බ්‍රිතාන්‍යයේ උත්සාහය ශ්‍රී ලංකාව බෙදීම ද?

අගමැති බොරිස් ජොන්සන්
ඡායාරූප ශීර්ෂ වැකිය, කොන්සර්වේටිව් පක්ෂයේ නායක, අගමැති බොරිස් ජොන්සන්

බ්‍රිතාන්‍යයේ මහ මැතිවරණ උණුසුම ක්‍රමයෙන් උත්සන්න වෙමින් පවතින අතරවාරයේ පාලක කොන්සර්වේටිව් සහ ප්‍රධාන විපක්ෂය වන ලේබර් පක්ෂය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇති මැතිවරණ ප්‍රකාශනයන්හි අන්තර්ගත ශ්‍රී ලංකාවට අදාළ කරුණු මුල්කර ගනිමින් ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි ජීවත්වන ශ්‍රී ලාංකිකයන් අතර බලවත් නොසන්සුන් තත්වයක් උද්ගත වී ඇත.

විදේශයන්හි මැතිවරණ ප්‍රකාශන නොකියවන ජනතාව අතර පවා එම නොසන්සුන් තත්වය උද්ගත වූයේ, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් පසුගියදා කරන ලද ප්‍රකාශයක් සමඟය.

2019 දෙසැම්බර් 03 බදාදා මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළ මන්ත්‍රීවරයා කියා සිටියේ බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂය ඔවුන්ගේ මහ මැතිවරණ ප්‍රකාශනය මගින් ශ්‍රී ලංකාවේ අර්බුදයට "රටවල් දෙකක විසඳුමක්" (two-state solution) යෝජනා කර ඇති බවය.

"එක්සත් රාජධානිය, කවුරුත් දන්නා විදියට කිව්වොත් එංගලන්තයේ පාර්ලිමේන්තු මැතිවරණය 2019 දෙසැම්බර් 13 දින පැවැත්වෙනවා. ඒ මැතිවරණය වෙනුවෙන් කොන්සර්වෙටිව් පක්ෂය සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය නොවැම්බර් 25 දින එලි දැක්වූවා. ඒ ප්‍රකාශනය තමයි මේ තිබෙන්නේ. ඒකේ 53 පිටුවේ ලංකාවේ පවතින අර්බූදයට විසඳුම ලෙස ලංකාව තුළ රාජ්‍ය දෙකක් බිහි කළ යුතු බව කියනවා. මම දැන් ඒක කියවන්නම්." (බ්‍රිතාන්‍ය මහ මැතිවරණය පැවැත්වෙන්නේ දෙසැම්බර් 12 වෙනි බ්‍රහස්පතින්දාය)

අනතුරුව එම මැතිවරණ ප්‍රකාශනයේ 53 පිටුවේ අදාළ වගන්තිය මන්ත්‍රීවරයා මෙසේ සිංහල භාෂාවෙන් අර්ථකථනය කළේය.

"ලෝකය පුරා සංහිඳියාව, ස්ථාවරත්වය සහ යුක්තිය ලඟා කර ගැනීමට ගෙන ඇති ජාත්‍යන්තර ආරම්භකයන්ට අපේ සහය ලබා දීම අඛණ්ඩව සිදු කරන අතර සයිප්‍රසය, ශ්‍රී ලංකාව සහ මැද පෙරදිග වැනි වත්මන් හෝ පෙර අර්බූද කලාපයන් වෙනුවෙන් රාජ්‍ය දෙකක විසඳුම සඳහා අපගේ සහයෝගය පවත්වා ගනු ලැබේ."

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය යොමු කළ ලිපිය

ඡායාරූප මූලාශ්‍රය, Ministry of External Affairs

ඡායාරූප ශීර්ෂ වැකිය, බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මනීෂා ගුණසේකර බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂයේ සම සභාපති ජේම්ස් ක්ලෙවර්ලි වෙත යොමු කළ ලිපිය

මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශයෙන් අනතුරුව අදාළ කාරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇති අතර, ඉහත කී මැතිවරණ ප්‍රකාශනය නිකුත් වූ වහාම ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විදේශ අමාත්‍යාංශයේ ද උපදෙස් ඇතිව, ශ්‍රී ලංකාව ඇතුළත් සඳහන් කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂයේ සම සභාපති ජේම්ස් ක්ලෙවර්ලි (The Rt. Hon. James Cleverly) වෙත දැඩි විරෝධය පළ කළ බව එහි සඳහන් වෙයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් රාජ්‍ය දෙකක අවශ්‍යතාවක් පිළිගත නොහැකි බව අවධාරණයෙන් පෙන්වා දුන් ලන්ඩනයේ සිටින බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය, එක්සත් රාජධානියේ කිසිදු දේශපාලන පක්ෂයක් එවැනි ස්ථාවරයක නොසිටි බවත්, පිළිවෙලින් බලයට පත් සියලු ආණ්ඩු එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සාමය සංහිඳියාව වෙනුවෙන් නිරන්තරයෙන්ම සහයෝගය දුන් බවත් යළි අවධාරණය කරන ලදැයි ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වෙයි.

ඒ අතරවාරයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂයේ තවත් ජ්‍යෙෂ්ඨ නායකයන් සම්බන්ධ කර ගැනීමට කටයුතු කර ඇති අතර,එම පක්ෂයේ නියෝජ්‍ය සභාපති පෝල් ස්කලි (Paul Scully)නොවැම්බර් 27 දින විද්‍යුත් තැපෑලෙන් මහ කොමසාරිස් කාර්යාලය ආමන්ත්‍රණය කර ඇත.

බ්‍රිතාන්‍යයේ මහ මැතිවරණය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

"ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් (කොන්සර්වේටිව්) පක්ෂය දරණ ස්ථාවරයේ වෙනසක් සිදුව නැත. මැතිවරණ ප්‍රකාශනයේ අදාළ ඡේදයෙහි "රාජ්‍ය දෙකක්" යන්න මැද පෙරදිග ඊශ්‍රායෙල්-පලස්තීන තත්වයන් අරමුණු කරගත් සඳහනක් පමණි. ශ්‍රී ලංකාව සහ සයිප්‍රසය සම්බන්ධයෙන් වගකීම වන්නේ, බෙදුණ සමාජයන්හි සාමය සහ සංහිඳියාව ගොඩනැගීම සඳහා උපකාර වීමට දැනට සිදු කෙරෙමින් අති ප්‍රයත්නයන් දිගටම පවත්වා ගැනීමය," යනුවෙන් ඔහු සඳහන් කර තිබේ.

එක්සත් රාජධානියේ පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු භාර ලේකම්වරිය වන තෙරේසා විලියර්ස් (The Rt. Hon. Theresa Villiers) විසින් ද කොන්සර්වේටිව් පක්ෂයේ එම ස්ථාවරය තහවුරු කරනු ලැබ ඇතැයි ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය පවසයි.

තෙරේසා විලියර්ස් විසින් සමාජ මාධ්‍ය ජාලයේ පළ කරනු ලැබ ඇති ප්‍රකාශන ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය මගින් උපුටා දක්වනු ලැබ ඇත.

"රාජ්‍ය දෙකක විසඳුම මගින් මැද පෙරදිග අදහස් කෙරෙන අතර, එය ශ්‍රී ලංකාවට හෝ සයිප්‍රසයට අදාළ නොවේ. මම මේ කාරණය සම්බන්ධයෙන් විදේශ ලේකම් ඩොමිනික් රාබ් (Dominic Raab) ගෙන් විමසීමක් කළා. ඔහුත් ඉහත කී ස්ථාවරය තහවුරු කළා."

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂයේ නියෝජ්‍ය සභාපති පෝල් ස්කලි (Paul Scully) දෙසැම්බර් 03 දින 'ට්විටර්' පණිවුඩයක් මගින් සිය පක්ෂයේ ස්ථාවරය යළිත් මෙසේ අවධාරණය කර ඇත.

"කොන්සර්වේටිව් මැතිවරණ ප්‍රකාශනයේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ සැකැස්මට අදාළ ප්‍රතිඥාවක් දී නැත. රාජ්‍ය දෙකක විසඳුම අදාළ වන්නේ මැද පෙරදිගට පමණි."

කෙසේවුවද, කොන්සර්වේටිව් පක්ෂයේ මැතිවරණ ප්‍රකාශනයේ 53 වගන්තිය වෙනත් ආකාරයකට විග්‍රහ කරනු ලැබීම සහ තේරුම් ගනු ලැබීම බ්‍රිතාන්‍යවාසී ඇතැම් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ප්‍රජාව අතරත් සංවාදයක් ඇති කිරීමට හේතු වී ඇත.

කෝර්බින්
ඡායාරූප ශීර්ෂ වැකිය, ලේබර් පක්ෂ නායක ජෙරමි කෝබින් සිය මැතිවරණ ප්‍රකාශනය සමඟ

මේ අතර ලේබර් පක්ෂ මැතිවරණ ප්‍රකාශනයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැක්වෙන්නේ මෙවැනි ප්‍රකාශයකි.

"ශ්‍රී ලංකාවේ දමිළ සහ මුස්ලිම් සුළු ජන කොටස්වල මානව හිමිකම් සුරක්‍ෂිත කරන ලෙස බල කිරීම සඳහා අපි එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ පොදු රාජ්‍ය මණ්ඩලය සමඟ කටයුතු කරමු."

මේ අතර ලේබර් පක්ෂයේ නායක ජෙරමි කොබින් සහ ජෝන් මැක්ඩොනල්ඩ් මන්ත්‍රීවරයා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරන ලද ඇතැම් ප්‍රකාශනවලට එරෙහිව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා සංසදය ඇතුළු ශ්‍රී ලාංකික සිංහල සංවිධාන විරෝධතා ව්‍යාපාරයක් සහ මාධ්‍ය හමුවක් ද සංවිධානය කර තිබේ.

ඒ පිළිබඳව බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා සංසදයේ ජනක අලහප්පෙරුම කියා සිටියේ, ලේබර් පක්ෂ මැතිවරණ ප්‍රකාශනය ගැන සිය විරෝධයක් නැතත්, පක්ෂයේ නායකයන් දෙදෙනා ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පළ කරන ලද අදහස්වලට තමන් දැඩි විරෝධය පළ කරන බවය.

ලේබර් පක්ෂ මැතිවරණ ප්‍රකාශනය

ඡායාරූප මූලාශ්‍රය, Labour Party

ඡායාරූප ශීර්ෂ වැකිය, බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂ මැතිවරණ ප්‍රකාශනයේ ශ්‍රී ලංකාව සම්බන්ධ ඡේදය

කියවන්න: