ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජනාධිපති ධුරය අහෝසි කිරීමේ රැස්වීම කැඳවූයේ කවුද? ජනපති අගමැති වාග් සංග්‍රාමයක
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාව සම්මත කිරීම සඳහා පසුගිය 19 වන දින කැඳවූ විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීම ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ අතර මත ගැටුමක් හටගෙන තිබේ.
කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් අතර කිසිදු එකඟතාවකින් තොරව අවසන්වූ එම සාකච්ඡාව කැඳවූයේ කාගේ වුවමනාවටද යන්න මේ මත ගැටුමට හේතුවී තිබේ.
ජනාධිපතිවරණය සඳහා දින නියම කිරීමෙන් දිනකට පසුව විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමේ යෝජනාව ගැන සාකච්ඡා කිරීම පිණිස ජනාධිපතිවරයා විසින් විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳවනු ලැබිණ. රැස්වීම අවසානයේ එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම මාධ්‍ය වෙත පැවසුවේ අගමැතිවරයාගේ අවශ්‍යතාව මත මෙම සාකච්ඡාව කැඳවා තිබූ බවය.
එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට සහය දක්වන ඇමතිවරුන්ගේ විරෝධය හේතුවෙන් විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට නොහැකි විය.
එහිදී එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් රැසක් චෝදනා කළේ ජනාධිපතිවරණයක් කැඳවා ඇති අවස්ථාවක විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට උත්සාහ කිරීම "බියගුළු නින්දිත" ක්‍රියාවක් බවය. ඒ පිළිබඳව ඔවුන් සියළු දෙනාගේම ඇඟිල්ල දිගු වූයේ අගමැති රනිල් වික්‍රමසිංහ වෙතය.
පසුදින (සැප්තැම්බර් 20) එම චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් අගමැති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අදහසක් මත එදින එම විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වූ බවය.
කෙසේ නමුත් 21 වැනිදා උත්සවයක් අමතමින් අගමැතිවරයාගේ එම ප්‍රකාශය දැඩි ලෙස විවේචනය කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසුවේ අගමැතිවරයාගේ යෝජනාවක් මත අදාළ කැබිනට් සාකච්ඡාව කැඳවූ බවය.
"අගමැතිතුමා කියලා විශේෂ කැබිනට් මණ්ඩලය කැඳේවුවේ ජනාධිපතිතුමාගේ වුවමනාවට කියලා. අගමැති රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා මේ කතාව කියන්නේ කලිසමක් කමිසයක් ඇඳල ද කියලා මට අහන්න වෙනවා," ජනාධිපතිවරයා කියා සිටියේය.
පසුගිය 19 වෙනි දින උදෑසන අමාත්‍ය රවී කරුණානායක විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවීමට අගමැතිවරයාගේ අවශ්‍යතාවයක් ඇතැයි තමන්ට දෙවරක්ම දැන්වූ බවත් ඒ ගැන තමන් අගමැතිවරයාගෙන් කරුණු විමසා රැස්වීම කැඳවූ බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.
"මමම අගමැතිතුමාට කෝල් එකක් ගත්තා. අරගෙන කිව්වා රවි කරුණානායක කියනවා අගමැතිතුමා කියනවා කියලා කැබිනට් රැස්වීමක් කැඳවන්න කියලා හදිසියේම අද. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ යෝජනාවක් කැබිනට් එකේ සම්මත කරන්න. එහෙම අවශ්‍යතාවයක් තියෙනවද, ඕනද කැබිනට් රැස්වීමක් කැඳවන්න. එතකොට අගමැතිතුමා මට කිව්වා. ඔව් ඔව් අපි සාකච්ඡා කළා. දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ අපේ පක්ෂ ඔක්කොම කැමතියි. දැනුත් කාලය ඇති," තමන් හා අගමැතිවරයා අතර සිදුවූ සංවාදය ගැන අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේය.
ජනාධිපතිවරණය කැඳවා ඇති මොහොතක විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකිරීමේ යෝජනාවක් ඉදිරිපත්කිරීමට ගත් තීරණය ගැන එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් දැක්වූ දැඩි විරෝධය මත ඒ ගැන කිසිදු සාකච්ඡාවක් හෝ සිදුනොකර තමන් කැබිනට් සාකච්ඡාව අවසන් කළ බව ජනාධිපතිවරයා පවසයි.
"වෙන්න තියෙන ඒවා ඔක්කොම කරගෙන වැඩේ බකල් වෙලා, හොඳටම නාගෙන. මේක දැන් මගේ ඇඟේ ගහන්න හදනවා. මම ප‍්‍රතිපත්තියක් විදියට කවදත් කිව්වා ජනාධිපති ධුරය අහෝසි කළ යුතුයි කියලා. ඒක කළේ නැත්තේ පාර්ලිමේන්තුව. ඊයේ පෙරේදා මේක ගෙනල්ලා, ජන්දයක් නිවේදනය කළාට පස්සේ ඒක කරන්න හදන එක විහිළුවක්," ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරයාගේ මෙම වාග් ප්‍රහාරයට අගමැති රනිල් වික්‍රමසිංහ ඉරිදා (සැප්තැම්බර් 22) ප්‍රතිචාර දැක්විය. විධායක ජනාධිපති ධූරය අහෝසිකරන 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට අවශ්‍ය යයි ජනාධිපතිවරයා තමාට දැනුම් දුන් බව දෙමළ ජාතික සන්ධානයේ එම්ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා පසුගිය (17) වැනි දින තමන් සමඟ පැවසූ බව අගමැතිවරයා එහිදී කියා සිටියේය.
"මම සුමන්තිරන් මන්ත්‍රීතුමාට පෙන්වා දුන්නේ මේ යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට නම් පොදුජන පෙරමුණේ සහයෝගය ද අවශ්‍ය බවයි. 19 වෙනිදා උදේ 8.16ට ජනාධිපතිතුමා මට දුරකථන ඇමතුමක් දුන්නා. 20 වන සංශෝධනය පිළිබඳ සාකච්ඡා කිරීමට කැබිනට් රැස්වීමක් කැඳවන්නද කියා එතුමා මගෙන් විමසුවා. සිවිල් සමාජය මේ පිළිබඳ ඉල්ලීමක් කළ බව මම ජනාධිපතිතුමාට දැනුම් දුන්නා. ඒ වගේම මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ ස්ථාවරය සුමන්තිරන් මන්ත්‍රීතුමා මට දැනුම් දී තිබුණා. ඒ නිසා කැබිනට් මණ්ඩලය කැඳවා සාකච්ඡා කිරීම සුදුසු බව මම ජනාධිපතිතුමාට කිව්වා. බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා ඒ රැස්වීම කැඳවීම පහසු බවත් මම පැවසුවා. එදින රවි කරුණානායක මහතා මට දුරකථන ඇමතුමක් දුන්නේ නැහැ," අගමැතිවරයා සඳහන් කළේය.
"ඒ සාකච්ඡාව ඉතා උණුසුම් වුණා. සියළු දෙනා විවෘතව අදහස් පළ කළා. එහිදී 20 වන සංශෝධනය සඳහා එකඟත්වයක් ලැබුණේ නෑ. කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන්ගේ ප්‍රකාශ පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා නම් එය සාකච්ඡා කළ යුත්තේ කැබිනට් මණ්ඩලය තුළදීයි. එසේ නොකිරීම කැබිනට් සම්ප්‍රදාය කඩකිරීමක්. ඒ නිසා මම මෙතැනදී පෙන්වාදෙන්නේ සිදුවුණු කරුණු පමණයි. ඒ නිසා කිසිවෙකුට අවලාද නගන්නට හෝ දොස් කියන්නට හෝ මම කටයුතු කරන්නේ නැහැ."
මෙලෙස ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර ඇතිවූ මෙම මත ගැටුමට හේතුවූ විධායක ජනාධිපතිධුරය අහෝසිකරන 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණ විසිනි. මේ වසර මුලදී එය ඉදිරිපත් කර දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කිරීමට ඔවුන් කටයුතු කළ නමුත් ඊට පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්ෂයේ සහය හිමිනොවීය.
20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමට නම් ඊට මුලින්ම පාර්ලිමේන්තුවේ 2/3 මන්ත්‍රී සහයක් හිමිවිය යුතුය. ඉන්පසු එය ජනමත විචාරණයකට ඉදිරිපත් කර ජනතා කැමැත්ත ලබාගත යුතුවේ.
දැනට පාර්ලිමේන්තුවේ පවතින සංයුතිය අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකත්වය දරන ඒකාබද්ධ විපක්ෂයේ සහය නොමැතිව මෙම යෝජනාවට පාර්ලිමේන්තුවේ 2/3 හෙවත් මන්ත්‍රීවරුන් 151 දෙනෙකුගේ සහය ලබාගත නොහැකිය.
ජනාධිපති ක්‍රමය අහෝසිකර අගමැති ක්‍රමයක් ලංකාවට හඳුන්වා දීමේ මෙම යෝජනාවට විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මුල් අවසථාවේදී කැමැත්ත පළකර තිබු නමුත් පසුව ඔහුට සහය දෙන පක්ෂ නායකයන් සමග සිදුවූ සාකච්ඡාවකින් පසු සිය අදහස වෙනස් කරගත් බව ඒ අවස්ථාවේදී වාර්තා විය. හිටපු ජනාධිපතිවරයාට යළි ජනාධිපතිධුරය සඳහා පත්විය නොහැකි බැවින් මෙම යෝජනාව සම්මත වුවහොත් යළි රටේ රාජ්‍ය නායකයා වීමට ඔහුට අවස්ථාවක් හිමිවේ. ඒ අගමැතිවරයා ලෙස පත්වීමට ඔහුට බාධාවක් නොමැති බැවිනි.
මෙලෙස යටපත්ව තිබූ විධායක ජනාධිපතිධුරය අහෝසිකිරීමේ යෝජනාව යළි කරළියට ගෙන ඒමට ප්‍රමුඛ උත්සාහයක් ගෙන තිබෙන්නේ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්තිරන් විසින් බව වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් 19 වැනිදා කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම යෝජනාවට විරෝධය පළකිරීමත් සමග එම්ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් එම අමාත්‍යවරුන්ගේ ක්‍රියා කලාපයට විරෝධය පළකළේය.
"විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට විරුද්ධවන යහපාලනය පිළිබඳව අපි කණගාටුවට පත්වෙමු. අවස්ථාවාදී සහ ආත්මාර්ථයේ උපරිමය. වසර 25ක් පුරාවට පොරොන්දු කඩ කිරීම සහ ජනතා වරමට පිටුපැම. විධායක ජනාධිපතිධුරය අහෝසිකිරීමේ යෝජනාවට දෙමළ ජාතික සන්ධානය ඕනෑම වේලාවක සහයෝගය දක්වමු," යනුවෙන් ඔහු සඳහන් කළේය.
පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා යන දෙදෙනාගේම එකඟතාව මත මෙම විශේෂ කැබිනට් මණ්ඩල හමුව කැඳවා තිබූ බවය. තමන් ඒ පිළිබඳව නායකයන් දෙදෙනා සමග සහ ජනතා විමුක්ති පෙරමුණ සමග සාකච්ඡා කළ බවත් ඒ අනුව එම කැබිනට් මණ්ඩල හමුව කැඳවා තිබු බවත් ඔහු සඳහන් කළේය.
"යහපත් දෙයක් කරන්න නැකතක් අවශ්‍ය නැහැ. එකොළොස් වෙනි පැයේදී වුවද අවුරුදු 25ක් තිස්සේ පොරොන්දු වූ දේ කරන්න ඕනේ. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට කැමති බව ප්‍රකාශ කරන කැබිනට් සාමාජිකයන් විසින් පාර්ලිමේන්තුවේ දී 20 වැනි සංශෝධනය සම්මත කිරීමට සහයෝගය දැක්විය යුතුය. ජනමත විමසුම ඉන් පසුව සිදුකළ හැක," ඔහු කියා සිටියේය.
19 වැනිදා පැවති මෙම විශේෂ කැබිනට් සාකච්ඡාවට පෙර දින රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ. එහිදී විධායක ජනාධිපතිධුරය අහෝසිකිරීමේ යෝජනාවට විපක්ෂනායක වරයාගේ සහය හිමිවුණු බවට ඇතැම් වාර්තා පළවිය.
කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම වාර්තා ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ එවැනි යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්වුවහොත් එයට 2/3 ක් මන්ත්‍රී සහයක් ලබාගැනීමට ඉඩ නොතබන බවය. ජනාධිපතිවරණයෙන් අනතුරුව මේ ගැන වැඩිදුර සාකච්ඡා කළ හැකි බවත් පොදුජන පෙරමුණ පවසයි.
තවත් කියවන්න: