ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලය 'රෙන්ට් අ කාර් වාහන සේල් එකක් වගේ'- සුනිල් හඳුන්නෙත්ති
2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු පිරිසකට සිය පක්ෂය සහ අපේක්ෂකත්වය ප්‍රවර්ධනය සඳහා නිල වාහන සහ නිල නිවාස මුදලක් ගෙවා භාවිතයට ඉඩ දීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව කියන යෝජනාව ගැන මේ වන විට සමාජයේ කතාබහක් ඇතිව තිබේ.
විශේෂයෙන්ම මේ සංවාදය මතු වී තිබෙන්නේ මාසික වැටුප ලබාදිය නොහැකි නම් දිනක වැටුප හෝ පරිත්‍යාග කරන්නැයි ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා සිටින පසුබිමකය.
ඊට ආසන්නතම හේතුව, අග්‍රාමාත්‍යවරයා විසින් මීට අදාළ කැබිනට් සන්දේශයක් අනුමත කරවා ගැනීම මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කරන ලද අංක 2165/70 සහ 2020 මාර්තු 06 දිනැති ගැසට් පත්‍රයට පටහැනි බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මැයි 10වැනිදා මැතිවරණ කොමිසමට පැමිණිලි කිරීම ය.
2020 මාර්තු 02 වැනිදා ජනාධිපතිවරයා විසින් පැවති පාර්ලිමේන්තුව විසුරවා හැරීමත් සමඟ මේ වන විට කැබිනට් මණ්ඩලය වලංගුව පැවතුනද රාජ්‍ය අමාත්‍ය ධූර හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර වලංගු නොවේ.
අග්‍රාමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය නීතියට පටහැනි සේම අනෙකුත් දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන්ට කරන බලවත් අසමානතාවයක් බැවින් එම තත්වය නිවැරදි කිරීමට මැදිහත් වනලෙස සුනිල් හඳුන්නෙත්ති මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇත.
'රාජ්‍ය ඇමතිවරු දැන් නෑ'
"මේක හරියට කැබිනට් මණ්ඩලය රෙන්ටර් කාර් වාහන සේල් එකක් වගේ. අපි අහන්න කැමතියි අපේක්ෂකයන්ට වාහන ලබා දෙන කාර් සේල් එකක්ද කැබිනට් මණ්ඩලය කියලා," යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.
"ඒක එහෙම නම් කැබිනට් තීරණයක් ගන්න වෙනවා හැම පක්ෂයකම, හැම අපේක්ෂකයටම අපි වාහන කුලියට දෙන ආයතනයක් කියලා. ඒක එක සාධාරණ ක්‍රමයක්. මේක එහෙම නෙමෙයි, පොහොට්ටුවේ ඇමතිවරු තමයි රාජ්‍ය ඇමතිවරු ඉන්නේ. රාජ්‍ය ඇමතිවරු කියන එක දැන් මේ වෙනකොට අවලංගුයි."
කතානායකවරයාට ද ඉහත කී වරප්‍රසාද ලබාදීමට යෝජනා කෙරුණ ද එවැනි කිසිදු වරප්‍රසාදයක් ලබා නොගන්නා බව හිටපු කතානායක කරු ජයසූරිය නිවේදනය කර තිබුණි.
එහෙත් සුනිල් හඳුන්නෙත්ති නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේය.
"2015 මහ මැතිවරණයට එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් 2015 ජූලි 22 අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළා 15/1080/613/082 යටතේ. මෙන්න මේ අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව තමයි ලක්ෂයක මුදලක් ගෙවලා වාහන දේශපාලන අවශ්‍යතාවයකට යොදාගන්න ඉඩ ලැබෙන්නේ," හිටපු රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසීය.
"අන්න ඒක තමයි දැන් ක්‍රියාත්මක කරන්න හදන්නේ. එහෙම නැතිව මේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා අලුතින් කැබිනට් මණ්ඩලයට හදලා තීන්දුවක් ක්‍රියාත්මක කරනවා නෙමෙයි. එදා 2015 නිහඬව හිටපු ජනතා විමුක්ති පෙරමුණ ඇයි මේ පත්‍රිකාව දැන් විවේචනයට ලක් කරන්නේ? ඇයි එදා මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් නොකළේ ?. අනික ඒකෙ කිසිම තැනක නෑ රාජ්‍ය ඇමතිවරුන්ට දීමනාවක් දෙන්න ඕන කියලා. මේ රාජ්‍ය නිලධාරීන් ප්‍රතිපාදන වලින් පිට අපිට දීමනා දෙන්න සූදානම් නෑ. ඒක පට්ටපල් බොරුවක්."
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මීට අදාළ යෝජනාව 2020 මාර්තු 06 වැනිදා කැබිනට් මණ්ඩලයට යොමුකර පහත සඳහන් අනුමැතීන් ද ලබා ගෙන ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවට කළ පැමිණිල්ලේ දක්වා ඇත.
'අගමැතිගේ යෝජනාව'
"අග්‍රාමාත්‍යවරයා, පාර්ලිමේන්තු කතානායකවරයා, කැබිනට් අමාත්‍යවරුන්, විපක්ෂ නායකවරයා, රාජ්‍ය අමාත්‍යවරුන් සහ ඒ හා සමාන තනතුරක් දරණ ඇත්තන් විසින් තමන් දැනට දරණු ලබන තනතුරට හිමි වරප්‍රසාදයක් ලෙස හෝ / කලින් දැරූ තනතුරු අනුව හිමිවන වරප්‍රසාදයක් ලෙස හෝ රජය විසින් තමන් වෙත ලබා දී ඇති නිල වාහන හා නිල නිවාස , 2020 පාර්ලිමේන්තු මහමැතිවරණයේදී සිය දේශපාලන පක්ෂය/ අපේක්ෂකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා භාවිත කරන්නේ නම් පහත සඳහන් කොන්දේසි වලට අනුව අදාළ නිල වාහන හා නිල නිවාස භාවිත කිරීම සුදුසු බවට යෝජනා කරමි," යනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවේ සඳහන්වන බව මැතිවරණ කොමිෂන් සභාවට කළ පැමිණිල්ලේ දක්වා ඇත.
කැබිනට් අනුමැතිය ලබා ගත් කරුණු
- එක් වාහනයක් වෙනුවෙන් රු 100,000.00 ක් බැගින් වූ මාසික ගාස්තුවක් ගෙවීමට.
- නිල වාහනය වෙනුවෙන් රාජකාරි කටයුතු සඳහා දැනට ලබා දෙන ඉන්ධන ප්‍රමාණයට අමතරව අවශ්‍යවන අතිරේක ඉන්ධන සඳහා අවශ්‍ය වන ඉහත (03) හි සඳහන් කර ඇති අය විසින් පෞද්ගලිකව දැරීමට;
- පක්ෂ/අපේක්ෂකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා ගුවන්යානා හෝ හෙලිකොප්ටර් භාවිත කරන්නේ නම් ඒ සඳහා වැයවන සියලු මුදල් ඉහත (03)හි සඳහන් කර ඇති අය විසින් පෞද්ගලිකව දැරීමට;
- අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා, අමාත්‍යවරයෙකු හෝ විපක්ෂ නායකවරයා තම පක්ෂය / අපේක්ෂකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා තම නිල නිවාස භාවිත කරන්නේ නම් ඒ සඳහා රු 100,000.00 ක මාසික ගාස්තුවක් ගෙවීමට සහ,
- ඉහත සඳහන් පරිදි නිල වාහන සහ නිල නිවාස භාවිත කිරීම සඳහා නියමිත ගාස්තු ඉහත (03) හි සඳහන් තැනැත්තන් විසින් රජයේ අදාළ බලධාරියා වෙත නියමිත පරිදි ගෙවීමට හා ගුවන් යානා හෝ හෙලිකොප්ටර් සම්බන්ධයෙන් වන ගාස්තු අදාළ බලධාරීන්ට ගෙවීමට.
'ජනතාව කරන කැප කිරීම හෑල්ලු කිරීමක්'
COVID-19 තත්වය හමුවේ ශ්‍රී ලංකාව අනපේක්ෂිත නව ආර්ථික අභියෝගයකට මුහුණපා තිබේ. එම තත්වය මත මෙය සදාචාර විරෝධී මෙන්ම නීති විරෝධී බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
"රාජ්‍ය ඇමතිවරු රොත්තකට රටේ සල්ලි, වාහනයකට විතරක් නෙමෙයි, ඉන්ධන පහසුකම් සහිතව. රියදුරෙකුත් එක්ක මේ ඔක්කොම දෙන්නේ කොහොමද ? එක පැත්තකින් ආණ්ඩුව සල්ලි නෑ කියලා රජයේ සේවකයන්ගේ දවසක පඩිය හරි කීයක් හරි ඉල්ලනවා. කැබිනට් මණ්ඩලය හිඟා කනවා. අනික් පැත්තෙන් රාජ්‍ය ඇමතිවරුන්ට දෙනවා තමන්ගේ නිල නිවාසයි, වාහනයි පාවිච්චි කරන්න. BMW, V8 වගේ වාහන ඇත්තට කුලියට ගත්තොත් ලක්ෂ තුනක් විතර වෙනවා මාසෙට. ඊට අමතරව ඉන්ධන කූපන් එකත් දීලා ආණ්ඩුව අයකර ගන්නේ ලක්ෂයක්. ඉතා පැහැදිලිව මේක මැතිවරණ නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක්. ඒ වගේම මේ මොහොතේ රටේ ජනතාව කරන කැප කිරීම අමු අමුවේ හැල්ලු කිරීමක්," යනුවෙන් හිටපු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පැවසුවේය.
මේ පිළිබඳව අදහස් දැක්වූ සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන බීබීසී සිංහල සේවයට කියා සිටියේ රාජ්‍ය අමාත්‍යවරුන්ට මුදල් ගෙවා මෙලෙස වාහන ලබා ගැනීමට ඉඩ සැලසීම පසුගිය රජය සමයේ සිට පැවති සම්ප්‍රදාය බවය.