ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ව්‍යවස්ථාව ගැන අනවශ්‍ය සැකයක් එපා - මහනාහිමියෝ
ශ්‍රී ලංකාවේ තවමත් නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කර නොමැති බැවින් එමඟින් රටට අහිතකර දේ සිදුවනු ඇතැයි අනවශ්‍ය සැකයක් ඇති කරගෙන කටයුතු කිරීම අනුමත කළ නොහැකි බව මල්වතු පාර්ශවයේ මහනාහිමියෝ පවසති.
අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් ඒ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු ජාතික නිදහස් පෙරමුණේ නායකයන් පිරිසක් මහනුවරදී එහිමියන් මුණගැසුණු අවස්ථාවේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෝ අගමැති රනිල් වික්‍රමසිංහ නව ව්‍යවස්ථාව තුළින් රටට අහිතකර යමක් සිදුකරතැයි තමන් වහන්සේ කිසිසේත් විශ්වාස නොකරන බවත් මහනාහිමියෝ සඳහන් කළහ.
කෙසේ නමුත් නව ව්‍යවස්ථාව මගින් රටේ ඒකීයභාවයට මෙන්ම බුදු දහමට හිමි ස්ථානයට හානියක් සිදු විය හැකි බවට විමල් වීරවංශ මන්ත්‍රීවරයා දිගින් දිගටම මහනාහිමියන් හමුවේ කරුණු දැක්වූහ.
උතුරු නැගෙනහිර දෙපළාත් ඒකාබද්ධ කර, 'බෙදුම්වාදී උවමනාවන් වෙනුවෙන් සකස් කෙරෙන' නව ව්‍යවස්ථාව සම්මතවීම වැළැක්වීම සඳහා පියවර ගත යුතු බවත් මන්ත්‍රීවරයා පැවසීය.
එහෙත් මහනාහිමියන් එම කරුණු දැක්වීම පිළිගැනීමට සූදානම් හැඩක් දක්නට නොලැබිණ.
මහජනතාවගෙන් කරුණු විමසා එම යෝජනා පදනම් කරගනිමින් නව ව්‍යවස්ථාව සකස් වන බැවින් ඒ පිළිබඳ දැන්ම අනියත බියක් ඇතිකර නොගත යුතු බවයි එම කරුණු දැක්වීමට පිළිතුරු දෙමින් මහනාහිමියන් අවධාරණය කළේ.
රටේ ඒකීය භාවයට හෝ බුදු දහමට අයහපත් යමක් නව ව්‍යවස්ථාව මගින් සිදුකෙරෙනු ඇතැයි තමන් වහන්සේ නොසිතන බවත් යුද අපරාධ පිළිබඳව පරීක්ෂා කිරීම හමුදාවට එරෙහිවීමක් නොවන බවත් සඳහන් කළ මහනාහිමියෝ එයට අදාළ නඩු විභාග සිදුකරන්නේ මෙරට විනිසුරුවන් හමුවේ බවත් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසට පෙන්වා දුන්හ.
ජාතික නිදහස් පෙරමුණේ නියෝජිතයන් සිය මහනුවර සංචාරයේදී අස්ගිරි පාර්ශවයේ මහනායක හිමියන්ද මුණගැසී කරුණු දැක්වූහ.