ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මහින්ද රාජපක්ෂ අගමැති ලෙස දිවුරුම් දෙයි
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ නව අගමැතිවරයා ලෙස අද (21) නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේදී දිවුරුම් දුන්නේය.
දෙවරක් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ, ශ්‍රී ලංකාවේ අගමැතිවරයා ලෙස පත්වන්නේ තුන් වන වතාවටයි. 2004-5 යන වසරවලත් 2018 වසරේ දින 52කටත් ඔහු මින් පෙර අගමැතිවරයා ලෙස කටයුතු කර තිබිණි.
අගමැතිවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ අද (21) උදෑසන තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යවා තිබූ අතර ඒ අනුව නව ජනාධිපතිවරයා විසින් නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ පත්කරනු ලැබුවේය.
අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ ට්විට්ර් පණිවුඩයක් නිකුත් කර තිබිණි.
එහි දක්වා තිබුණේ, "අනාගත පරපුර වෙනුවෙන් රට තවදුරටත් සංවර්ධනය කිරීම හා ආරක්ෂා කිරීම සඳහා නව දැක්මක් සහිතව ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යමින් සියලු ම ශ්‍රී ලාංකිකයන්ට සේවය කිරීමට බලාපොරොත්තු වන," බවය.
නව අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාමට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් හිමි එක්සත් ජාතික පක්ෂය තම සහය ලබා දෙන බව පවසා තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසන්නේ පාර්ලිමේන්තුවේ විසිරුවීමේ බලය ලබන වසරේ මාර්තු මාසයේ නව ජනාධිපතිවරයාට හිමි වන තෙක් භාරකාර ආණ්ඩුවක් ලෙස නව ආණ්ඩුව කටයුතු කරනු ඇති බවයි.
අගමැති මහින්ද රාජපක්ෂගේ මෙම පත්වීමත් සමග සොයුරන් දෙදෙනකු ශ්‍රී ලංකාවේ ප්‍රධානතම තනතුරු දෙකට පත්වූ ප්‍රථම අවස්ථාව ලෙස මෙය හැඳින්විය හැකියි.
මින් පෙර මවක සහ දියණියක ශ්‍රී ලංකාවේ මෙම ප්‍රධාන තනතුරු දෙක දරා තිබිණි. 1994 වසරේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග තම මව වන සිරිමාවෝ බණ්ඩාරනායක අගමැති තනතුර සඳහා පත්කර තිබිණි.
මේ අතර අගමැති තනතුරින් ඉල්ලා අස්වූ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක තනතුරට පත් කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් කතානායක කරු ජයසූරියට ලිපියක් යවා තිබේ.