ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
විධායක ජනපති ක්‍රමය ඕනෑද, එපාද? - 'ජනමතය වෙනස්වෙලා'
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මේ අවස්ථාවේ ප්‍රමුඛත්වය හිමිවිය යුතු නැතැයි ශ්‍රී ලංකාවාසීන් අති බහුතරයක් විශ්වාස කරන බව ජනමත සමීක්ෂණයකින් හෙළිවී තිබේ.
උතුරු නැගෙනහිර ඇතුළු රට පුරා විවිධ ප්‍රදේශවල වෙසෙන දෙදහසක පිරිසක අදහස් විමසා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) විසින් සකස්කරන ලද අලුත්ම වාර්තාවක් ප්‍රකාර, එයට සහභාගි වූ 66.2% ක පිරිසකගේ අදහස වී තිබෙන්නේ ආණ්ඩුව මේ අවස්ථාවේ ඊට වඩා දැවෙන ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කළ යුතු බවය.
ජීවන වියදම අඩුකිරීම, යටිතල පහසුකම් සංවර්ධනය, ආර්ථික වර්ධනය, විරැකියාව අඩුකිරීම, නීතියේ ආධිපත්‍යය සුරැකීම සහ දූෂණය පිටුදැකීම කෙරෙහි මේ මොහොතේ ආණ්ඩුවේ අවධානය යොමුවිය යුතු බව ඔවුන්ගේ අදහස වී තිබේ.
ඒ අතරින් ජීවන වියදම අඩුකිරීම සඳහා ආණ්ඩුව වහාම පියවර ගත යුතු බව සමීක්ෂණයට සහභාගි වූ අති බහුතර පිරිසගේ මතයයි.
එමෙන්ම සේවක වැටුප් ඉහල දැමිය යුතු බව දකුණු සහ ඌව පළාත්වල ජනතාවගේ මතය වී තිබේ.
කෙසේ වෙතත්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බව බහුතර මුස්ලිම් ජනතාවගේ අදහසය.
1978 දී ජේආර් ජයවර්ධන ජනාධිපතිවරයා විසින් හඳුන්වා දෙන ලද විධායක ජනාධිපති ක්‍රමය දිගින් දිගටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැඩි විවේචනයට ලක් වූ නමුත්, එය අහෝසිකරන බවට ප්‍රතිඥා දෙමින් බලයට පත්වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරුන් බලයට පත්වීමෙන් අනතුරුව එම ප්‍රතිඥාව ඉටුකිරීමට අපොහොසත්වූහ.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ද ප්‍රධාන මැතිවරණ පොරොන්දුවකි.
පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට නව ව්‍යවස්ථාවක් සකස්කළ යුතු දැයි කළ විමසීමට වැඩි පිරිසකගේ ප්‍රතිචාරය වී තිබෙන්නේ යම් යම් සංශෝධන සහිතව පවතින ව්‍යවස්ථාවම පවත්වාගත යුතු බවය.
සංශෝධන සහිතව පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම පවත්වාගත යුතු බව 38.9% ක පිරිසක් පවසද්දී, ශ්‍රී ලංකාවට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බව පවසා තිබෙන්නේ 23.5% ක පිරිසක් පමණි.
ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය පිළිබඳව ප්‍රමාණවත් ලෙසින් ජනතාව දැනුවත් කිරීමට අපොහොසත්වීම, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මෙන්ම හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංගද පසුගියදා ආණ්ඩුවට එල්ල කළ බරපතල විවේචනයකි.
එහෙත් පසුගිය ඔක්තෝබරයට සාපේක්ෂව මේ වනවිට තරමක් දුරට ජනතාව දැනුවත් කිරීමට ආණ්ඩුව සමත්වී තිබෙන බව සමීක්ෂණ වාර්තාව පෙන්වාදෙයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය සහ යුද සමයේ සිදු වූ බව පැවසෙන මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීම එක්වරම හෝ වෙන වෙනම සිදු විය යුතු දැයි කළ විමසීමේදී බොහෝ දෙනාගේ ප්‍රතිචාරය වී තිබෙන්නේ ඒ පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බවය.
ඒ කරුණු දෙකම එකවර සිදුවිය යුතු බව උතුරු පළාතේ වැසියන්ගෙන් 40.4% ක අදහස වී තිබේ.
2015 ජනවාරි මාසයේ සිට වත්මන් ආණ්ඩුව 'හොඳින්' රට පාලනය කරමින් සිටින නමුත් මීට වඩා යහපත් ප්‍රතිඵල උදාකරදීමට ආණ්ඩුව සමත්විය යුතු බවද සමීක්ෂණයට සහභාගි වූ බහුතරයකගේ (44%) මතය වී තිබේ.
කෙසේ නමුත් හැකි ඉක්මනින්ම මේ ආණ්ඩුව වෙනුවට වෙනත් ආණ්ඩුවක් තෝරා පත්කර ගත යුතු බව ආණ්ඩුවේ පාලනය 'ඉතා නරක' බව විශ්වාස කරන 16.5% ක පිරිසගේ අදහසය.
මෙම ජනමත සමීක්ෂණය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිචාරය ලබාගැනීමට බීබීසී සිංහල සේවය දැරූ උත්සාහය සාර්ථක නොවීය.
විධායක ජනාධිපති ක්‍රමය අනිවාර්යයෙන්ම අහෝසි කළ යුතු අතර, ජාතික ප්‍රශ්නයට විසඳුමක්ද ඇතුලත් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතුය යන්න සිය පක්ෂයේ ස්ථාවරය බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්දිරන් බීබීසී යට පැවසීය.