එක්සත් රාජධානිය: අගමැතිනියටත් විශ්වාස භංගයක්

EPA

ඡායාරූප මූලාශ්‍රය, EPA

එක්සත් රාජධානියේ අගමැතිනී තෙරේසා මේ පක්ෂ නායකත්වය පිළිබඳ විශ්වාස භංගයකට බදාදා (දෙසැ 12) සවස මුහුණ දීමට නියමිතය.

කොන්සර්වේටිව් පක්ෂ මන්ත්‍රීවරු බ්‍රිතාන්‍ය වේලාවෙන් සවස 6 ත් 8 ත් අතර මේ සඳහා තම ඡන්දය ප්‍රකාශ කරනු ඇත.

2016 වසරේදී බ්‍රිතාන්‍ය වාසින් යුරෝපා හවුලෙන් ඉවත් වීමට ඡන්දය ප්‍රකාශ කළ අවස්ථාවෙන් අනතුරුව තෙරේසා මේ එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය ධූරයට පත් විය. නමුත් යුරෝපා සංගමයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් වන එකඟතා හේතුවෙන් ඇය තම කන්සර්වේටිව් පක්ෂය තුළ ම විවේචනයට ලක්වූවාය.

යුරෝපා සංගමයෙන් ඉවත්වීම හා සම්බන්ධ බ්‍රෙක්සිට් ගිවිසුමේ කෙටුම්පතකට අගමැතිනි තෙරේසා මේ අනුමැතිය පළකිරීමත් සමග බ්‍රිතාන්‍ය කැබිනට් මණ්ඩලය නොවැම්බර් 14 වන දින එයට අනුමැතිය ලබා දුන්නේය.

ඒ අතර, අගමැතිවරියට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීම කෙරෙහි පාලක කොන්සර්වේටිව් පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ අවධානය පළ විය.

2016 ජුනි මාසයේ පැවති ජනමත විචාරණයේදී බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට පක්ෂව ඡන්දදායකයන්ගෙන් 51.9% ක් ඡන්දය ලබා දී තිබිණි. ඒ අනුව 2019 මාර්තු 29 වෙනි දින මධ්‍යම රාත්‍රියේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට නියමිතය.

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

කොන්සර්වේටිව් පක්ෂ නායකත්වය තීරණය කෙරෙන විශ්වාස භංග ඡන්ද ප්‍රතිඵලය කෙතරම් ඉක්මනින් ප්‍රකාශ කරන්නේදැයි පැහැදිලි නැත.

අගමැතිවරිය විශ්වාස භංගය ජය ගතහොත් අවම වශයෙන් තවත් වසරක කාලයක් යන තෙක් ඇයගේ නායකත්වය අභියෝගයට ලක් කළ නොහැක.

යම් කිසි හෙයකින් තෙරේසා මේ ඡන්දය පරාජය වුවහොත් කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වය සඳහා තරගයක් පැවැත්වෙනු ඇති අතර ඇයට ඒ සඳහා තරග කිරීමට නොහැකි වනු ඇත.

තෙරේසා මේ විශ්වාස භංගය ජයග්‍රහණය කළ ද ජයග්‍රහණය කරනු ලබන්නේ ඉතා අඩු ඡන්ද ප්‍රමාණයකින් නම් පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට ඇය තීන්දු කිරීමට ඉඩ ඇත.

පාර්ලිමේන්තුවේ බහුතර බලය කොන්සර්වේටිව් පක්ෂයට හිමි බැවින් පක්ෂයේ නායකත්වයට පත්වන තැනැත්තා අග්‍රාමාත්‍ය ධූරයට පත් වෙතැයි අපේක්‍ෂා කෙරේ.