙකුට ද චෝදනා එල්ල වී තිබේ.

ජාතික මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරියක වන අම්බිකා සත්ගුණනාදන් ට්විටර් පණිවුඩයක දක්වා තිබුණේ මැයි මාසය අගදී කන්කසන්තුරේ පොලිසිය විසින් ආබාධ සහිත පුද්ගලයෙකුට පහර දෙනු ලැබ ඇති බවය.

පසුගිය අප්‍රේල් 18 වෙනි දින අරාලි හි නිවසකට ඇතුළු වූ වඩුක්කෝඩේ පොලිසියේ නිලධාරීන් එහි නිවැසියාට පහර දුන් බවට ජාතික මානව හිමිකම් කොමිසමට පැමිණිලි කොට තිබේ.

හිජාස් හිස්බුල්ලා

කෝවිඩ් 19 වසංගතය පාලනය කිරීම පිණිස පියවර ගන්නා අතරවාරයේ රජය ඇතැමුන් සම්බන්ධයෙන් "කෲර, අමානුෂික සහ අවමන් සහගත සැලකීම්" කරන බවට වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව(SLCAT) චෝදනා කර තිබිණි.

පසුගිය මැයි 11 වැනි දින නිවේදනයක් නිකුත් කරමින් එම එකමුතුව, සිරකරුවන් රඳවා සිටින රැඳවුම් මධ්‍යස්ථානයක් තුළ දී සිරකරුවන්ට පහරදීම මෙන්ම විශේෂයෙන්ම වසංගතයක් පැතිර යන අවස්ථාවක එවැනි මධ්‍යස්ථානවල පවතින තදබදය හා නිසි සනීපාරක්ෂක පහසුකම් නොමැති වීම සම්බන්ධයෙන් තමන්ට තොරතුරු ලැබී ඇති බවය. බන්ධනාගාර තුළ දී සිරකරුවන් තිදෙනෙකු මරුමුවට පත්වීම ගැන ද වාර්තාව දැඩි අවධානය පළ කරයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගත් අවස්ථාවේ පොලිසිය හැසිරුණු ආකාරය ද අධිකරණය ඉදිරියේ හෙළිදරවු වී තිබේ.

ඔහු අත්අඩංගුවට ගැනීම පිණිස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් පැමිණියේ සෞඛ්‍ය නිලධාරීන් ලෙස හඳුන්වා දෙමින් බවට පවුලේ සාමාජිකයින් චෝදනා කරන අතර, පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේ එවැන්නක් සම්බන්ධයෙන් තමන් දැනුවත් නොමැති බවය.

නීතිඥ හිජාස් හිස්බුල්ලා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට බලහත්කාරයෙන් කට උත්තරයක් ලබාගත් බවට පොලිසියට චෝදනා කරමින් දරුවන් කිහිප දෙනෙකුගේ දෙමාපියෝ අධිකරණය ඉදිරියේ පෙත්සම් ගොනු කළහ.

ඉතිහාසය

ශ්‍රී ලංකාවේ පොලිසියට එරෙහිව එල්ල වී ඇති වධබන්ධන චෝදනා සම්බන්ධයෙන් 2015 ඔක්තෝබරයේ දී සවිස්තර වාර්තාවක් නිකුත් කළ Human Rights Watch මානව හිමිකම් සංවිධානය, සැකකරුවන්ගෙන් පාපොච්ඡාරණ ලබාගැනීම පිණිස ශ්‍රී ලංකා පොලිසිය නිරන්තරයෙන් ඔවුන්ට වධබන්ධන පනවන බවට තමන්ට සාක්ෂි ලැබුණු බව සඳහන් කර තිබිණි.

විශේෂයෙන්ම වැරදිකරුවන්ට දඬුවම් කිරීම අධිකරණයට පවරනු වෙනුවට, වැරදිකරුවන් යයි තමන් විශ්වාස කරන පුද්ගලයින්ට දඬුවම් කිරීම පිණිස ඔවුන්ට වධ දෙන බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය ශ්‍රී ලංකා පොලිසියට එල්ල කළ තවත් බරපතල චෝදනාවකි.

ශ්‍රී ලංකා පොලිසිය විසින් දරුණු ලෙස පහර දීම, විදුලි සැර වැද්දීම, ලිංග ප්‍රදේශය ඇතුළු ශරීරය පුරා මිරිස් කුඩු තැවරීම, "ධර්මචක්‍රයේ" දමා කරකැවීම වැනි "බියජනක" වධබන්ධන පැනවීමේ ක්‍රමවේද යොදාගන්නා බවට තමන් තොරතුරු රැස් කළ බව ද ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය නිකුත්කළ වාර්තාවේ සඳහන් විය.

ශ්‍රී ලංකාවේ පොලිසියට එරෙහිව එල්ලවන මෙවැනි බරපතල චෝදනා විමර්ශනය කිරීම පිණිස, පොලිස් නිලධාරීන්ගෙන් පරිබාහිර ස්වාධීන අධිකාරියක් පිහිටුවන මෙන් සහ පොලිසියට එරෙහි චෝදනා සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීන ඒකකයක් පිහිටුවන මෙන් ද හියුමන් රයිට්ස් වොච් සංවිධානය සිය වාර්තාවෙන් නිර්දේශ කර තිබිණි.

ජාතික මානව හිමිකම් කොමිසම

වධබන්ධනවලට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව වෙත 2016 ඔක්තෝබරයේ සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කළ ජාතික මානව හිමිකම් කොමිසම, ශ්‍රී ලංකාව පුරා පොලිස් ස්ථානවල රැඳවියන් වධබන්ධනවලට ලක් කිරීම සාමාන්‍ය සංසිද්ධියක් බව දත්ත සහිතව පෙන්වා දී තිබිණි.

එම වාර්තාවේ දැක්වෙන ආකාරයට, 2010 සිට 2016 දක්වා වධදීම් සම්බන්ධයෙන් එක් එක් පොලිස් ස්ථානවලට ලැබී තිබු පැමිණිලි පහත දැක්වේ.

පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවල සාමාජිකයින් විසින් සැකකරුවන්ට සහ රැඳවියන්ට වධබන්ධන පනවනු ලැබීම තුරන් කිරීම පිණිස දැඩි නීති පමණක් ප්‍රමාණවත් නොවන බව පෙන්වාදෙන ජාතික මානව හිමිකම් කොමිසම, ඒ සඳහා පොලිස් නිලධාරීන්ට විධිමත් පුහුණුවක් ලබාදීමේ අවශ්‍යතාව ද අවධාරණය කොට තිබිණි.

කියවන්න: