ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජනාධිපතිවරණය: MCC ගිවිසුම, තිස්ස ජනනායකගේ වීඩියෝව සහ ව්‍යාජ පුවත්
- Author, කුමුදු ජයවර්ධන
- Role, BBC සිංහල සේවය
මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම (MCC) සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින් දක්වන අදහස් ගැන සමාජ මාධ්‍යවල මෙන් ම සාමාන්‍ය ජනතාව අතර ද කතාබහක් ඇති වී තිබේ.
මේ සම්බන්ධයෙන් බදාදා (නොවැ: 06) නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පෙන්වා දුන්නේ, "එම්.සී.සී. ගිවිසුම යටතේ එක්සත් ජනපදයට කිසිදු ඉඩමක අයිතිය හෝ බදු දීමක් සිදු නොවන," බවය.
ඊට අමතරව මෙම ගිවිසුම හරහා ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ද ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය සිදු කර තිබේ.
මේ අතර, මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක සඳුදා (නොවැ: 04) ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේ, "මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම සම්බන්ධයෙන් ඇතැම් පිරිස් බොරු බිල්ලෙක් මවා පෑමට උත්සහ කරන," බවය.
මේ හරහා "කිසිදු ආකාරයකට ඉඩම් විකිණීමක් සිදු නොවන" අතර "අදාළ ගිවිසුමෙහි එක් තැනක හෝ එවැන්නක් සඳහන් ඇත්නම් පැය 24ක් තුළ එය පෙන්වන" ලෙස ද අමාත්‍යවරයා අභියෝගයක් කළේය.
"මේ ගිවිසුම පාර්ලිමේන්තුවට දැම්මහම රටේ නීතියට පටහැනි දෙයක් තියෙනවා නම්, රටේ ව්‍යවස්ථාවට පටහැනි දෙයක් තියෙනවා නම් අපට ඒක වෙනස් කරල කටයුතු කරන්න පුළුවන්. හැබැයි එහෙම කියල අවිස්සාවේල්ලෙ ඉඳලා පැල්මඩුල්ලට පාර හදන එක ඇමරිකන් උගුලක් කියන්න හොඳ නෑ. බලපත්‍රලාභී අහිංසක මිනිසුන් ලක්ෂ 11කට ඉඩම් අයිතිය දෙන එක වැළැක්විය යුතු නැහැ."
අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසුවේ, මෙම ව්‍යාපෘති සැලසුම් "මුළුමනින් ම දේශීය විද්වතුන් 33000ගේ යෝජනා සහ අධ්‍යයනයන් ආශ්‍රයෙන් ශ්‍රී ලංකාවේ සකස් කළ සැලසුමක්" වන අතර, "එය ඇමෙරිකානු සැලැස්මක් නොවන" බවය.
මේ සම්බන්ධයෙන් 2016 වසරේ සැප්තැම්බර් 21 වන දා ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, "ශ්‍රී ලංකාවේ විශාලතම බහුකාර්ය ව්‍යාපෘතියට දායක වීම සම්බන්ධයෙන් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනයට ස්තුතිවන්ත වන," බවය.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය දෙන පිරිස් එයට දැඩි විවේචන එල්ල කළහ.
ඔවුන් පවසන්නේ, මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම හරහා ශ්‍රී ලංකාව "ඇමෙරිකානු මර උගුලකට හසු වන" බවය. ඇමෙරිකානු ආරක්ෂක හමුදාවල බලපෑම, රට තුළ දේශ සීමා බෙදීම, රටේ ඉඩම් ඉතා අඩු මිලට ඇමෙරිකාවට විකිණීම ආදී විවිධ චෝදනා ඒ අතර වේ.
එම චෝදනාවලට අනුගත වෙමින් පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් උපවාසයක ද නිරත වූ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ලිඛිතව කළ දැනුම් දීමකින් පසු එම උපවාසය අවසන් කළේය.
මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක චරිත රත්වත්තේ ද උඩුදුම්බර කාශ්‍යප හිමියන් වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියේ, "අපගේ මාතෘ භූමියට අයහපතක් වේ යැයි ඔබ වහන්සේට හැඟෙන යම් කරුණු එහි ඇත්නම් ඒ කරුණු පිළිබඳ කළ යුතු සංශෝධන පිළිබඳව වන යෝජනා ඉදිරිපත් කරන," ලෙසය.
මේ අතර, මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව මතු කරන විරෝධය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පෙන්වා දෙන්නේ, "එදා සුවසැරිය බිල්ලා, අද MCC බිල්ලා" යනුවෙන් ජනතාව අතර අනියත බියක් ඇති කිරීමට උත්සහ කරන බවය.
තිස්ස ජනනායකගේ වීඩියෝව
ජීවවිද්‍යාව උපකාරක පන්ති පවත්වන තිස්ස ජනනායක මෑතක සිට යම් යම් කරුණු සම්බන්ධයෙන් සිය පන්තියේ සිසුන් ඉදිරියේ කරන විග්‍රහයන් ඇතුළත් වීඩියෝ සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම සිදු විය.
ප්‍රේතයෝ, ඩයනා කුමරියට තිබුණ මානසික රෝගය, හූනෝ සහ ජාතික වීරයෝ, පෙනිසිලින් හොයා ගත්තේ දුටුගැමුණු රජතුමා ආදී වශයෙන් වීඩියෝ කිහිපයක් ඔහුගේ ෆේස්බුක් පිටුවෙහි පළ කර තිබිණි.
එම වීඩියෝ අතරින් 'පෙනිසිලින් හොයා ගත්තේ දුටුගැමුණු රජතුමා' යන හිසින් යුත් වීඩියෝව සම්බන්ධයෙන් දැඩි කතාබහක් සමාජ මාධ්‍ය ඔස්සේ නිර්මාණය විය.
එහිදී ඔහු පෙන්වා දීමට උත්සහ කර තිබුණේ, පෙනිසිලින් සොයා ගත්තේ ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං නොව දුටුගැමුණු රජතුමා බවටය.
එහෙත්, එම කරුණු දැක්වීම විද්‍යාව පිළිබඳ යම් අවබෝධයක් සහිත පිරිස් විසින් තරයේ ප්‍රතික්ෂේප කර තිබිණි.
"ඉර නැගීම බැසීම මුලින් ම දකින්නට ඇත්තේ නිකලස් කොපර්නිකස් නොව සාමාන්‍ය මිනිසුන්ය. එහෙත්, කොපර්නිකස් පර්යේෂණ හරහා සෞරග්‍රහ මණ්ඩලය සම්බන්ධයෙන් නව සොයා ගැනීමක් කළ විට එහි අයිතිය ඉර හඳ මුලින් දුටු පුද්ගලයින්ට අයත් වන්නේ ද?" යනුවෙන් තර්ක ඉදිරිපත් වී තිබිණි.
ඒ අනුව, පුස් කැවුම්වලින් තුවාල සුව කළ හැකි බව දැන සිටි පමණින් පෙනිසිලින් සොයා ගත්තේ දුටුගැමුණු රජු බව කීම විවාදයට තුඩු දුන්නේය.
තිස්ස ජනනායක දෙවන වරට මතභේදයට ලක් වූයේ, මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම සම්බන්ධයෙන් ඔහු පළ කළ වීඩියෝව හේතුවෙනි.
එහිදී අමෙරිකානු රජය විසින් ලංකාවේ ඉඩම් අත්පත් කර ගන්නා බව සහ එම ගිවිසුම රටට අහිතකර බව හුවා දැක්වීමට එම වීඩියෝවෙන් උත්සහ දරා තිබිණි.
මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවෙහි අදහස් දක්වා ඇති මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ශ්‍රී ලංකා ආයතනය නිවේදනය කර තිබුණේ, "තිස්ස ජනනායක මහතා විසින් පවසනු ලබන ආකාරයේ ආර්ථික කොරිඩෝවක් හෝ අමෙරිකානු රජය විසින් ලංකාවේ ඉඩම් අක්කර ලක්ෂ 12ක් අත්පත් කරගැනීම සම්බන්ධව කිසිදු වගන්තියක් අප හා ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කර ඇති සහස්‍ර අභියෝගතා ගිවිසුමේ සඳහන් වී නොමැති බැවින් ඒ මහතා විසින් පවසනු ලබන ගිවිසුමෙහි පිටපතක් අප වෙත ලබාදෙන මෙන් ඉල්ලා සිටිමු," යනුවෙනි.
මේ අතර, "MCC ව්‍යාපෘතිය සම්බන්ධව කළ වීඩියෝව ඔහුගේ Facebook පිටුවෙන් ඉවත් කර" ඇති බව ද මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ශ්‍රී ලංකා ආයතනය පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැන ගැනීම සඳහා තිස්ස ජනනායක දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට බීබීසී සිංහල සේවය අවස්ථා කිහිපයකදී ම උත්සහ දැරුව ද එය ව්‍යර්ථ විය.
මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ සමාජ මාධ්‍ය විශ්ලේෂක නාලක ගුණවර්ධන ප්‍රකාශ කළේ, "අදාළ වීඩියෝව නිරීක්ෂණයේදී පෙනී යනවා හිතාමතා ම වැරදි තොරතුරු සමාජගත කරන්න උත්සහ කරන බව. මේ වගේ දේවල් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. රටේ සාමාන්‍ය නීතිය අනුව හිතාමතා දූෂමාන ආරංචි පැතිරවීමට එරෙහිව පියවර ගන්න පුළුවන්," බවය.
සමාජ ජාල ඔස්සේ පළ වන ඉහත කී ආකාරයේ සාවද්‍ය පුවත් 'share' කිරීමට පෙර දෙවරක් සිතා බැලිය යුතු බව සමාජ ජාල විශ්ලේෂක නාලක ගුණවර්ධන පවසයි.
"මේ සාවද්‍ය පුවත් පළ කරන්නේ සීමිත පිරිසක්. නමුත් එවැනි පුවත් විශාල වශයෙන් හුවමාරු වෙන්නේ (Viral) බොහෝ දෙනෙක් හරියට හිතන්නේ නැතිව 'share' කිරීම නිසයි" යනුවෙන් ඔහු සඳහන් කළේය.
එසේ ම දේශපාලන අරමුණකින් ඔබ්බට ගොස් සිය සමාජ ජාල පිටු වෙත "හිට්ස් වැඩි කර ගැනීමටත්" ඒ ඔස්සේ ලාභය වැඩි කර ගැනීමටත් උත්සහ දරන පිරිස් පිළිබඳව ද අවධානයෙන් පසුවිය යුතු බව ඔහු පැවසීය.
මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ද විවිධ අදහස් දක්වා තිබිණි.
සමාජ මාධ්‍ය විශ්ලේෂක නාලක ගුණවර්ධන සඳහන් කරන පරිදි ශ්‍රී ලංකාව තුළ ඉන්ටර්නෙට් භාවිත කරන පිරිස මුළු ජනගහනයෙන් 33% - 35% කි.
ඉන් අතිබහුතරය අවම වශයෙන් එක් සමාජ මාධ්‍යයක් හෝ භාවිත කරන බව ඔහු පවසයි.
ශ්‍රී ලංකාවේ වැඩි ම පිරිසක් භාවිත කරන සමාජ මාධ්‍ය ජාලය ෆේස්බුක් වන අතර එම පිරිසෙන් 63% ක් අවුරුදු 18 ත් 34 ත් අතර වයසේ පසුවන්නන්ය.