ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දිල්ලි ගැටුම්: නවදිල්ලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ අත්දැකීම්
- Author, කුමුදු චම්පික ජයවර්ධන
- Role, BBC සිංහල සේවය - නවදිල්ලි නුවර සිට...
පසුගිය සතියේ දිල්ලි අගනුවර පැවති ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූවන් සංඛ්‍යාව 46 දක්වා ඉහළ ගොස් තිබේ.
එම ගැටුම්වලින් තවත් පුද්ගලයින් 200කට අධික පිරිසක් තුවාල ලැබූහ.
මතභේදාත්මක පුරවැසි නීතියට පක්ෂ සහ විපක්ෂ කණ්ඩායම් අතර හටගත් විරෝධතා පසුව ආගමික මුහුණුවරක් ගනු ලැබිණි.
දින තුනක් පුරා පැවති ගැටුම්වලදී මුස්ලිම් වැසියන් විශාල වශයෙන් ඉලක්ක වී තිබිණි.
හින්දු හා මුස්ලිම් වැසියන් යන දෙපාර්ශවයම මිය ගිය හා තුවාල ලැබූවන් අතර සිටින අතර දේපල අහිමි වූ බහුතරය මුස්ලිම් වැසියන්ය.
ගැටුම් හේතුවෙන් පුද්ගලයින් දහස් ගණනක් අවතැන්ව සිටිති.
මෙම ගැටුම් නතර කිරීමට රජය සහ පොලිසිය නිසි පියවර නොගත් බවට චෝදනා කළ දිල්ලි අධිකරණ විනිසුරුවරයෙකුට ස්ථාන මාරුවක් ලබා දීම සම්බන්ධයෙන් ද විරෝධය පළ වෙමින් පවතී.
දිල්ලි බල ප්‍රදේශයේ මුස්ලිම්වරුන් වැඩි වශයෙන් වෙසෙන ප්‍රදේශ කිහිපයක් ආශ්‍රිතව මෙම ගැටුම් වර්ධනය විය.
කෙසේ වෙතත්, නවදිල්ලි නගර සීමාව ආශ්‍රිතව කිසිදු ගැටුම්කාරී තත්ත්වයක් වාර්තා නොවූ අතර මුස්ලිම් වැසියන්ට විරෝධය පළ කළ කණ්ඩායම් කිහිපයක් ස්ථාන කිහිපයකදී අත්අඩංගුවට ගෙන තිබිණි.
දිල්ලි ප්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට මෙම ගැටුම්කාරී තත්ත්වය දැනුණේ කෙසේ ද?
ඒ සම්බන්ධයෙන් අදහස් විමසීම සඳහා දිල්ලි ප්‍රාන්තයේ විවිධ ස්ථානවල වාසය කරන ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනෙක් අප සමග සම්බන්ධ වූහ.
කාන්චනා වීරකෝන් යනු නවදිල්ලි නුවර වෙසෙන ශ්‍රී ලාංකික පරිසරවේදිනියකි. ඇය සිය සැමියා සහ දරුවන් සමග මේ වන විට නවදිල්ලි නගරයේ වාසය කරයි. ඇයගේ දරුවන් දෙදෙනා පාසල් අධ්‍යාපනය ලබන්නේ ද නවදිල්ලි නගරයේය.
ඇයට මෙම ගැටුම්කාරී තත්ත්වය බලපෑවේ කෙසේ ද? අපි විමසුවෙමු.
"මට සහ මගේ පවුලේ සාමාජිකයින්ට මේ ගැටුම් තත්ත්වය ඝෘජුව බලපෑවේ නම් නෑ. ඒත් අපට ඒක මානසිකව බලපෑවා. අපි අවුරුදු ගාණක් යුද්ධ බියෙන් ජීවත් වෙලා යන්තම් නිදහස ලබපු රටක වැසියන් විදිහට මේ වගේ තත්ත්වයක් ආයෙත් දරා ගන්න අමාරුයි. ආගම් වෙනුවෙන් මේ වගේ ප්‍රචණ්ඩ ක්‍රියා සිද්ධ වෙන්නේ කොහොම ද කියල හිතා ගන්න බෑ. මේක අපට සෘජුව බලපෑවේ නැතත් මේකට මැදි වෙලා අසරණ වුණ මිනිස්සු ගැන ගොඩක් කම්පා වෙනවා," පරිසරවේදිනී කාන්චනා වීරකෝන් බීබීසී සිංහල සේවයට පැවසීය.
මේ අතර, නවදිල්ලි නගරය ආශ්‍රිතව ප්‍රවාහන සේවා සහ සංචාරක සේවා ආයතනයක් පවත්වාගෙන යන රොෂාන් විජේසේකර බීබීසී සිංහල සේවයට පැවසුවේ, මෙම ගැටුම් හේතුවෙන් ශ්‍රී ලාංකිකයින්ගේ දඹදිව සංචාර යම් පමණකින් අඩු වීමක් සිදු වුව ද, මේ වන විට එය යථා තත්ත්වයට පත්ව ඇති බවය.
කෙසේ වෙතත්, ඉරිදා රාත්‍රියේ (මාර්තු 01) ප්‍රහාර එල්ල වන බවට පැතිරුණු කටකතා හේතුවෙන් දිල්ලි පුරා යම් නොසන්සුන් තත්ත්වයක් ඇති වී තිබිණි.
නිවාස ගිනි තබන බව සහ ප්‍රචණ්ඩ ක්‍රියා පවතින බව සඳහන් සාවද්‍ය වාර්තා 'වට්ස්ඇප්' (WhatsApp) හරහා ඉරිදා හුවමාරු විය.
මෙම වාර්තා සාවද්‍ය බවට පොලිසිය නිවේදන නිකුත් කළ අතර ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂක සාමාජිකයින් ද යොදවා තිබිණි.
දිල්ලි ප්‍රාන්තයේ ඇති වූ ගැටුම් සම්බන්ධයෙන් නවදිල්ලි නුවර පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ වන්දනාකරුවන්ගේ විශ්‍රාම ශාලාවේ ලේකම් ජී.ජී. ජයසුන්දර ද බීබීසී සිංහල සේවයට අදහස් දැක්වීය.
"වාසනාවකට මේක දින කීපයකින් නතර වුණා. නැත්නම් ලොකු විනාශයක් වෙන්න ඉඩ තිබුණා. දිල්ලියේ සියලු ජන කොටස්වලට අයිති මිනිස්සු ඉතා සමගියෙන් ජීවත් වුණා. මේ වගේ ගැටුම් ඇති වුණොත් ඒ සමගිය නැති වෙලා විනාශයක් ඇති වෙයි," ජී.ජී. ජයසුන්දර පැවසීය.