ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොරෝනා වෛරසය: ගිලිහුණ සබඳතා හමුවේ ජීවිතයට සමීප වුණ තාක්ෂණය
- Author, දැහැමි රණවීර
- Role, බීබීසී සිංහල
කොරෝනාවෛරසයත් සමග ශ්‍රී ලංකාව 'ලොක්ඩවුන්' කර දින කීපයක් ගත වන විට බොහෝ දෙනෙකුට සිය ප්‍රියයන්ගෙන් ඈත් වීම දැනෙන්නට විය.
සමීප සබඳතා මත ගොඩනැගුණු සමාජයක් පවතින ශ්‍රී ලාංකිකයන්ට එකවර නිවසකට කොටු වීම අතිශය දුෂ්කර කාරණයක් බවට පත්විණ.
නමුත්, බොහෝ දෙනෙකු තාක්ෂණය ඔස්සේ හෝ සිය සබඳතා පවත්වාගෙන යෑමට උනන්දු වනු දැකිය හැකිය.
"මගේ අම්මයි, තාත්තයි දෙන්නටම වයස අවුරුදු 75ක්. අම්මා අසනීපෙන් ඉන්නේ. මම රෝහලක රැකියාව කරන නිසා, වෛරසය ඇඟට ඇතුළු වී ඇතැයි කියන බය නිසාත් ඔවුන් දෙදෙනා බලන්න ගමට ගියේ නැහැ. හැබැයි දවසක් අම්මා මට දුරකථන ඇමතුමක් දුන්නා," වෛද්‍ය අයෝමා වීරවර්ධන බීබීසී සිංහල සේවයට පැවසීය.
"ලොක්ඩවුන් එක පටන් අරගෙන ටික දවසයි, ඇය සූම් (Zoom) බාගත කරගත් බව අම්මා පැවසුවා. මාව පුදුම කරවන්න ඕනේ නිසා වෙනත් අයගේ සහය අරගෙන ගිණුම හදාගෙන මට දැන්වුවා."
මිනිස් සබඳතාවලට තහංචි වැටෙන විට තාක්‍ෂණය පිළිබඳ ආකල්ප කොතරම් ඉක්මනින් වෙනස් වෙනවා දැයි ඇයට එකවර සිතුණු බව වෛද්‍යවරිය පැවසීය.
ඇයගේ මව නව තාක්ෂණය ගැන කිසිදු විශ්වාසයක් තැබූ පුද්ගලයෙකු නොවුණු අතර, මේ දක්වා කිසිවෙකුත් සමග වීඩියෝ ඇමතුම් ලබාගෙන නොතිබිණි.
කොරෝනාවෛරසය හේතුවෙන් පැනවූ සීමාවන් තුළ ඔබට ඥාතීන් හෝ මිතුරන් දැකීමට අවශ්‍ය නම් එය තිරයකට පමණක් සීමා වී ඇත.
නමුත් මේ සමග බැඳුණු බොහෝ ගැටළු ද ඇත. සූම් හෝ ස්කයිප් (Skype) ඔස්සේ වෙනත් පුද්ගලයෙකු සමග සාකච්ඡා කරන අතර, සිය නිවසේ සිද්ධීන් අනපේක්ෂිත ලෙස පිටතට දකින්න ලැබීමෙන් දැඩි අපහසුතාවට පත්වූ අවස්ථා ගැන ද අසන්නට ලැබිණි.
"මගේ කාර්යාලයේ රාජකාරි තුනෙන් දෙකක් විතර කෙරෙන්නේ දැන් සූම් හරහා. එක දවසක් රැස්වීමක රාජකාරි කතා ඉවර වෙලා අපේ දොළොස් දෙනෙකුගේ කණ්ඩායම ටිකක් වෙලා කතා කරමින් සිටියා," කොළඹ පදිංචි කාන්තාවක පැවසීය. සිය යුග දිවියට සම්බන්ධ පෞද්ගලික කාරණාවක් මෙම කතාව තුළ ගැබ් වී ඇති හෙයින් සිය නම හෙළි කිරීමට ඇය අකමැති වූවාය.
"එක සැරේ මගේ මහත්තයා වීඩියෝ එක පිටිපස්සෙන් ඇවිත් කෑ ගහන්න ගත්තා. මට විතරක් නෙමෙයි මගේ කාර්යාලයේ කණ්ඩායමටම බැන්නා. මගේ මහත්තයා ඉවසීම බොහොම අඩු, ඉක්මනින් කේන්ති ගන්න කෙනෙක්. මම වැඩි වෙලාවක් කෝල් එකේ හිටියා කියලා තරහ ගිහින්."
"ඒ ඇති වුණ අපහසුතාව සහ ලැජ්ජාව මට කියල නිම කරන්න බැහැ. අපේ ගෙදර ප්‍රශ්න සේරම පිටට ගියා. තාක්ෂණයට හුඟක් පුරුදු නැති මට එක සැරේ වීඩියෝ එක හරි මයික් එක හරි වහන්න බැරි වුණා," ඇය කඳුළු සලමින් පැවසුවාය.
සුපුරුදු ආකාරයේ සබඳතා ගිලිහීයාම තුළ තාක්ෂණය සමීප කරගත් නමුත් එය හසුරුවීම පිළිබඳ නිසි දැනුමක් ලබා නොතිබීම මෙම තත්වයට හේතු වූ බව ඇය තවදුරටත් පැවසීය.
'ශ්‍රම බලකායෙන් 50%ක්' නිවසේ ද?
කොරෝනාවෛරසය හේතුවෙන් ලොව පුද්ගලයන් රැකියාවල නිරතවන රටාවෙහි වෙනසක් සිදුව ඇත.
නැවත කිසි දිනෙක සිය කාර්ය මණ්ඩලයට කාර්යාලයට යාමට අවශ්‍ය නොවන බව ට්විටර් සමාගම මේ වන විටත් ප්‍රකාශ කර තිබේ. ඔවුන් සියලු දෙනාම අධි තාක්ෂණික ක්‍රම ඔස්සේ නිවසේ සිට රාජකාරිවල නිරත වීමට නියමිතය.
කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය පවසන්නේ 2021 ගිම්හාන සමය වන තෙක් එහි දේශන සියල්ල අන්තර්ජාලය ඔස්සේ පවත්වන බවය.
ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් කියා සිටියේ ඉදිරි වසර 5-10 තුළ ශ්‍රම බලකායෙන් 50% ක් පමණ නිවසේ සිට රැකියාව සිදු කළ හැකි බවය.
'විශ්වසනීය හවුල්කරුවා'
විශාල ලෙස ඉහළ ගොස් ඇති භාවිතය විධිමත් ලෙස හසුරුවීමට අන්තර්ජාල ව්‍යුහය මේ වන තෙක් සමත් වී ඇත. අවම වශයෙන්, ශක්තිමත් සේවාවන් සඳහා ප්‍රවේශ වීමේ පහසුකම් ඇති පුද්ගලයන්ට අන්තර්ජාල පහසුකම් නොකඩවා අත්විඳීමට හැකි වී තිබේ.
විදුලි බලය, ජලය සහ ගෑස් සේම අන්තර්ජාල පහසුකම් ද අත්‍යවශ්‍ය පහසුකමක් ලෙස ජනතාවට ලබා දිය යුතු බව ලොව පුරා සිටින සමහර ප්‍රවීණයෝ පවසති.
අන්තර්ජාල ආරක්ෂණ සමාගමක් වන 'ක්ලවුඩ්ෆ්ලෙයාර් (Cloudflare)' හි ජෝන් ග්‍රැහැම්-කමින්ග් පැවසුවේ ලොව පුරා අන්තර්ජාල භාවිතය වර්තමානයේ දී දිනකට තුන් වරක් දැඩි ලෙස කාර්යබහුල වන බවය.
උදෑසන, දිවා ආහාර වේල ගන්නා කාලය සහ සවස අන්තර්ජාලය වෙන කවරදාටත් වඩා අධික ලෙස කාර්යබහුල වී ඇත.
"ඔබ අන්තර්ජාලය අත්‍යවශ්‍ය පහසුකමක් ලෙස සිතන්නේ නම්, භාවිතයේ දී 50% ක වර්ධනයක් පවත්වා ගත හැකි තවත් එවැනි පහසුකමක් ගැන ඔබට සිතිය හැකිද? මේ සියල්ලෙන් හැඟෙන්නේ අන්තර්ජාලය දැන් අපේ විශ්වාසදායක හවුල්කරුවෙකු වෙලා තිබෙන බවයි," ඔහු පැවසීය.
"මේ වන විට තාක්‍ෂණ සමාගම් නිසැකවම ඔවුන්ගේ අවස්ථාව හඳුනාගෙන තිබෙනවා. අපි විනෝද වෙන්න, මිනිස්සු එක්ක සම්බන්ධ වෙන්න සහ වසංගතය තුළ සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව සොයා බැලීමට උත්සහ කරන අතර ඩිජිටල් පරිණාමනය මාස දෙකක් ඇතුළත වසර දෙකකින් ඉදිරියට ගොස් තිබෙනවා," යැයි මයික්‍රොසොෆ්ට් සමාගමේ ප්‍රධානී සත්යා නදෙල්ලා පැවසුවේය.
ශ්‍රී ලංකාවේ 'ඇති නැති' තාක්ෂණය
ස්මාට් ජංගම දුරකතන බහුලව දැකිය හැකි උපකරණයක් වුව ද, ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල පහසුකම් ඇත්තේ ජනගහණයෙන් අඩකට ආසන්න ප්‍රමාණයකටය.
ලොව රටවල අන්තර්ජාල භාවිතය පිළිබඳ දත්ත සපයන DataReportal වාර්තාවට අනුව, 2020 ජනවාරි මස වනවිට ශ්‍රී ලංකාවේ අන්තර්ජාල භාවිත කරන්නන්ගේ ගණන මිලියන 10.10කි. අන්තර්ජාල භාවිත කරන්නන් 2019 සහ 2020 වසර තුළ 4.1%කින් ඉහළ ගොස් ඇත. ශ්‍රී ලංකාවේ වර්තමාන ජනගහනය මිලියන 21 ඉක්මවා ගොස් තිබේ.
කොරෝනාවෛරස සීමාවන් යටතේ පාසල් වැසීමත් සමග දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අන්තර්ජාලය ඔස්සේ සිදු කිරීමට ක්‍රියා කර ඇත.
නමුත්, ලර්න්ඒෂියා ආයතනය මගින් කරන ලද සමීක්ෂණයකට අනුව වයස අවුරුදු 18ට අඩු පාසල් දරුවන් සිටින පවුල්වලින් අන්තර්ජාල පහසුකම් ඇත්තේ, 34%කට පමණි.
එයිනුත් වැඩි ප්‍රතිශතයක් අන්තර්ජාල භාවිත කරනුයේ ස්මාට් ජංගම දුරකතන හරහා බව එම ආයතනය පවසයි.
එහි අදහස වයස අවුරුදු 18ට අඩු පවුල්වලින් 66%ක ප්‍රතිශතයකට අන්තර්ජාල පහසුකම් නොමැති බවය.
මේ පිළිබඳ බීබීසී සිංහල සේවය මින් පෙර ද ලිපියක් පළ කර ඇත.
ගම්පහ දිස්ත්‍රික්කයේ කුඩා පාසලක ඉගෙනුම ලබන සිය දියණිය අධ්‍යාපන කටයුතුවල නියැලෙන්නේ දුරකථනය ඔස්සේ ගුරුවරුන් සම්බන්ධ කරගෙන බව පියසීලී වීරකෝන් පැවසීය.
"මට දුව ගැන ඇත්තටම දුකයි. එයා පුදුම වදයක් විඳිනවා ඉගෙන ගන්න. ඒකත් සමහර දවසට ෆෝන් කාඩ් ගන්න අපට සල්ලි නැහැ. ඒ තියා මේ දවස්වල කන්නේ බොන්නෙත් බොහොම පිරිමහගෙන. අපිට තිබුණ එකම සතුට දරුවන්ට උගන්වන එකවත් දැන් කරන්න බැහැ," ඇය ඉතා හැඟුම්බරව පැවසුවාය.
මේ අතර වත්තල පදිංචි අයේෂා ෆර්ඩිනැන්ඩ්ස් පැවසුවේ වෙනස්ම කතාවකි.
"අපි 'ෆයිබර් ඔප්ටික්' අන්තර්ජාල පහසුකමත් ලබා ගත්තා. ඇත්තෙන්ම ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පහසුකම ගැන අපේ බොහොම පැහැදීමක් තිබෙනවා. අපේ දරුවන් කිසි කරදරයක් නැතිව සූම් හරි ස්කයිප් හරි ඔස්සේ ගුරුවරුන්, යහළුවන් සමග සම්බන්ධ වෙනවා," ඇය පැවසුවාය.
ෆයිබර් ඔප්ටික් යනු අධිවේගී අන්තර්ජාල සේවාවකි.
තාක්ෂණික විකල්ප සොයන ලෝකයක්
වසංගතයක් සමග වෙනස් වූ ලෝකය තුළ දෛනික කටයුතු මෙන්ම, මිනිස් සබඳතා පවත්වාගෙන යාමට තාක්ෂණය ඔස්සේ පිළිතුරු සෙවීම අනිවාර්යයෙන් සිදු කළ යුතු ක්‍රියාවක් බවට පත්ව ඇත.
තාක්‍ෂණික විකල්පයන් පසුපස හඹා යාම ශ්‍රී ලංකාවේ මෙන්ම, ලොව වටා බොහෝ රටවල මේ වන විටත් ආරම්භ වී ඇත. ඒ ඔස්සේ බිහි වන නව නිර්මාණ ද බොහොමයකි.
ඩ්‍රෝන් ඔස්සේ භාණ්ඩ බෙදා හැරීමේ සිට, සෑම නිවසකම පරිගණක තිර සහිත කාමරයක් හෝ වෙන් කළ කොටසක් දැකීම දක්වා මෙම වර්ධනය විය හැකිය.
දැනටමත්, සූම් සහ ස්කයිප් වැනි වීඩියෝ තාක්ෂණ ඔස්සේ ව්‍යයාම, නැටුම් සහ යෝග පංති පැවැත්වීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ.
"මම දැන් සූම් එකෙන් කාර්යාල රැස්වීමට සහභාගි වෙන්නේ. වෙනදට වැඩට ඇන්ද ඇඳුම් ඇඳගෙන, මේකප් දාලා මම ඒවාට එකතු වෙනවා. ඒක මගේ මනසටත් හොඳයි. මොනවා කරන්න ද, එන එන හැටියට ජීවිතය වෙනස් කරගන්නවා," පෞද්ගලික මූල්‍ය ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවක නිරත සමන්ති අත්තනායක පැවසුවාය.
ලොක්ඩවුන්, නව යුගයක උදාවද නැතිනම් නැවත යථා තත්ත්වයට පත්වීමට හැකි හුදෙක්ම සිදුවීමක්ද යන්න ඉතිහාසය අවසානයේ හෙළි කරනු ඇත.