මුලතිව්: අධිකරණ නියෝගය නොතකා විහාරාධිපති හිමි දේහය ආදාහනය කෙරේ

මුලතිව් ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ දේහය විහාර භූමියේ ආදාහනය නොකරන මෙන් අධිකරණය නියෝගයක් ලබා දී තිබුණ ද, සංඝ සභාවේ තීරණය අනුව එහිමියන්ගේ දේහය විහාර භූමියේ ආදාහනය කළ බව ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.
අධිකරණ තීන්දු තීරණ ප්‍රකාර භික්ෂූන් වහන්සේගේ දේහයන් ආදාහනය කිරීම සම්බන්ධයෙන් තමන් එකඟ නොවන බව ද බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ඥානසාර හිමියෝ සඳහන් කළහ.
දෙමළ ජාතික සන්ධානයට සම්බන්ධ කිහිප දෙනකුගේ මෙහෙයවීම මත "නැති ප්‍රශ්නයක් නිර්මාණය කර, ආදාහන පූජෝත්සවය කඩාකප්පල් කිරීමට," කිසියම් පිරිසක් උත්සහ දරමින් සිටි බවට ද එහිමියෝ චෝදනා කළහ.
අපවත්වී වදාළ මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය විහාර භූමිය හා නිරාවිය පිල්ලයාර් ගණදෙවි කෝවිල ඉදිරිපස මාර්ගයෙන් එපිට නයාරු වෙරළ සීමා මායිමේ පිහිටි පැරණි යුද හමුදා කඳවුරක් තිබූ ස්ථානයේ සිදුකරන ලෙස මුලතිව් ප්‍රධාන මහෙස්ත්‍රාත් එස් ලෙනින්කුමාර් සඳුදා (සැප්තැම්බර් 23) නියෝග කළේය.
'බුද්ධාගමට ප්‍රමුඛස්ථානය'
මහේස්ත්‍රාත්වරයා අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබුවේ, විහාරාධිපති හිමියන්ගේ දේහය ආදාහනය කිරීම සම්බන්ධයෙන් අධිකරණය වෙත ගොනු කොට පැවති නඩුවක තීන්දුව ප්‍රකාශයට පත්කරමිනි.
ආදාහන පූජෝත්සවයෙන් අනතුරුව අදාළ ස්ථානයේ කිසිදු ඉදිකිරීමක් සිදුනොකරන ලෙස ද මහෙස්ත්‍රාත්වරයා විහාරයේ දායක පාර්ශවයට උපදෙස් දුන්නේය.
ඒ අවස්ථාවේ එම නඩු තීන්දුව අගය කරමින් මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ විහාරස්ථානය වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී රෝහණ තල්පාවිල, එය "ඉතාමත්ම සුවිශේෂී අවස්ථාවක්" බව කියා සිටියේය.
නීතිවේදී රෝහණ තල්පාවිල වැඩිදුරටත් කියා සිටියේ "අපේ පාර්ශවය ඇරෙන්න අනෙත් පාර්ශවයන් ඉදිරිපත් කළේ අවසාන තීන්දුවට සම්පූර්ණයෙන්ම වෙනස් ස්ථාවරයක්. නමුත් ගරු මහේස්ත්‍රාත්තුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වෙනි ව්‍යවස්ථාවේ සඳහන් පරිදි බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දිය යුතුය යන සංකල්පය මත පිහිටල තමයි මේ නඩු තීන්දුව දුන්නේ," යනුවෙනි.
"මොකද පැමිණිලිකාර පාර්ශවය සහ ප්‍රාදේශීය සභාව කරුණු දැක්වුවේ මේ තීන්දුවට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ කරුණු."

'දෙමළ ජනතාවට අවමානයක්'
තීන්දුව නොතකා ආදාහන උත්සවය විහාර භූමියේම පැවැත්වීමට සංඝ සභාව තීරණය කර තිබෙන්නේ ඉන් අනතුරුවය.
එසේ අධිකරණ නියෝගය ද නොතකා හරිමින් හින්දු කෝවිලක් පවතින භූමිය තුළ දේහයක් ආදාහනය කිරීම තුළින් කෝවිලේ පවිත්‍රත්වය අශුද්ධ වු බව පවසන දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී ටී රවිහරන්, සිංහල භික්ෂූන් වහන්සේ සහ සිංහල ජනතාව සිදුකළ එම ක්‍රියාව තරයේ ප්‍රතික්ෂේප කරන බව ද කියා සිටියේය.
මස් මාළු කෑමෙන් පසුව පවා හින්දු ජනතාව හින්දු කෝවිලකට නොපිවිසෙන අතර එවැනි ශුද්ධ වු ස්ථානයක මළ සිරුරක් ආදාහනය කිරීම දෙමළ ජනතාවගේ සංස්කෘතිය අනුව මහා අවමානයක් වන බව පවසන හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා, කෝවිලක් පවතින ස්ථානයක මෙවැන්නක් සිදුකළ පළමු අවස්ථාව මෙය යයි තමන් විශ්වාස කරන බව වැඩිදුරටත් කියා සිටියේය.
ඉරිදා මුලතිව් පොලිසිය විසින් අධිකරණයට මේ සම්බන්ධයෙන් පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේ, අධිකරණයේ දැනුම්දීමකින් තොරව විහාරාධිපති නාහිමියන්ගේ අවසන් කටයුතු සිදුනොකරන ලෙසට අතිරේක මහෙස්ත්‍රාත් එන් සුදාහරන් අතුරු නියෝගයක් නිකුත් කළේය.


අධිකරණ නියෝගය දැනුම්දීම සඳහා සඳුදා අධිකරණයේ පෙනීසිටින ලෙසට ද විහාරයේ දායක සභාවේ පාර්ශවකරුවන් හා වැඩවසන ස්වාමීන් වහන්සේට නියෝග කෙරිණ.
එහිදී පැමිණිලි පාර්ශවය වෙනුවෙන් අදහස් දැක්වූ නීතිඥ ඇන්ටන් පුලිදනායගම්, විහාරයේ සිට කිලෝමීටර දෙකක් හෝ තුනක් දුරින් ආදාහනය සිදුකිරීමට අවස්ථාව සලසන ලෙස ඉල්ලීමක් කළේය.
විහාරස්ථානයේ දායක සභා පාර්ශවය වෙනුවෙන් ඉදිරිපත්වූ නීතිඥ රෝහණ තල්පාවිල ඇතුලු නීතිඥයින් ඉල්ලා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නවවැනි වගන්තියේ සඳහන් පරිදි බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දිය යුතු බවට පිහිටලා යුක්තියේ සාධාරණ ධර්මතාවන්ට අනුකූලව විහාරස්ථාන භූමියේ දේහයේ අවසන් කටයුතු සිදුකිරීමට ඉඩලබාදෙන ලෙසටය.
මහේස්ත්‍රාත්වරයා සඳුදා සිය නියෝගය නිකුත් කළේ අදාළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවය.
ආදාහන උත්සවයට බාධා නොකරන ලෙස කෝවිල් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයින් හා හින්දු පූජකයින් වෙතද උපදෙස් ලබාදෙනු ලැබීය.
සඳුදා නඩු විභාගය පැවැත්වෙන අවස්ථාවේ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් හිමියන් ඇතුළු බෞද්ධ භික්ෂූන් වහන්සේ, සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ සභාපතිවරයා ඇතුළු විශාල පිරිසක් අධිකරණ භූමිය වෙත පැමිණ සිටියහ.
නඩු විභාගය පැවැත්වෙන අවස්ථාවේ අධිකරණ භූමියට විශේෂ පොලිස් ආරක්ෂාවක් දී තිබිණ.
පිළිකා රෝගී තත්වයක් හේතුවෙන් මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී විහාරාධිපති නාහිමි ඉකුත් සිකුරාදා (සැප්තැම්බර් 20) රාත්‍රියේ අපවත්වූ අතර එහිමියන්ගේ ඉල්ලීම පරිදි දේහය ඉරිදා (22) අලුයම විහාරස්ථානය වෙත රැගෙන එනු ලැබිණ.
අධිකරණ නියෝගය නොතකා දේහය අදාහනය කිරීමට විරෝධය පාමින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ දෙමළ නීතිඥවරු සඳුදා සවස අධිකරණයේ නඩු කටයුතුවලට පෙනී සිටීමෙන් වැලකී සිටියහ.
තවත් කියවන්න:








